මෙවර පැවැති මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයන්ගේ ගණන එක් කෝටි හැටදෙලක්ෂ හැටතුන් දහස් අටසිය හැත්තැ හතරකි. (1,62,63,874කි). එයින් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ එක් කෝටි දහතුන් ලක්ෂ අසූ හතර දහස් හත්සිය එකොළහකි. (1,13,84,711ක) පිරිසක් පමණි. පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාට එහි යෑමට හැකි වූයේ එක් කෝටි දහතුන් ලක්ෂ අසූහතර දහස් හත්සිය එකොළහක ඡන්දයෙනි. මෙම මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් මෙවර තෝරා පත් කළ කැබිනට් ඇමතිවරුන් ගණන 25කි. රාජ්‍ය ඇමතිවරුන් 39 දෙනෙක් සිටිති. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් යන මේ සියලු දෙනාට දීමනා සහ වරප්‍රසාද රැසක් හිමි වේ.
මේ අනුව මන්ත්‍රීවරයෙකුගේ වැටුප රු. 54,285/-කි. නියෝජ්‍ය ඇමතිවරයකුගේ මසක වැටුප රු. 63,500/-කි. රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමතිවරයකුගේ වැටුප රු. 65,000/-කි. කථානායකගේ වැටුප රු. 68,500/-ක් වන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැටුප රු. 71,500/-ක් ලෙස සඳහන් වී ඇත. මීට අමතරව කාර්යාල දීමනාව හා ප්‍රවාහන දීමනාව වශයෙන් මසකට රු. ලක්ෂය බැගින් හිමි වේ.
ඉස්සර මන්ත්‍රීවරුන්ට ලැබුණේ දීමනාවක්
පෞද්ගලික දුරකථන දීමනාව වශයෙන් මසකට රු. 50,000/-ක් වෙන් කර ඇති අතර කාර්යාලීය දුරකථන දීමනාව (ස්ථාවර හා ජංගම) වශයෙන් මසකට රු. 50,000/-ක් වෙන් කර ඇත. නිදහස් තැපැල් දීමනාව වශයෙන් වසරකට ලබා දෙන මුදල රු. තුන් ලක්ෂ පනස්දාහකි. රියදුරු හා සංග්‍රහ දීමනාව රු. 45,000/-කි. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2,500/-ක් හිමිවේ. රැස්වීම් නොපැවැත්වෙන දිනවලට පැවැත්වෙන කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2,500/- ක් හිමිවේ.
මන්ත්‍රීවරයාට අමතරව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට ද දීමනා වෙන් කර තිබේ. ඒ අනුව සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර් 218ක් වෙනුවෙන් රු. 17,440/-ක් හිමි වේ. අමාත්‍ය කාර්යය මණ්ඩලයට හිමි වන වාහන 5කි. නියෝජ්‍ය ඇමති කාර්යය මණ්ඩලයට හිමි වන වාහන සංඛ්‍යාව 3කි. මන්ත්‍රී කාර්යය මණ්ඩලයේ ඉහළ තනතුරුවල වැටුප රු. 30,000/-කි. ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාව ද එම තනතුරුවලට ගෙවනු ඇත.
වසර 22ක් තුළ මන්ත්‍රී වැටුප 95% කින් වැඩිවෙලා
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගි වාහන මිල දී ගැනීම සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර හිමි වේ. මන්ත්‍රීවරයකු හදිසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය විට රජයෙන් ගෙවන වන්දි මුදල රු. ලක්ෂ 50කි.
ඊට අමතරව හිමි වන මන්ත්‍රී රක්ෂණ ආවරණය රු. ලක්ෂ 20කි. සුඛෝපභෝගි නිල නිවාස ද ඔවුන්ට අයත් තවත් වරප්රසාදයකි. පාර්ලිෙම්න්තුවේ දහවල් සුපිරි ආහාරය සඳහා අය කර ගැනෙන්නේ රු. 150/-කි.
දරුවන් අගනුවර ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් කිරීමේ වරප්‍රසාදය ද ඔවුන්ට හිමි වේ. V.I.P. විදේශ සංචාර, ගුවන් ටිකට්පත්, ඉහළ පෙළේ හෝටල්වල ඉඳුම් හිටුම් සහ සංචාර සඳහා ද දීමනා හිමි වේ. අවසානයේ වසර 5ක් පාර්ලිමේන්තුවේ සිට ගෙදර යන විට විශ්‍රාම වැටුපක් ද හිමි වේ.
පාර්ලිමේන්තුවට පැමිණෙන මෙම මැති ඇමතිවරුන් සියලුදෙනාම මේ සා සුවිශාල වරප්‍රසාද හා දීමනා භුක්ති විඳින්නේ මහජනතාවගේ මුදලින් බව අප අමතක නොකළ යුතුය. එහෙත් ඔවුන්ට මේ තරම් සුවිශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ 1977 න් පසුවය.
1977දී 5/6ක බලයක් සහිතව පත්වූ එක්සත් ජාතික පක්ෂ රජයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම දිරිමත් කිරීම සඳහා පැමිණීමේ දීමනාවක් ලබා දීමට තීරණය කෙරිණි. එය රු. 100/-කි. 1977 දී ආරම්භ වුණු රු. 100.00 අද වන විට රු. 2500.00 දක්වා වැඩි වී ඇත. 1977 ට පෙර මන්ත්‍රීවරුන්ට මාසිකව හිමි වූයේ වැටුප් නොවේ. දීමනාවක් පමණි.
“මම පාර්ලිමේන්තුවේ රැකියාවට ගියේ 1965 දී. 1990 වෙනකම් මම වැඩ කළා. 1977ට පෙර මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලැබුණේ දීමනාවක්. වැටුප් ලැබුණේ නැහැ. තැපැල් ගාස්තු, දුරකථන වියදම්, කාර්ය මණ්ඩල වියදම්, සංග්‍රහ වියදම් වගේ දීමනා ටිකක් ලැබුණා. ඇමතිවරුන්ට නිල වාහනයක් දුන්නා. ඒ කාලේ හුඟාක් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ආවේ ගියේ කෝච්චියේ. විජයානන්ද දහනායක මහත්තයා ඇමති කෙනෙකු වෙලා හිටියත් එයාගේ නිල වාහනය ගත්තේ නැහැ. කෝච්චියේ තමයි ආවේ. දුම්රියේ 1 වැනි පංතියේ ගමන් කරන ප්‍රවේශ පත්‍රය තිබිලත් ඔහු 3 වැනි පංතියේ සාමාන්‍ය මගීන් එක්ක කතා කර කර ආවේ. ඒ කාලේ වලපනේ මන්ත්‍රී කෙනකු වෙලා හිටපු ටී.බී.එම්. හේරත්, පියසේන තෙන්නකෝන් එහෙම පාර්ලිමේන්තු ආවේ කෝච්චියෙන්. කොටුව ස්ටේෂමෙන් බැහැලා පරණ පාර්ලිමේන්තුවට පයින් ආවා. පාර්ලිමේන්තු රැස්වීමට පැමිණියා කියලා අමුතු ගෙවීම් කළේ නැහැ. නොගෙව්වා කියලා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නෑවිත් හිටියෙත් නැහැ.” යනුවෙන් පැවසුවේ වසර 25ක් මුළුල්ලේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාකරුවකු ලෙස සේවය කළ ප්‍රේමචන්ද්‍ර අල්විස් ය.
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමි වුණේ 1977 පසුව
මේ අතරවාරයේදී හබරාදූව ආසනයේ හිටපු මන්ත්‍රීවරයකු වූ ඩී.ඇස්. ගුණසේකරට ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට දඩ ගැසූ පුවතක් ද අසන්නට ලැබුණි.
එදා සැතපුම් 50 කට වැඩි දුරක සිට පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා රු. 50/-ක මුදලක් ගෙවා තිබිණි. එහෙත් පසු කලෙක ශ්රාවස්ථියේ නවාතැන් ගැනීමට පහසුකම් සැපයීමත් සමඟ එම දීමනාව නවතා දමා ඇත.
පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම ආරම්භ වූයේ ද 1977 න් පසුවය. එය සම්මත වී තිබෙන්නේ 1977 අංක 1 දරන පනතිනි. එහෙත් එය හිමි වූයේ මන්ත්‍රීවරයාට මිස ඔහුගේ බිරිඳ හෝ සැමියා සහ දූ දරුවන්ට නොවේ.
මන්ත්‍රීවරයා මිය ගිය පසු කලත්‍රයාට සහ වයස අවු: 18ට අඩු දරුවන්ට විශ්‍රාම වැටුප හිමි වන ආකාරයට එය 1990 අංක 47 දරන පනතින් සංශෝධනය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශ්‍රාම යන විට ලැබූ මූලික වැටුපෙන් 1/3 ක් විශ්‍රාම වැටුප වශයෙන් හිමිවේ.
වසර 5කට වැඩි වසර 15කට නොඅඩු කාලයක් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප වශයෙන් මූලික වැටුපෙන් 2/3ක් හිමි වේ. ඊට අමතරව ජීවන වියදම් දීමනාව සහ රු. 3,500/-, රු. 10,000/- සහ රු. 15,000/- යන අන්තර් දීමනා 3ක්ද විශ්‍රාම වැටුපට එකතු වනු ඇත.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අවශ්‍ය නැහැ කියලා ඇන්.ඇම්. පෙරේරා මහත්මයා පාර්ලිමේන්තුවේදි විරුද්ධ වුණා. එදා ඔහු පෙන්වා දුන්නේ මන්ත්‍රී ධුරය කියන්නේ ගරු සේවයක් කියලා. හැබැයි මන්ත්‍රීකම නැතිව ගමේ ගිහින් ඉතාමත් දුඃඛිත ජීවිත ගත කරපු අයත් හිටියා. ඒ කාලේ මන්ත්‍රීවරු හම්බ කර ගත්තේ නැහැ. සමහරු අතේ තියෙන මුදල් වියදම් කරගෙන, ඉඩම් විකුණාගෙන දේශපාලනේ කළේ.” යනුවෙන් හිටපු හැන්සාඩ් වාර්තාකරුවකු වූ ප්‍රේමචන්ද්‍ර අල්විස් සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමේ බලපත්‍ර හිමි වූයේ ද 1977 න් පසුවය. ඊට පෙර බොහෝ දෙනකු පාවිච්චි කළේ ඔවුන්ගේ පෞද්ගලික වාහන සහ නිල වාහන පමණි. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ මන්ත්‍රීවරුන්ට පැජරෝ ගෙන්වීමට බලපත්‍ර හිමි විය.
සම්බන්ධීකරණ ලේකම්ට ඉන්ධන වලට පමණක් රුපියල් 17,440ක්
කෙසේ හෝ 1982 වර්ෂය වන විට මන්ත්‍රී වැටුප වශයෙන් හිමි වී තිබෙන්නේ රු. 1,000.00 කි. ඊට දුරකථන දීමනා, සංග්‍රහ දීමනා, ඉන්ධන දීමනා වැනි දීමනා ද එකතු විය. එහෙත් 2004 වර්ෂය වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප රු. 22,100/-ක් ලෙස වර්ධනය වී තිබේ.
2004 දී ඉන්ධන දීමනාව වශයෙන් රු. 7,500/-ක්ද සංග්‍රහ දීමනාව වශයෙන් රු. 1,000/-ක්ද ජංගම දුරකථන බිල් සඳහා රු. 2,000/-ක්ද ගෙවනු ලැබීය. 2004 වර්ෂයේදී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම වෙනුවෙන් මන්ත්‍රීවරයකුට වරකට රු. 500.00ක් හිමි වී තිබේ. ඇමති කාර්යය මණ්ඩලයට පෞද්ගලික ලේකම්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරි, සහකාර ලේකම් (මාධ්‍ය), ලිපිකරු හා රියදුරු වශයෙන් 6 දෙනකු බඳවා ගත හැකි වූ අතර මන්ත්‍රීවරුන්ගේ කාර්යය මණ්ඩලයට සිවුදෙනකු බඳවා ගත හැකි විය. ඔවුන්ගේ වැටුප රු. 10,000/- කි.
1982 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා වසර 22ක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප 95%කින් වැඩි වී තිබේ. එහෙත් 2004 වන විටදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර මිල ගණන් වැඩි වී නොතිබීමත් පුදුමයකි.
2004 වන විටදීත් මන්ත්‍රීවරයකුගේ උදේ කෑම වේලක මිල රු. 6.00කි. දහවල් කෑම වේලක මිල රු. 15.00ක් විය. නමුත් 2004 දී උදේ කෑම වේලක මිල රු. 60.00 දක්වාත් දහවල් කෑම වේලක මිල රු. 150.00 දක්වාත් 10 ගුණයකින් ඉහළ දමා ඇත.
අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආහාර වේලක මිල තවත් ඉහළ ගොස් තිබේ. ඊට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප් සහ දීමනා ද ඉහළ ගොස් ඇති නිසා අප ඔවුන්ගේ ආහාර මිල ඉහළ යෑම ගැන දුක් විය යුතු නැත.
මහජනතාවගේ වැටුප් ඉහළ නොගියද මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතවරුන්ගේ වැටුප්, දීමනා හා වරප්‍රසාද ඉහළ යෑම ගැන මහජනතාව සතුටු විය යුතුය. පාර්ලිෙම්න්තුවේ පක්ෂ, විපක්ෂ කොයි කවුරුත් එක හෙළාම අත් ඔසවන, ඒකඡන්දයෙන් සම්මත වන දෙයක් තිබේ නම් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම බව මේ වන විට ජනතාව තේරුම් ගෙන ඇත.
