Gossip

”පිරිමින්ට පාලනය කරගත නොහැකි බොහෝ වේදනාබර හැඟීම් පාලනය කරගන්න ගැහැනුන්ට පුළුවන් ”

තාරුණ්‍යයේ හොඳම කාලයේදි රිය අනතුරකින් දෙපා වාරු නැති වී ගිය පාකිස්තානයේ සුරූපි යුවතියක්… ජීවිතයේ මුහුණ පෑමට සිදු වූ ඛේදජනකම ඉරණමට එරෙහිව තනිව නැගී සිටීමට තරම් දිරිය සම්පන්න සිතක්… බලාපොරොත්තු එහෙම පිටින්ම සුන්වූ මොහොතකදී පවා ජීවන සටන අත්නොහැර අපේක්ෂාවන් දීප්තිමත් කරගන්නත්, ජීවිතයේ ඉතිරි කොටස තනිවම පාට කරගන්නත් තරම් දැඩි ආත්මශක්තියක්… !

ඒ සියල්ල මුනීබා මසාරීට තිබුණා.

ඔබ දන්නවාද….? පිරිමින්ට පාලනය කරගත නොහැකි බොහෝ වේදනාබර හැඟීම් පාලනය කරගන්න ගැහැනුන්ට පුළුවනි. ජීවන සටන අත් නොහැර තනිවම නැගී සිටීමට වෙර දරනවා නම් කෙනෙකුට හොඳම ආදර්ශය තමයි මේ පාකිස්තානු ගැහැනිය…ඇය හැකියාවන් දහසක් ඇති ගැහැනියක්….ආත්ම ශක්තිය…? ඊටත් එහා….අනිත් අතට පිරිමින් අතර පවා එක්තරා විදිහක මොඩ්ල් එකක්..

මුනීබාගේ ලෝකයේ වීරයෝ හිටියේ නෑ. හිටපු වීරයාත් යන්න ගියා. ඇය දෙපා වාරු නැතිව රෝද පුටුවකට වැටුණාම. වීරයා ඇගෙන් දික්කසාද වුණා. ඒ සියල්ල මැද මවක වීමේ අවස්ථාවත් රිය අනතුර ඇගෙන් උදුරාගත්තා. ඉතින් කාන්තාවකට නැතිවෙන්න තව මොනවද ඉතිරි…?

ඉතින් ඇයට ජීවිතය අලුතින් හදාගන්න හව්හරණක්…. ශක්තියක්… ඒ වගේම ආදරයක් වුවමනා කළා… කෙනකුට මේ දේවල් තනිව කරගන්න බෑ. ඒක ලෝකයම දන්නවා. ලොව ජයගත් හැම පුද්ගලයකුගේම පසුපස දිරිගන්වන්න කවුරුහරි හිටියා. ඒත් මුනීබාට එහෙම කවුරුවත් හිටියේ නෑ. ඇයට එහෙම වීරයෙක් හොයාගන්න බැරිවුණා. හිටපු එකම වීරයාත් ගියානේ. ඉතිං ඇගේ ජීවිතයේ වීරයා වෙන්න ඇයටම සිදුවුණා. රිය අනතුර සිද්ධ වෙද්දී මුනීබාට අවුරුදු 20යි. ඇය විවාහ වුණේ ඊට අවුරුදු දෙකකට කලිනුයි. ඒ විවාහය සිද්ධ වුණේ ඇගේ පියාගේ කැමැත්තට මිස ඇගේ කැමැත්තට නෙවෙයි.

චිත්‍ර ශිල්පිනියක් වෙන්න හීන මැව්ව මේ තරුණිය හිටිහැටියේම ගෘහිණියක වුණා. ඇගේ සැමියා පාකිස්තාන ගුවන් හමුදාවේ හිටපු පයිලට් කෙනෙක්. සංවේදිකමක් ගෑවිලාවත් තිබුණේ නෑ…

මම රිය අනතුරට මුහුණ දුන්නේ ඊට අවුරුදු දෙකකට පස්සේ. මෝටර් රථය පැදෙව්වේ මගේම සැමියා. ඔහුට නින්ද ගියා. මෝටර් රථය දරුණු අනතුරකට ලක්වුණේ මාව සදහටම ඇවිදින්න බැරි ගැහැනියක් කරමින්. අනතුර සිදුවෙද්දී සැමියා නම් මෝටර් රථයෙන් ඉවතට පැන ජීවිතය බේරාගත්තා. මමයි හිරවුණේ. සිය ජීවිතය වෙනස් කළ සිදුවීම ගැන මුනිබා එසේ කියනවා.

”ඔබේ අත් දෙක අප්‍රාණිකයි… ඒ නිසා කවදාවත් ඔබට චිත්‍රයක් අඳින්න පින්සලක් අතට ගන්න බෑ… ”දවසක් රෝහලේදි ඇය අසලට පැමිණි වෛද්‍යවරයා එසේ කීවා.

”ඔබේ කොඳුඇට පෙළට නොසෑහෙන්න හානිවෙලා. ඔබට කවදාවත් ඇවිදින්න බෑ.” ”ඔබට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ..”

මට දැනුණේ ජීවිතය මොහොතින් මොහොත මගෙන් ඈත්වෙලා යන බවක්. ඒත් මා අසල සිටි මගේ අම්මා කීවේ දුක්වෙන්න එපා…දෙවියන්ට ඔබ වෙනුවෙන් වෙනම සැලැස්මක් ඇති කියලයි. මම දන්නෙ නෑ එහෙම එකක් තිබ්බද නැද්ද කියලා. ඒත් අම්මාගේ වචන මාව දිරිගැන්වුවා.

ඔබ මුනීබා මසාරිද. ?

එක්තරා දවසක් අනාථ නිවාසයකින් ඇයට දුරකතන ඇමතුමක් ලැබුණා. අම්මා කෙනෙක් වෙන්න පුළුවන් විදිහේ විකල්පයක් ඒ වනවිට ඇය සොයා ගෙනයි තිබුණේ. දරුවකු හදා වඩාගෙන කැපකාර මවක් වෙන්නයි ඇයට වුවමනා කළේ.

පුංචි කොලු පැටියෙක් ඉන්නවා… ඔබ කැමතිද හදාගන්න… ”ඔව් මම ඒ දරුවාට මේ ලෝකේ හොඳම අම්මා වෙන්නම්…” මුනිබාට දැන් වයස 32යි. රිය අනතුරෙන් පස්සේ ගතවූ අවුරුදු 12ක කාලය ඇයව එහෙම පිටින්ම වෙනස් කරලා. ඇය ජීවිතය ජයගත්තේ රෝද පුටුවක ඉඳගෙනයි. අන්න ඒකයි කතාව…! ජීවිතය ජයගැනීම රෝද පුටුවක ඉඳගෙන වුණත් කරන්න පුළුවන් කියලා මුනීබා අපට කියා දුන්නා.

මුනිබා තමයි පාකිස්තානයේ රෝද පුටුවෙන් යන එකම චිත්‍ර ශිල්පිනිය. ඒ වගේම මුල්ම රෝද පුටුවේ මෝස්තර නිරූපණ ශිල්පිනියත් ඇයයි. පාකිස්තාන ගැහැනුන්ට ඇති සීමා මායිම් තුට්ටුවකවත් මායිම් නොකළ මේ අපුරු කාන්තාව දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අංශයේ පාකිස්තාන නියෝජිතවරි යයි.

කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරන සමාජ ක්‍රියාකාරිනියක්. පාකිස්තානයේ අස්සක් මුල්ලක් නෑර කවුරුත් දැන් මුනීබාව දන්නවා. පාකිස්තානයේ ගම්බද පළාත්වල මුළුතැන්ගෙට කොටු වුණු දහස් සංඛ්‍යාත අසරණ ගැහැනුන්ගේ ලෝකයේ එකම වීරවරිය ඇයයි. ඇය උත්ප්‍රේරණ දේශන පවත්වමින් උපදේශිකාවක් විදිහට තවත් විශාල සේවයක් කරනවා.

ජීවිතය කියන්නේ පරීක්ෂණයක්. අත්හදා බැලීමක්. ඒක කවදාවත් ලෙහෙසි එකක් නෙවෙයි. ගන්නා හැම හුස්මකටම ආදරය කරන්න. මරණය ඔබ සොයා එනතුරු ජීවිතය අත් හරින්න එපා. මිනිස්සුන්ට පෙනුණේ මගේ දුබලතාව විතරයි. ඒත් මට පෙනුණේ මගේ හැකියාව විතරයි. මම එහෙමයි හිතුවේ.. මට ඇවිදින්න බැරිවුණාට.. දෙපා වාරු නැති වුණාට මොකද ඉතිං..මට රෝද දෙකක්ම තියෙනවානේ. ඔබේ ජීවිතයේ වීරයා ඔබමයි.. වීරයෝ කවදාවත් පසුබසින්නේ නෑ. ඒක තමයි මුනිබාගේ උදාන ගීතය…

සිළුමිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!