අතීතය හා වර්තමානය සොයා යන ගමනක අතරමඟකදී මම ඔහු දුටුවෙමි. ඒ රුව දුටු ක්ෂණයෙන් සිහි වූයේ ප්‍රසන්න විතානයන්ගේ පුරහඳ කළුවර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන වන්නිහාමිය. යුද්ධයට ගිය සිය පුතු ගෙදර එන තුරු පිල්කඩෙහි වාඩි වී බලා හිඳින වන්නිහාමිගේ දසුන සිහි වන විට අදද හද සසල වේ.
ඒ සිනමා පටයක් තුළ දුටු දසුනකි. හිනිඳුම නගරයේ සිට ගම තුළට යන විට දුටු මේ තාත්තාගේ දසුන දුටු විටද ඔහු තුළ සැඟවුණු කතාවක් ඇතැයි නිකමට මෙන් සිතිණි.
ආ-ගිය තොරතුරු කතා කර, අපි යන්නට ගිය ගමන ගියෙමු. අපේ ගමන අවසාන වී යළිත් හිනිඳුම දෙසට එන විට බොහෝ හැන්දෑ වී තිබිණි.
උදෑසන අතරමඟදී දුටු වයෝවෘද්ධ තාත්තා පෙර ලෙසම ඔහුගේ නිවෙස ඉදිරිපස හිඳ සිටියේය. මම ඔහු අසලින් හිඳගතිමි.
කළු නූලක ඇමිණූ යතුරු දෙකක් ඔහු ගෙලේ පැලඳ සිටී. උඩුකය නිරාවරණය කරගෙන සිටින ඔහුගේ දෑතට තුරුලුව ඇත්තේ දිගු රිටකි.
“දැන් මගෙ වයස අවුරුදු අසූ හතරක් වෙනවා. මගෙ නම කේ හෙන්ද්‍රික්.”
ඔහු යාන්තම් ඉතිරිව ඇති දත් කෑලි දෙක-තුන පෙන්වා හිනැහෙමින් පවසයි.
“ඒ කාලෙ කරපු රස්සාව මොකක්ද?”
මම ඒ කාලේ හින්ගල්ගොඩ වත්තේ මුරකාරයා. අවුරුදු දහඅටක් මම මේ වත්තේ මුරකාරයා විදිහට වැඩ කළා. ආන් අර පේන පශු වෛද්‍ය කාර්යාලයේත් මුරකරු විදිහට වැඩ කෙරුවා.”
ඔහු පවසන්නේ උජාරුවෙනි. වසර ගණනාවක් තිස්සේ පෙළගස්වා නොකියූ කතාවක් ඔහු තුළ ඇතැයි හැඟුණෙන් අපි කතාව දිග්ගැස්සුවෙමු.
“ඒ කාලේ වතු අයිති වෙලා තිබුණේ පරණවිතාන අයියලා-මල්ලිලාට.
මගෙ ගම ඇල්පිටිය. මම රස්සාවක් හොයාගෙන ඇල්පිටියේ ඉඳලා මෙහෙට ආවා. යාළුවෙක් තමයි මට මේ වත්ත අල්ලලා දුන්නේ. ලැයිම් කාමර දෙකක් තිබුණා.
මම එක්දහස් නවසිය හැට තුනේ මේ වත්තට එනකොට දෙමළ අය තමයි වැඩ කළේ. වල් අලිත් ඉන්නවා මේ පැත්තේ. ඔක්කෝම අක්කර හත්සිය එකොළහක් තිබුණා. ටික කාලයක් ඉඳලා මම වත්තෙන් යන්න ගියා. ඒ හාමුත් එක්ක හිත නොහොඳ වෙලා.
ඒත් හාමු අපේ ගමට ඇවිල්ලා ආයෙත් මාව එක්ක ගෙන ගියා. හාමුට හරියට තරහා යනවා. ඒ කාලේ දැන් වගේ මේ පළාත දියුණු නෑ.
ගිං ගඟ ගැලුවාම මේ පළාතම යට වෙනවා. වඳුරෙක් ගහක අත්තක් හෙලෙව්වොත් ඇරෙන්න කිසිම සද්දබද්ධයක් නැහැ. ඒ කාලේ බොහොම් සුළු පඩියක් ලැබුණේ. ඒත් මට ඒ පඩියවත් හරියට ලැබුණේ නැහැ. අවුරුදු දහ අටක් පඩි ලැබුණේ නැහැ.
සිරිමාවෝ මැතිනියගෙ කාලේ මේ ඉඩම් රජයට ගත්තා. ඉඩම් කොමිෂමේ මහත්තුරු ආවා තොරතුරු අරගෙන යන්න.
හාමු ඒ වෙනකොට හිටියේ ගාල්ලේ. ඉඩම් ගැන තොරතුරු අහලා පුරවපු ලියුම් කඩදාසියට අස්සන් කළේ මම. හාමු වත්තට ඇවිල්ලා මට සද්දේ දැම්මා. කිසිම දවසක කිසි ලියුමකට අස්සන් කරන්නේ නැති උඹ මොකටද ඉඩම් ගැන අහපු ලියුමට අත්සන් කළේ කියලා. හාමු මොනවා කිව්වත්, ලියවිලිවලට අත්සන් කළත් නොකළත් මේ ඉඩම් රජයට ගන්න එක නතර කරන්න බැහැ. ඒ නිසා මම අස්සන් කළා කියලා හාමුට කිව්වා. හාමු නිහඬව හිටියා.”
එකල රජයට ඉඩම් පවරා ගන්නා ලියුමකට වත්තේ අයිතිකාරයාගෙන් අසන්නේ නැතිව අත්සන් තැබීම ගැන ඔහු පවසන්නේ හිනැහෙමිනි.
ඔහු තරුණ වියේදී ජේත්තුකාරයෙකි. සිය දරුවකුට කතා කොට ගෙතුළින් ගෙන්වාගත් ඡායාරූපයක් පෙන්වමින් ඔහු තව-තවත් අතීත කතා කියන්න විය.
“මේ මම අවුරුදු විසි අටේදි. ඒ කාලේ පින්තුර ගත්තේ මේ විදිහට. හැඩි-දැඩි ශරීරයක් තිබුණාට මම චණ්ඩිකම් කරන්න ගියේ නෑ. දවසක් මම ගමේ ගිහිල්ලා එකකොට බස් එකේදි මිනිස්සු දෙනෙක් රණ්ඩු වෙනවා. එක්කෙනෙක් මගෙ මිත්‍රයෙක්. මේ ආරවුල දුර-දිග ගිහිල්ලා, එක්කෙනෙක් පිහියක් ඇදලාගත්තා.
මට ඒ වෙලාවේ නම් බලාගෙන ඉන්න බැරි වුණා. මම මැදට පැනලා පිහිය අතේ තිබුණ කෙනාගේ අත පහතට දාලා පිහිය කැඩෙන තුරු බස් එකේ අසුනට ඇනගෙන ඇනගෙන ගියා. දවසක් වත්තේ පොල් කඩපු හොරෙක් ඇල්ලුවා. එදා මම ඒකව අල්ලගෙන
බංගලාවට ගියා. හොරාට අමුඩය ගස්සවලා බංගලාව වටේ දණගාපන් කියලා දඬුවම් කළා. ටික වෙලාවක් යනකොට මට දුක හිතුණා. එදා මම හිතාගත්තා ආයේ කිසිම දවසක මෙහෙම දඬුවම් කරන්නේ නැහැ කියලා. තව දවසක පොල් කඩපු කෙනෙක් ඇල්ලුවා. එදා මම මිනිහව පාරට ගෙනැල්ලා මගේ ඇස් දෙකට පේන්න ඉන්නේ නැතිව පලයං කියලා එළෙව්වා.
මගෙ ළඟ තිබුණා නොම්බර දොළහ තුවක්කුවක්. ඒකට ලයිසන් තිබුණා. ඒ තුවක්කුවෙන් මිනිස්සු මරලා නැහැ. දවසක් හාමු මට කිව්වා උඹ වෙඩි තියන්න දන්නේ නැහැ කියලා.
මට වෙඩි තියන්න පුළුවන් කියලා පෙන්වන්න හාමු පෙන්නපු තලගොයකුට වෙඩි තිබ්බා. ඒහෙම වෙඩි තිබ්බේ පොරොන්දුවක් ඇතිව. මම හාමුට කිව්වා ආයේ කිසිම දවසක මට වෙඩි තියන්න කියන්න එපා කියලා කිසිම සතෙකුට. මම විවාහ වුණේ රත්නපුරේ තරුණියක් සමඟ. ඇය නිළියක්. මම ඉගෙනගත්තේ අටේ පන්තියට විතරයි.
ඒ කාලේ අටේ පන්තිය කියන්නේ ලොකු පන්තියක්. හොඳ දැනුමක් තිබුණා. අපට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. පුතාලා පස්දෙනාටම නමේ අගට වසන්ත කියලා දැම්මා. දුවට ලීලානි කියලා නමේ අගට දැම්මා.
ඒ මගෙ බිරිය ලීලාවති නිසා. මගෙ බිරිය රත්නපුරේ මැණික් කෑල්ලක්. එයා ලස්සනයි. අම්මාගේ පින්තුරේ මේ අයට පෙන්වන්න.” සිය බිරිය ගැන සිහිපත් කරන විට ඔහු පවසන්නට විය. එදින බිරිය දියණියගේ නිවෙසට ගොස් සිටියාය. තරුණ වියේ වීරකම්, චණ්ඩිකම් ගැන මෙන්ම සිය බිරිය ගැනද ඔහු පවසන්නේ චිත්‍රපටයක දසුන් පෙළක් අප දෑස් ඉදිරියේ මවමිනි. එදවස ඔහු විසින් තුවක්කුව එල්ලා තැබූ කොක්ක නිවෙස ඇතුළේ තවමත් ඇත.
රජයට ඉඩම් පවරගත්තාට පස්සේ මොකද වුණේ?”
අප නොදන්නා අතීතයක් ගැන දැනගැනීමට ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමු.
“වත්තේ හාමුට අක්කර පනහක් විතර ලැබුණා. අපේ හාමුට මේවා දියුණු කරගන්න කිසි වුවමනාවක් තිබුණේ නැහැ. අන්තිම කාලෙ වෙනකොට වත්තේ හැම දේම බලාගත්තේ මම. හාමු විවාහ වුණේ නැහැ. ඔහු බීමට ඇබ්බැහි වෙලා හිටියේ. ඔහුගේ නොසැලකිල්ල නිසා තිබුණ ආදායමත් නැති වෙලා ගියා. හාමු බංගලාවට වෙලා හිටියා. මම කුලී වැඩ කරන්න ගියා. හාමුව බලාගත්තේ මම. මම අවුරුදු හතක් පශු වෛද්‍ය කාර්යාලයේ මුරකරු ලෙස හිටියා. ඒත් ඒ කාලේ ආණ්ඩු මාරු වුණාම රස්සාවත් නැතිව ගියා.
පඩිත් නෑ; වන්දිත් නෑ. දැන් මට පින් පඩියක් ලැබෙනවා. දරුවො මාව බලාගන්නවා. මම සතුටින් ඉන්නවා. මේ වත්ත රජයට ගත්තට පස්සේ පහු කාලෙක මේ වතුවල තරුණයන් පදිංචි කලා. කාලෙකදි සමහරු මේක අතහැරලා යන්න ගියා. ඉන් පස්සේ අසූ ගණන්වලදී එක-එක්කෙනා ඇවිල්ලා කැලේ සුද්ද කරගෙන වගා කරගෙන මේවායේ පදිංචි වුණා. විදුලිය ලැබුණේ අනූහතරේ විතර. ඒ කාලේ මේවා ගන කැලෑ.” හින්ගල්ගොඩවත්ත ගැන දිගු ඉතිහාසයක් දන්නා හෙන්ද්‍රික් පවසයි.
ඔහු අපූරු පුද්ගලයෙකි. වත්තේ මුරකරු ලෙස සේවය කළද දහ අට වසරක් පඩි නොලද ඔහු සිය හාම්පුතුගේ අවසන් කාලයේදී ඔහු පෝෂණය කළේ ආදරයෙනි.
“එතකොට මේ බෙල්ලේ යතුරු දෙකක් එල්ලගෙන ඉන්නේ, වටින දේවල් තියෙනවද පරිස්සම් කරන්න?” අප ඇසූ විට ඔහු මහ හඬින් හිනැහෙයි.
“පරණ කොළ කෑලි වගයක් තියෙනවා කබඩ් එකේ. මේ පොඩි ළමයි ඕවා ඇදලා දානවා හැම තැනම. ඒකයි මේ. ඉස්සර නම් වත්තේ බංගලාවේ යතුරු මගෙ ඉණේ ගහගෙනයි හිටියේ…”
“තාත්තා විටින් විට අතීත තොරතුරු කියනවා. ඒත් මේ තරම් තොරතුරු අපි දැනගෙන හිටියේ නෑ. වත්ත බලාගත්තට තාත්තට හරි වැටුපක් ලැබුණේ නෑ. අම්මා වත්තේ අතඇරලා දාපු තේ ගස්වල දලු කඩලා විකුණුවා. අපව බොහෝම අමාරුවෙන් හැදුවේ. අපෙ අම්මයි තාත්තයි හරි සතුටෙන් තාමත් ඉන්නේ. හෙන්ද්‍රික්ගේ බාල පුතු සුමිත් වසන්ත පවසන්න විය.
පෙර දවස මෙන් හින්ගල්ගොවත්තේ හෝ වෙනත් කොහේ හෝ ඇවිදින්න නොයන හෙන්ද්‍රික් දැන් දවස ගෙවන්නේ නිවෙසේ ඉදිරිපස ඇති පුටුවක වාඩි වීය. පුරුද්දට මෙන් උදෑසන අවදි වන ඔහු දහවල් වන විට වතුර ටිකක් නා ගනී. හිසේ ඇම්මකට හෝ උඳුගොව්වන් කෑමෙන් පීඩා විඳින අයකු පැමිණ විට තෙල් සාත්තුවක් කරනවා හැරෙන්න දැන් ඔහුට මහ වැඩක් නැත.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත