Gallery

“මට මොනවා වුණත් කමක් නෑ මහත්තයා. මං මේ කාලකන්නි කතාව ගැන කියන්න කොන්දක් තියන මිනිස්සු මහත්තයට මුණගස්සන්නම්” – සාෆිලාගේ අල්ලපු වැටේදී ජාතිය වඳ වෙන හැටි

මහ ඇළ දිය වරා ඇත. අඩියේ ඉතිරි වන දිය පොදෙහි දරුපැටව් කෙළි දළෙනි.
ගිරානෙගම වයි හන්දියෙන් හැරී මාර ගසින් සෙවණ වූ ගුරු පාර දිගේ ගමන් කරමින් සිටිමු.
තුරු වියන සනහා ගලාගෙන එන සුළං පොදය. තුරුපත් මතින් රූරා වැටී වැලි පොළොවේ මැවෙන හිරු රටාය.
එය මනරම් දැකුමකි. එහෙත් හාත්පස දකින මේ චමත්කාරය මහා මායාවක යැයි හැඟෙන සෑම මොහොතකම ඇතුළතින් මතුව එන දාහයකින් සියොලඟම දැවී යනු දැනේ. පිටපොත්ත දිදුලමින් ඇතිමුත් මදය කුණු වූ ඵලයක හැඩය මේ මහවැලි ගොවි ගම්මානවලින් දකින්නට කවදාවත් ප්‍රාර්ථනා නොකළෙමි.
ඉදිරියට ඇදෙන වාහනයේ ටයර් වැලි සහිත බොරළු පොළොවේ ගැටෙමින් නඟන හඬ යටපත් කරමින් ඔහු කතා කරමින් හිඳී.
“අවුරුදු දාහතරේ පහළොවේ දරුවන්ගෙන් බාගයක් මේ ජරාවට පුරුදුවෙලා. මේ දරුවො කුඩුවලට හුරු කරගත්තට පස්සෙ ඉබේටම ඉස්කෝලෙ ගමන නවතිනවා.
ඊට පස්සේ මුං කුඩු ජාවාරමට මේ දරුවො සම්බන්ධ කරගන්නවා. උන් තමයි ලොකේෂන්වලට කුඩු දාන්නෙ. කුලියක් කියලා නෑ. දරුවන්ට උදේ හවස කුඩු ගස්සනවා.”
ඇසෙන්නේ දරුවන්ට කුඩු ගස්සා උන් කුඩුකාරයන් කර සිය ජාවාරම තුළ දිය කර හරින පාදඩයන් පිළිබඳ කතාවකි.
“මට මොනවා වුණත් කමක් නෑ මහත්තයා. මං මේ කාලකණ්ණි කතාව ගැන කියන්න කොන්දක් තියන මිනිස්සු මහත්තයට මුණගස්සන්නම්. මිනිස්සු ඉන්නෙ පුදුම පීඩනයකින්.” ඔහුගේ හඬේ ගැබ් වී ඇති අසීමිත වේදනාව හා අපේක්ෂාභංගත්වය මා පාරවමින් හිඳී.
අපි ඇලකන්ද දිගේ ගමන් කර කුඩා නිවසක් අසලට පැමිණියෙමු. ඔවුහු අප එන තුරු බලා සිටිති. පිරිස විමසුම් සහිතය. හාත්පස සිදු වන දේ ගැන දැඩි අවදානයකින් යුතුවය. අපව නිවස තුළට කැඳවන්නට ඔවුහු යුහුසුලු වෙති. මඟතොට යන එන අයගේ අනවශ්‍ය අවධානයට අප යොමු කිරීමට ඔවුන්ට උවමනාවක් නැත.
රැස් වී සිටින සියල්ලන්ම මේ ව්‍යසනයේ ගොදුරුය. සිය දරුවන් එහි කරවටක් ගිලී ගිය අයුරු දකින මවුපියෝය.
සිය දරුවන්ගේ ජීවිත ව්‍යසනයට එරෙහිව හඬක් නඟන්නට ගොස් මරණ තර්ජන හමුවේ මුනිවත රකින අසරණයෝය. මත් උවදුරට එරෙහිව තනිවම නැඟී සිටින්නට ගොස් සමාජය විසින්ම හුදකලා කරනු ලැබූවෝය. කියන්නට බොහෝ දේ ඇති නමුත් කතා කරන්නට වචන සොයමින් මුනිවත රකින මිනිසුන් මැද නිහඬකම මොන තරම් වේදනාවක් උපදවන්නේ දැයි සිතමින් සිටියෙමි.

මහවැලියේ ව්‍යසනය
අවසානයේදී එක් පියෙක් හඬ අවදි කළේය. “මහත්තයා මේ ඇවිත් ඉන්නේ මහවැලි එච්. කලාපයේ ගොවි ගම්මානවලට. පොලිස්වසම් දෙකක් තියනවා.
එක පැත්තක් ගල්කිරියාගමට. අනෙක් පැත්තෙන් ගලේවෙලට. මේ වෙනකොට මේ ගම්මාන ඇතුළේ දරුපැටව් ගොඩක් කාලකණ්ණි වෙලා ඉවරයි.
ගිරානෙගම, බෝගස්වැව, මුතුපෝරුගල, දෙහිප්පාව, ගල්කිරියාගම, පුබ්බෝගම, උඳුරාන, ගම්මානවල මිනිස්සුන්ගේ අනාගත බලාපොරොත්තු බොහොමයක් ඉවරයි.
දඹුලුහල්මිල්ලෑවත් විනාසයි. මේ මහවැලි ගම්මාන. ඒ ළඟ තියෙන කරකොළගස්යාය, උල්පත්යාය ගම්මානත් මේ කාලකණ්ණි ටික විනාස කරලා.
අපි කුඩු විකුණන උන් ගැන අහලා තියනවා. ඒත් මේ ඉස්කෝලෙ යන දරුවන් ඒ ජරාවට හුරු කරලා උන් ලව්වා කුඩු විකුණවන කුපාඩිකම ගැන දැක්කෙ මෙහෙදි. ”
“කව්ද මේ කුඩු විකුණන්නෙ. ගමක් ඇතුලේ කුඩු විකුණනකම් ඔයාලා මොනවාද කරන්නෙ”

ඒ විමසුම ඔවුන් රිදවන්නේ නැත.
“ලැජ්ජයි… ඒත් මොකද කරන්නෙ ?. ගලේවෙල ව්‍යාපාරයක් විදිහට කුඩු විකුණන උන් අතරින් ප්‍රධානම එකා බෝතල් සම්පත්. බෝතල් සම්පත් කියන්නෙ මිනීමැරුම් අපරාධයකටත් සම්බන්ධ එකෙක්. ඌ ඉන්නෙ ගලේවෙල දඬුයායේ. විකුණන්නෙ දෙදාස් පන්සීයෙ කෑලි. තව එක ගෑනු කෙනෙක් ඉන්නවා ටවුන් එකේ කොරියාව කියන හරියෙ.
ඒ ගෑනු කෙනාගේ පවුලෙම කළේ කසිප්පු, ගංජා කුඩු විකුණන එක. දාහෙ කෑලි විකුණන්නෙ. තව එකෙක් කැකිරාව ස්ටේෂන් එක කිට්ටුව ඉන්නවා. ඒකා විකුණන්නෙ දෙදාස් පන්සීයෙ කෑලි.
ජා ඇල අයියා කියලා රටේම කුඩු බෙදන එකෙකුගේ ගෝලයොත් ගලේවෙල ඉන්නවා. ඌ විකුණන්නෙ පන්දාහෙ කෑලි.
දැන් පැත්තම රන් කරගෙන ඉන්නෙ අපි මේ ඉන්න තෙලදින්නවැවේ රනුක කියලා එකෙක්. පලාගල ප්‍රාදේශීය සභාවේ රස්සාවක් කරන එකෙක් උගේ අම්මත් එක්ක කුඩු විකුණනවා. ඒ ඇරෙන්න කුඩුගහන හැම එකාම එදා කුඩුවේල හොයාගන්න කුඩු විකුණන එකත් කරනවා. ඒ විදිහට බලනකොට ගලේවෙලෙන් බාගයක් ඉන්නෙ කුඩු ජවාරමේ දියවෙලා යන දරුවො.”
“රනුක කියන එකාට අවුරුදු 34ක් විතර ඇති. ගමේ හිටපු අන්තිම දුප්පත් පවුලක කොල්ලෙක්. නැතිබැරිකමටම පොඩි පොඩි හොරකම් කළා. හිරේ විලංගුවෙ වැටුණා. ගමට ආවේ කුඩු ඒජන්ට් කෙනෙක් වෙලා. දැන් පැත්තටම කුඩු දෙන්නෙ මූ. දඹුල්ලෙනුත් එනවා. එන්නෙ හිඟුරලපිටිය හරහා හබරත්තාවෙන් ගිරානෙගමට. ගලේවෙල, මකුළුගස්වැව, පුබ්බෝගම ඇතුළේ ජාවාරම කරන්නෙත් මූ. එළිපිට විකුණනවා.
අහල ගම් හතම විනාස වෙන්න ගත්තෙ මූ මෙහෙම බය නැතිව එළිපිටම මේ වැඩේ කරන්න ගත්තට පස්සෙ.”
අසා හිඳිමු. බුලත්විට විකුණනවා සේ කුඩු විකුණන කුඩුකාරයන් ගැන අප මින් පෙර අසා නැත.
“මුං පොලිසියට අහුවෙන්නෙ නැද්ද?”
“ඇයි නැත්තෙ. පොලිසියට අහුවෙනවා. ඇතුළට යනවා. ආරංචි විදිහට දැන් රනුක ඉන්නෙ ඇතුලේ. බෝතල් සම්පත් මාස හයක් ඇතුලේ ඉඳන් ආවේ.
මේ විදිහ අපට තේරෙන්නෙ නෑ. මාස හයෙන් එළියට එනකම් එළියෙ ජාවාරම කාටහරි ගෝලයෙකුට පවරලා යන්නෙ. ආයෙ එළියට එනවා. ඇවිත් පුරුදු විදිහට වැඩේ කරගෙන යනවා.”
“නීතිය ක්‍රියාත්මක වන විදිහක් තියෙනවා. ජාවාරම් කරන මිනිස්සුන් පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. උසාවියෙන් දඬුවම් දීලා තියනවා. චෝදනා කරකර ඉන්නෙ නැතිව ගමක් විදිහට ඔයාලගේ වගකීම කරන්නෙ නැත්තෙ ඇයි?” මම විමසමි.
එවර කතා කරන්නේ මෙතෙක් මුනිවත රකිමින් සිටි මැදිවියේ කාන්තාවකි.
“අනේ මහත්තයො මේ… පොලිසිය ගැන නම් කියන්න එපා. ඔත්තු දුන්නට එන්නෙ නෑ. සමහර පොලිස්කාරයො කරන්නෙ ඔත්තු දෙන උන් ගැන ජාවාරම්කාරයන්ට කියන එක. කුඩු කාරයො කතා කරලා අහනවා තොපි දැන් කියලා කෙරෙව්වාද?. එළියට බහින්නෙ පරිස්සමෙන්. මරලා දානවා කියලා. අපි ළමයි ඉන්න අම්මලා. මහත්තයලට මේව තේරෙන්නෙ නෑ. ගමේ කොල්ලොන්ගෙන් බාගයක් කුඩු ගහනවා. ගෑනු දරුවෙක් ගෙදරක තියලා යන්න බෑ.”

තවත් එකෙක් කටහඬ අවදි කරයි.
“මේ ගම්මානවල ඉන්නෙ දුප්පත් මිනිස්සු. උන්ට මේ ජාවාරම්කාරයො එක්ක හැප්පෙන්න බෑ.
මොකද පොලිසියත් යටින් ඉන්නෙ උන් එක්ක. කුඩු ගහන කොල්ලො අල්ලලා වැඩක් නෑ මහත්තයො ජවාරම්කාරයාව ආරක්ෂා කරගෙන. ගම්වල තියන සමිති සමාගම්වලදි මේවා කතා වෙනවා. සමිති විදිහට ගිහින් අපි පොලිසියට පැමිණිලි කරලා තියනවා. පොලිසියෙන් දෙන්නෙත් පුදුම උපදෙස්.
මේ කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවන්ගේ පවුල්වල අය පවා සමිතිවලින් අයින් කරන්නලු. එහෙම කරන්නෙ කොහොමද?. ගමේ මිනිස්සු අතර ආරවුල් ඇතිවෙන එක විතරයි වෙන්නෙ.
මීට අවුරුදු හතර පහකට කලින් පළාතෙන්ම හොඳට ශිෂ්‍යත්වෙ පාස් වුණ දරුවා හිටියෙ මේ ගමේ. ලකුණු 177ක් තිබුණා. ඒ දරුවා මේ කාලකණ්ණි කුඩුකාරයන්ට අහු වුණා. දැන් ඉස්කෝලෙ යන්නෙත් නෑ. කොළඹ පොඩි තැනක කුලී වැඩක් කරනවා කියලා ආරංචියි. මේ වගෙ කතා එමටයි.”
මා පසෙක හිඳින්නේ පාසල් ගුරුවරයෙකි. ඔහු පෞද්ගලික පන්තිද පවත්වාගෙන යන්නෙකි. ඔහු දෙස හැරී විමසුවෙමි.
“ඔබතුමා ගුරුවරයෙක්. අවුරුදු 14 ඉඳන් 18 විතර කියන්නෙ ඉස්කොලෙ එන වයස. දරුවො කුඩු ගහලා ඉස්කෝලෙ එනවලු. ළමයි දිවා කාලෙන් තුනෙන් එකක් විතර ගෙවන්නෙ ඉස්කෝලෙ. නැත්නම් ටියුෂන් පන්තියක. ඉතින් කුඩු ගහලා එන පොඩි එකෙක් ඉස්කෝලෙකදි, අමතර පන්තියකදි අල්ලගන්න බැරි නම් ගුරුවරයෙකුගෙන් වැඩක් නෑ නේද?” ඔහු ඍජුවම අප දෙස බැලීය.
“කුඩු ගහලා එන දරුවෙක් අඳුනගන්න පුළුවන්.” අනතුරුව නිහැඬියාවකි.
“මේක රටේම තියන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මේ පැත්තෙදි ටිකක් වැඩිපුර උඩට ඇවිත් තියනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා එන දරුවො දඹුල්ල, කැකිරාව, ගලේවෙල පැත්තෙ ගොඩක් ඉස්කෝලවල ඉන්නවා. ඒ දරුවන්ව හඳුනගෙන ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න කැපවෙච්චි ගුරුවරුත් ඉන්නවා. හැබැයි මේ සමස්ත රටාව ඇතුලේ ඒ ගුරුවරුන්ගේ උත්සාහයත් කිසිම සාධනීය ප්‍රතිඵලයක් ගේන්නෙ නෑ. හේතු මම කියන්නම්.
මේ දරුවන්ගේ විකෘති හැසිරීම් නිරීක්ෂණය කරලා ඒ ගැන විදුහල්පතිවරුන්ට වාර්තා කළාම ඔවුන් මුලින්ම කල්පනා කරන්නෙ පාසලේ කීර්ති නාමය ගැන. දරුවා පුනරුත්ථාපනය කරනවට වඩා ඉක්මනින් දරුවා පාසලෙන් පිටකරගන්න ක්‍රමයක් බලනවා. නැති නම් සිද්ධිය වහන්න හදනවා.
ඊළඟට මවුපියො. අම්ම්ලා තාත්තලට කතා කරලා දරුවා මත්ද්‍රව්‍යවලට හුරුවෙලා කියලා කිව්වට ඒක පිළිගන්නෙ නෑ. අපේ එකා එහෙම නෑ කියන අදහසක ඉන්නෙ. මේ මිනිස්සුන්ට ඒ ඇත්ත ඒත්තු ගන්නවන්න යනකොට මුලින්ම කරන්නෙ ගුරුවරු එක්ක ගැටෙන එක. තේරෙනකොට වැඩේ සෑහෙන්න දුරදිග ගිහින්.
අනෙක් පැත්තෙන් ජාවාරම් කාරයො. උන් මේ වගේ ගුරුවරුන් වැඩිදෙනෙකුට මරණ තර්ජන එල්ල කරලා තියෙන්නෙ. මේවා ගිහින් පොලිසියටවත් පැමිණිලි කරන්න බෑ. මොන පොලිස් කාරයා උන්ගෙ සාක්කුවෙ ඉන්නවද කියලා අපි දන්නෙ නෑ. කුඩුවලට ඇබ්බැහි වෙච්චි දරුවොත් ගුරුවරුන් එක්ක වෛරයෙන් ඉන්නෙ.”
අප මේ තරම් කාලකණ්ණි කතාවක් ඇසීමට සූදානම් වී සිටියේ නැත. “මේ දරුවොන්ට කොහෙන්ද සල්ලි.” මා සමඟ සිටින සගයා විමසන්නේ බොහෝ වේලාවක් සිදු වන දේ බලාසිටීමෙන් පසුවය.
“මේක වෙන්නෙ ඉතාම සැලසුම් සහගතව. ගලේවෙල, කැකිරාව ප්‍රදේශවල ඉන්න යමක් කමක් තියෙන මිනිස්සුන්ගේ දරුවො ටික මේ ජාවාරම්කාරයන්ගේ ඉලක්ක වෙලා තිබුණු බව පහුගිය කාලෙ වැඩවලින් පෙනුණා. එහෙම දරුවෙකු මේ ජරා වැඩේට ගත්තට පස්සෙ එයා වටේ තවත් දරුවො කණ්ඩායමක් එකතු වෙනවා.
හැමෝටම වගකීමක් බෙදනවා කණ්ඩායමට සල්ලි හොයන්න. පස්දෙනෙකුගඒ කණ්ඩායමක් නම් එක්කෙනෙකුට දවස් පහකට විතර සැරයක් තමයි රුපියල් දෙදාහක් විතර හොයාගන්න ඕන. මම දන්න විදිහට රුපියල් දෙදාහක කෑල්ලක් ඇති දවසකට එහෙම කණ්ඩායමකට.”

මෝබයිල් කෑෂ්
“මේ ගමේ ඉන්න කුඩු ජාවාරම්කාරයයි, ලොකුවට ජාවාරම කරන බෝතල් සම්පතුයි කුඩු විකුණන්නෙ මෝබයිල්වලින් සල්ලි ගෙවන ප්‍රසිද්ධ ක්‍රමකයට. මුං උදේම කුඩු පැකට් පහසුවෙන් හඳුනගන්න පුළුවන් තැන්වල දාලා යනවා. ඒ ග්‍රිඩ්එක ලියා ගන්නවා. කුඩු ඕන කට්ටිය ජාවාරම්කාරය කියන නොම්බරේට සල්ලි දාලා දාපු වේලාව කෝල් කරලා කියනවා.
ඒ සල්ලි වැටුණු වග තහවුරු වුණාම කුඩු පැකට් එක ගන්න ඕන ග්‍රිඩ් එක කියනවා. ඒක තමන්නගේ පොතෙන් කපලා දානවා. ගොඩක් වේලාවට ලයිට් කණු යට, බෝක්කු යට තමයි දාලා යන්නෙ. සමහර තැනවල පාර දෙපැත්තෙ මාන කැලෑව පොඩි වෙලා ලයිට් කණු ළඟට යන අඩිපාරවල් තියනවා. ඒ කුඩු දාන තැන්.”
“ලොකේෂන්වල කුඩු පැකට් දාන එක අමාරු වැඩක්. ජාවාරමේ බිලි බෝයි වෙන්නෙ ලොකේෂන්වල කුඩු දාන කෙනා. ජාවාරම් කාරයො දැන් පොඩි ළමයි කුඩුවලට පුරුදු කරලා උන් ලවා මේ වැඩේ කරනවා. දවසකට ඕන කරන කුඩු ටික ගස්සනවා. ඒක මුන්ට ලේසියි.
දැන් මේ ගමේ වෙන්නෙ ඒකයි. කුඩු ගහන්න ලොකේෂන්වලින් බඩු ගන්න උන් රුපියල් දෙදාහෙ කෑලෙන් දාහෙ කෑලි හතරක් හදලා ඒවා විකුණලා කුඩු ගහන්න සල්ලි හොයා ගන්නවා. කුඩු ගහන එකාම කුඩු විකුණනවා.බෝතල් සම්පත් කියන කාලකණ්ණියා දැන් මේ ඩිලිවරි වැඩේ කරවන්නෙ උගේ වයිෆ්ගේ මල්ලි දාලා. කලින්ම මූ කළේ මේ ළමයට කුඩු පුරුදු කරපු එක. දැන් වැඩේ කරවාගෙන මේ ළමයට දිනපතා ඕන කරන කුඩු ටික ගස්සනවා.”

මා අසල සිටින ගුරුවරයා යළි කතාව අරඹයි.
“දරුවො කුඩුවලට හුරු වෙන්නෙ තූල්වලින්. තූල් කියන්නෙ දුංකොළ හුනු එකට කලවම් කරලා හදන මත්ද්‍රව්‍යයක්. මීට ටික කාලෙකට කලින් තූල් ගත්තු ගෑනු දරුවෙකුත් දඹුල්ල ඉස්කෝලෙකින් අහු වුණා. ෆාමසිවලින් තහනම් මත් පෙති විකුණනවා. මත් බෙහෙත් විකුණනවා. දැන් ගලේවෙල පට්ටියවෙල කඩේක තොග ගානට මත්ගුලි විකුණනවා. දරුවො ඇවිත් ඒවා අරන් යනවා එළිපිට. පොලිසීයත් ඒවා දන්නවා.”
මේ මිනිසුන්ගේ මුහුණු ඡායාවන් සේ පෙනේ. මේ අවනීතියට එරෙහිව නැඟී සිටින්නට නොහැකි වීමේ අසරණකම සහිත වචනයට නැඟිය නොහැකි සංකීර්ණ හැඟීම් සමුදායත් ඒ ඇස්වල රැඳී ඇති අයුරු දකිමි. මේ මිනිස්සු බෝතල් සම්පත්ගේ කුඩු ජාවාරම ගැන කියති. ඔහු කොළඹ සිට කුඩු ගෙනෙන්නට සිය බිරිය යොදාගත් හැටි ගැන කියති.
නැන්දණියගේ ගෙදර සුළං පොදක් නොඑන සේ සැකසූ අඳුරු කාමරයක් තුළ වීදුරු තහඩුවක් මතට කුඩු දමා බ්ලේඩ් තලයක ආධාරයෙන් කොටස් කර ෂොපින් බෑග් තීරුවල එම කුඩු පැකට් කරන ආකාරයත්, ඉටිපන්දමකින් සීල් කළ එම කුඩු පැකට් කඩදාසිවලත් අනතුරුව පොලිතින්වලත් ඔතා කළු පැහැති ටේප් පටිවලින් ආවරණය කර සකසා ගන්නා ආකාරයත් කියති.
ඔත්තු දෙන්නට ගියවිට පොලිසිය තමන් පාවා දෙන ආකාරය ගැන කියති. තමන්ගේ දරුපැටවුන් මේ කාලකණ්ණි ජාවාරම් කාරයන්ගේ ගොදුරු වෙන්නට හැර බලාසිටින්නට සිදු වී ඇති වේදනාව ගැන කියති.
අපි දොස්තර සාෆි ජාතිය වඳ කරන්නට පැලෝපීය නාළ තද කළ ආකාරය ගැන කල්පනා කරමින් හිඳිමු. කුරුණෑගලට නුදුරින් පාරම්පරික ගොවි ගම්මානවල සිංහල බෞද්ධ දරුවන් කුඩුකාරයන්, ගංජාකාරයන්, බෙලහීන යාචකයන් වී වඳවෙමින් ඇති ආකාරය අපට පෙනෙන්නේ නැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!