මාර්තු 1 වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා ඉතාලිය සහ අවදානම් සහගත බවට නිර්දේශ කර ඇති රටවලින් පැමිණි පුත්තලම් දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ගේ නිවාස විශේෂ ස්වයං නිරෝධායන ස්ථාන බවට පත්කර එම පුද්ගලයන් අධීක්ෂණය කිරීමට විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. මේ සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති 1500කට අධික විදේශයන්ගෙන් මෙරටට පැමිණි පුද්ගලයන් පිරිසකගේ නිවාස විශේෂිත ස්ටිකරයක් අලවා ස්වයං නිරෝධායන මධ්‍යස්ථානයක් බවට ජනතාවට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
අදාළ දින 11ක කාලය ඇතුළත මෙරටට පැමිණි පිරිස්වලට තමන් පිළිබඳ තොරතුරු මේ වන විට ප්‍රසිද්ධ කර ඇති විශේෂිත දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ප්‍රකාශ කර තිබෙන අතර එවැනි පුද්ගලයන් 500කගේ පමණ තොරතුරු මේ වන විටත් ආරක්ෂිත අංශ වෙත ලැබී ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඊයේ (17 වැනිදා) පැවැසීය.
හඳුනාගන්නා මෙම පිරිස් ස්වයං නිරෝධායනයට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ව දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිසිය සහ ග්‍රාමසේවා නිලධාරීන් යොදවන බවද ඊයේ (17 වැනිදා) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ විය.
කෙසේ වෙතත් මෙම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ අසල්වාසීන්ගේ සාමාන්‍ය ජනජීවිතයට අවහිරයක් නොවන පරිදි මෙම නිරෝධායන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
