ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර පෙම්වතා ද වස පානය කිරීමෙන් පසු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා..
ඉකුත් 22 වැනිදා උදෑසන 8.30ට පමණ මාදම්පේ පොලිස් වසමට අයත් ගල්කටුව වෙන්දේසිවත්ත ප්‍රදේශයේදී මෙම ආරවුල සිදුවී ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ දුම්මලසූරිය සූරියඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ගම්ලත් රාළලාගේ සඳුනි නිරංජලා බණ්ඩාර නමැති තරුණියකි. ඇය එම ප්‍රදේශයේම කොහු ආශ්රිත කර්මාන්ත ශාලාවක ලිපිකාරිනියක ලෙස සේවය කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ තරුණිය හා ඝාතනය සිදුකළ සැකකාර තරුණයා අතර කලක් පෙම් සම්බන්ධතාවක් තිබී ඇති බවත් මෙම සම්බන්ධතාවට තරුණියගේ පාර්ශ්වයෙන් එල්ල වූ විරෝධය මත තරුණිය පෙම් සබඳතාව නැවැත්වීමට ගත් තීරණය ගැන උරණ වූ සැකකාර තරුණයා මෙම ඝාතනය සිදු කර ඇති බවත් පොලිසිය පවසනවා.
ඝාතනයට ලක්වූ තරුණිය එදින සිය මාමා සමග යතුරුපැදියෙන් ඇයගේ සේවා ස්ථානයට ගමන් කරමින් සිටියදී සේවා ස්ථානය ආසන්නයේම පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ සැඟව සිට එකවර යතුරුපැදිය නවතා තරුණිය ගෙන මාමාට ද තර්ජනය කර තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා තිබෙන බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
ඒ සමගම පෙම්වතාද වස බෝතලයක් ගෙන පානය කරමින් දිව ගොස් තිබේ. ඔහු සිද්ධිය වූ ස්ථානයට මීටර් 150 ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑ සහිත ස්ථානයක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ. ගෙල කැපීමට ලක්වූ තරුණිය බරපතළ තත්ත්වයෙන් හලාවත මහ රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර තරුණයා අසාධ්‍යව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
සැකකාර පෙම්වතා දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වෘත්තියෙන් හකුරු නිෂ්පාදනයේ නිරත වූ අයෙකි.
සිද්ධිය සම්බන්ධව හලාවත වැඩ බලන මහෙස්ත්‍රාත් ශානක උදයංග මහතා අදාළ ස්ථානය නිරීක්ෂණය කරමින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. රෝහල් ගත කර ඇති සැකකරුට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා දෙන ලෙස ද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
