Gossip

බාල වයස්කාර දැරියව ගැබිණියක් කළ එක් දරු පියාට වසර 15ක සිරදඩුවම්

වසර පහකට පෙර සුරියවැව බෝගහඉදිවැවදී බාලවයස්කාර දැරියක දූෂණය කර ගැබිණියක කිරීමේ චෝදනාවට වරද පිළිගත් චූදිතයෙකුට වසර 15ක සිර දඩුවමක්,රුපියල් 2000ක දඩ මුදලක් හා වින්දිත දැරියට හා ඇයගේ දරුවාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (24) නියෝග කළාය.

මෙලෙස සිර දඩුවම්,දඩ හා වන්දි නියම වුයේ සූරියවැව බෝගහඉදිවැව පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුටය.

චූදිත 2015.11.01 දින හා 2016.01.07 අතර කාලය තුළදී සිය ඥාතිවරයෙකුගේ බාලවයස්කාර දියණියක බලහත්කාරයෙන් දූෂණය කර ගැබිණියක කර තිබේ.දූෂණයට ලක් වූ බාලවයස්කාර දැරිය රෝගී තත්වයකින් පසුවන්නියක් වන අතර ප‍්‍රථිකාර සඳහා ඇය කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් විසින් දැරිය ගැබ්ගෙන ඇති බව දන්වා තිබේ.ඒ අනුව දැරියගේ මව හා පියා සූරියවැව පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අපයෝජනයට ලක් වූ දැරිය විසින් පොලිසියට කටඋත්තරයක් දෙමින් පවසා ඇත්තේ ඒ අසල පිහිටි ඥාති නිවසකට මිදුල අතුගෑම සඳහා ඉදලක් ඉල්ලා ගැනීමට ගිය අවස්ථාවේ චූදිත ඇයව දූෂණයට ලක් කළ බවයි.

දැරියගේ ප‍්‍රකාශ අනුව සිද්ධියට සම්බන්ධ බව කියන චූදිත සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් සූරියවැව පොලිසියට බාර වී තිබේ.පසුව පොලිසිය ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව 2019.08.08 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.ඒ අනුව පැවති නඩු විභාගයේදී චූදිත අධිකරණය ඉදිරියේ සිය වරද පිළිගත් අතර අදාළ චෝදනාව සඳහා චූදිත වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරිය මෙසේ දඩුවම් නියම කෙරුණි.

ඒ අනුව අදාළ චෝදනාව සඳහා වැරදිකරු වූ චූදිතට වසර 15 ක සිර දඩුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 20ක කාලයක් සඳහා අත්හිටවන ලදී.මීට අමතරව රුපියල් 2000ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසරක බරපතළ වැඩ සහිත සිරදඩුවමක්ද නියම කෙරුණි. මීට අමතරව වින්දිත දැරිය හා ඇයගේ දරුවා සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසර 05ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළාය. චූදිත තැනැත්තා විසින් ලබා දුන් වන්දි මුදලින් රුපියල් ලක්ෂ 07ක මුදලක් වින්දිත දැරියගේ දරුවාගේ නමින් ගිණුමක තැන්පත් කරන ලෙසද නියෝග කළාය. මීට අමතරව චූදිත හේතුවෙන් වින්දිත දැරියට උපන් අන්ධභාවයෙන් පෙළෙන කුඩා දරුවාට වයස අවුරුදු 18ක් වන තෙක් මසකට රුපියල් 5000 බැගින් මාසික දීමනාවක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය චූදිතට නියම කළාය.

චූදිත තැනැත්තා ඊයේ(24) දින අධිකරණයේදී ලක්ෂ 10ක වන්දි මුදලින් වින්දිත දැරියට රුපියල් ලක්ෂ 08ක මුදලක් ගෙවූ අතර ඉතිරි ලක්ෂ 02ක මුදල 2020.11.24 දින ගෙවන ලෙස නියෝග කෙරුණි. නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිඳු සෙනෙවිරත්න මහතා පෙනී සිටියේය.

දිලීප් එන් ජයසේකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!