කුඩා බෝතල් මූඩියක් උගුරේ හිරවීමෙන් මාස 14 ක කුඩා පිරිමි දරුවකු අවාසනාවන්ත ලෙස මිය යෑමේ සිද්ධියක් මීගමුව මහ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ දිවුලපිටිය, දුනාගහ, බටහිර අධිකාරමුල්ලේ පදිංචි කේ. ඒ. උවිදු වගීෂ නමැති දරුවෙකි.
වැටි වැටි ඇවිදිමින් සිටි මියගිය දරුවා තම සහෝදරියන් දෙදෙනා තවත් ඥාති සහෝදර සහෝදරියන් සමග බට්ටෝ පැනීමේ කී්රඩා කරන ස්ථානයට ගොස් ඇති බවත් කී්රඩා කරන එම දරුවන් විසින් බීමට ගෙනත් තිබූ වතුර බෝතලයේ මූඩිය බිම වැටී තිබියදී මියගිය දරුවා එම මූඩිය අහුලා කටේ දමාගෙන ඇති බවත් දිවුලපිටිය පොලිසියේ පොලිස් සැරයන් සරත් කුමාර මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත මීගමුව මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සිරි ජයන්ත වික්රමරත්න මහතා ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
බෝතල් මූඩිය උගුරේ හිරවීමෙන් මොළයට ලේ ගමන් නොකිරීම එම මරණයට හේතු වී ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබිණි.