Gossip

රසික හදවත් සිනහවෙන් පිරවූ විජයගේ අවසන් මොහොතේ අත්දැකීම ආදරණීය බිරිඳ හෙළි කරයි

සහෘද කලාකරු  විජය නන්දසිරි වියෝ වී අගෝස්තු 10වැනි දාටවසර 3ක් පිරීම නිමිත්තෙනි.

සංසාරේ දිගු කාලයක් එකම මඟක ආ අය මේ සංසාරෙත් එකටම හමුවෙනවා. මේ ජීවිතයෙත් සහයෝගයෙන් එකම සිතින් එක වහලක් යටට වෙලා ඉඳලා එක්කෙනෙක් කලින් සමුගත්තාම අනෙකාට දැනෙන විරහව, සංතාපය, දුක අපමණයි. විජය නන්දසිරි – දේවිකා මිහිරාණි ඒ වගේ දෙන්නෙක්.
ජීවිතයේ සැබෑවට එහා ගිය මනඃකල්පිත ලෝකයකදී, කෙනෙකුව හඬවන්න, හිනස්සන්න තවකෙකුට පුළුවන්නම් ඒකත් විරල හැකියාවක්. විජය නන්දසිරි කියන්නේ එවන් නිසඟ හැකියාවන්ගෙන් සපිරුණු රංගධරයෙක්.
ඔහු අප අතරින් වියෝවෙලා වසර තුනක් සපිරුණත් විජය නන්දසිරි තාමත් අප අතර වගේ අපට දැනෙන්නේ සිනමා නිර්මාණවල තාමත් ඔහු ජීවත්වෙන නිසයි.
මනමේ කුමරුට ‍පෙම්බැන්ද ම‍නමේ කුමරිය, දේවිකා මිහිරාණි තම ආදරණීය වල්ලභයාගේ වියෝවින් තවමත් තැවෙනවා.

විජය නන්දසිරි….., ජීවිතයේ ආදරණීය ගමන් සගයා සදහටම සමුගත්තාම හදවතට දැනුන හැඟීම වචනවලට පෙරළුවොත් ?
“විජය නැතිවුණාම හිතට දැණුනු දුක වචනවලින් කියන්න බැහැ. හරියට සුනාමියක් ආවා වගේ. ඒ වේදනාව තැවුල හරියට මුළු අහස වගේ, මහ මුහුද වගේ . ඔහුගේ අන්තිම මොහොත පුදුම තරමට අමිහිරි අත්දැකීමක්.
අපිට මේ ලෝකෙ උපන් කාටවත් සදාකාලිකව ජීවත්වෙන්න බැහැ තමයි. ඒත් අදහගන්නවත් බැහැ මට…. බලාපොරොත්තු වුණේ නැහැ කොහොමත්ම ඒ තරම් ඉක්මනට යයි කියලා…

හඳහනකවත් කියලා තිබුණේ නැද්ද?
අඩු ගාණේ ඒ කාලෙට අපලයි කියලවත්…?
ජ්‍යෙතිෂයේ මහා පරිමාණයට එල්ලීගෙන නොහිටියාට යම් යම් අවස්ථාවල සුභ මුහුර්ත බලනවා. ඒත් එහෙම බලන්න තරමට අසනීපයක්වත් තිබුණේ නැහැ . විජයට මාරක අපලයක් තිබුණෙත් නෑ. මැරෙන්න තරම් ලෙඩක් තිබුණෙත් නෑ එයාට. ඒත් සොබාදහමට මුහුණ දෙන්න වෙනවා අපිට.
කොයි මොහො‍තේ යන්න වෙයි ද දන්නෙ නෑනෙ.

සෙනෙහසින් බැඳුණු මුල් යුගයේ ආදරණීය මතක සටහන් මතකයට නැගුවොත්…?
හරිම සුන්දර අතීතයක් තිබුණා අපිට. නැටුම් පන්තියේ නටද්දී එයා තමයි මාව රඟපෑමට ගත්තෙත් මුලින්ම.
මම වේදිකාවට, කලාවට ආවේ විජය නන්දසිරියි , ඩී.බී. නිහාල්සිංහයි නිසා.
විජය හොඳ පෙම්වතෙක්. විවාහ වුණාට පස්සේ හොඳ සැමියෙක්. දරුවන්ට ආදරණීය තාත්තෙක්. මම හිතන්නෙ ලෝකයේ හොඳම ස්වාමිපුරුෂයා මගේ සැමියා කියලා. අපි දෙන්නා අතර හොඳ විශ්වාසයක් තිබුණා. අපේ ජීවිත හරි විනිවිදයි . කොහෙද යන්නෙ. මොනවද කරන්නේ කියලා. අද වුණත් මම දරුවන්ටත් කියලා යන්නේ. ඒ නිසා එකිනෙකා අතර සැකයක් ඇතිවෙන්නෙ නැහැ. විජයයි මායි අතරේ ලොකු බැඳීමක් තිබුණා.
කලා ලෝකයේ ඉදිරියට එන්න වුණත් මට විජයගෙන් ලැබුණේ ලොකු පිටුවහලක්. මට අම්මා තාත්තා වගේම විජයත් හුඟාක් උදව් කළා.
නවාංජනා මිහිරාණි, රසාංජන සුචිත්‍ර දරුවෝ ලැබු‍ණට පස්සේ අපේ ජීවිත තවත් සුන්දර වුණා. විජය හුඟාක් කාර්යබහුල වෙද්දී ගෙදර දොර කටයුතු , දරුවන්ගේ වගකීම මම කරට ගත්තත් විජයගෙනුත් ඒවාට විශාල සහයෝගයක් ලැබුණා.
නිවසේ හා අපේ ආර්ථිකය අපි නිතරම සැලසුම් කළා, කළමනාකරණය කළා. කවදාවත් අපි හුදකලා පවුලක් වුණේ නැහැ. දරුවන්ගේ හා පවුලේ සුඛ විහරණය, ශරීර සෞඛ්‍යය ගැන අපි නිතරම සැලකිලිමත් වුණා. අපි විනෝද සංචාරයක් ගියත් පවුලේ ඥාතීන් පවා එකතුකර ගත්තා. හැම දෙයක්ම බෙදාහදාගෙන ජීවත්වෙන්න අපි පුරුදු වෙලා හිටියේ.

ඔයාලා ජීවත්වුණේ කලාකරුවන් බොහොමයක් මැද කලාපුරයක. ඒ අය සමඟ ඔබ පවුලේ සැබැඳියාව, ළෙන්ගතුකම පැවසුවොත්…..
කිසිම අවුලක් තිබුණේ නැහැ. අපි අනිත් සියල්ලන්ම තේරුම් අරගෙන වචනයකින්වත් අනිත් අයට කරදරයක් නොවෙන විදිහට ජීවත්
කලා ක්ෂේත්‍රයේ කිසිකෙනෙකුට වරදක් නොවෙන්න , ප්‍රිය ඇසුරක් පවත්වන්න විජයත් මමත් නිතරම උත්සාහ කළා.
මට පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් ඉන්නවා. අපේ කලා ජීවිතයත්, විවාහ ජීවිතයත් සමබරව ගෙනියන්න අපේ දරුවන්ගේ වැඩවලට ගෙදර දොර වැඩවලට වගේම මගේ පවුලේ සහෝදර සහෝදරියන්ටත් විජය හුඟාක් උදව් කළා.

ප්‍රහසන චරිතවලින් සහෘදයන්ගේ හදවත් තුළ අමරණීය වෙන්න විජයට හැකිවුණා.
විජය කියන්නෙ කාසියක දෙපැත්තක් වගේ. ප්‍රහසන චරිතවලින් මිනිසුන්ගේ හදවත්වලට සමීප වෙනවා වගේම ම‍නමේ කුමරු ලෙසින් දශක තුනක් රසික හදවත් තුළ විරාජමාන වෙන්නත් ඔහුට හැකිවුණා. සමහර ජනප්‍රිය චරිත දක්ෂ නැහැ.
ඇතැම් දක්ෂයන්ට ජනප්‍රියතාවය අඩුයි. විජයට මේ දෙකම තිබුණේ පෙර පින් මහිමයකට. ගායන, වාදන, නර්තන, රංගනය ආදී සියලු හැකියාවන් විජයට තිබුණා.

විජය නන්දසිරිගේ හිස්තැන පුරවන්න පුතාට හැකි වෙයිද?
පුතා සචිත්‍ර ගුවන් නියමුවෙක්. තාත්තාගේ හැකියාවන් වලට අමතරව වේදිකා පාලනය, හඬ පාලනය, බෙර වාදනය, නර්තනය පුතා ඉගෙනගෙන
ගිරිරාජ් කෞෂල්‍ය මිතුරාගේ කතුරු මිතුරු චිත්‍රපටයේ පුතා රංගනයෙන් පෙරට එනවා.
රටේ පවතින දේශපාලන, සමාජ වාතාවරණය, ප්‍රශ්න, වෙනත් වෘත්තීන්වලටත් වඩා කලාවට බලපානවා. මේ කිසිවක් මඟ හරින්න බැහැනේ.
මිනිබිරිය සහන්‍යා මිහිරාණිට අවුරුදු 3යි. මිහිරාණි පරම්පරාව ඉදිරියට ගෙනයාවි. බෑනා සනත් සමින්ද ගුණරත්න ව්‍යාපාරිකයෙක්.
විජය නැතිවෙලා දැන් අවුරුදු 3ක් ‍පිරෙනවා. ඒ වෙනුවෙන් අගෝස්තු 10 දවස පුරාම ලේ දන්දීමේ පිංකමක් අපේ ගෙදර තියනවා. පහුවදාට සංඝරත්නයට දානයක්. විජය වෙනුවෙන් මියගිය දා පටන්ම කරන්න පුළුවන් හැම පින්කමක්ම කරලා ඔහුට පින් පමුණුවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!