වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය හා ඊට ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙරට කීර්තිමත් විද්‍යාඥයකු වන මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංගික හල්වතුර සමඟ කළ කතාබහකි මේ.
කිසියම් දේශපාලන පක්ෂයක් විසින්නම් කරන පිරිසක් තමයි අපට පාලකයෝ විදියට හැමදාම පත් කර ගන්න වෙන්නේ.රටක ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනකට යවන්න ඕන මොනවගේ අයද කියන අභියෝගය අප හමුවේ තිබෙනවා?
ඒක කරන්න නම් මේ ඉන්නඡන්ද දායකයාව අප ප්‍රශ්න කළ යුතු වෙනවා නේද?
පැහැදිලිවම ඔව්, නමුත් අපට එකපාරටම උඩුගම් බලා යන්න අමාරුයි.
ඒ ඇයි?
බහුතරයක් යැපුම් සංස්කෘතියක් එක්ක ඉන්න කොට ඔබ ඔය කියූ කාරණා වටහාගත් පිරිසක් එකපාරටම ප්‍රාදූර්භූත වේවි කියල මං විශ්වාස කරන්න්නේ නැහැ.
ඒක පළවෙනි ගැටලුව. නමුත් පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ ව කිසියම් විදියකට ප්‍රතිවිරුද්ධ මතයක් සමාජයේ නිර්මාණය වෙමින් තිබෙනවා. ඒත් මේ පවතින දේශපාලන ක්‍රමය ඇතුළෙම විසඳුම් හොයන බහුතර ප්රජාවකින් අපට මේකට විසඳුමක් ලැබේවි කියල කිසිසේත්ම විශ්වාස කරන්න බැහැ.
ඒත් ප්‍රශ්නයක් වුණාම “ඕගොල්ලොනේ ඡන්දය දීලා ඒ අයව පාර්ලිමේන්තුවට එව්වේ” කියලා දේශපාලනඥයෝ ජනතාවට ඇඟිල්ල දික් කරනවා.
ඒකෙ විශාල වැරැද්දක් තියෙනවා. දේශපාලන පක්ෂය සහ දේශපාලන යාන්ත්‍රණය තමයි ඒ තීරණය ගන්නේ. බහුතරයක් අතරේ සුලුතරයක් නම් කරල අපට එවනවා; මේ අයගෙන් පිරිසක් තෝරල දෙන්න කියලා. නමුත් අපට ගැළපෙන කෙනෙක් එතෙන්ට නම් කරන්න අපට පුළුවන් කමක් නැහැ.
මෙන්න මේකට මෙන්න මේ පුද්ගලය ගැළපෙනවා කියලා ඒ පුද්ගලයව නම් කරල කතිරය ගහන්න පුළුවන් කමක් මේ ක්‍රමය ඇතුළෙ අපට නැහැ.
අපට අවශ්‍ය මොකක්ද කියල මේ දේශපාලන යාන්ත්‍රණය කවදාවත් අපෙන් ප්‍රශ්න කරල නැහැ. ඒ අයම හදාගන්න ප්‍රශ්න ටිකක් අපට ඉදිරිපත් කරල මෙන්න මේකෙන් දෙකතුනක් තෝරගන්න කියල අපට කියනවා. ඒක නෙමෙයි විය යුත්තේ.
රටේ ජීවත්වන බහුතරයක් මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න මොනවද?
ඒවට විසඳුම් හොයන්නේ කොහොමද කියන එක ගැන කතිතාවක් ඇති වෙන්න ඕන.
එහෙම කතිකාවක් කවදාවත් මේ පාර්ලිමේන්තුවෙ ඇතිවෙලා නැහැ. ඒ ගැන අපෙන් විමසීමක් කරන්න කවදාවත් ඔවුන් උත්සාහ කරලත් නැහැ.
ඔවුන් ගේ හිතුමතේට නැවත ඔවුන්ට අවස්ථාවක් සැලසෙන ආකාරයට අවස්ථාවාදීව කල්පනා කරලා; මේ මේ ප්‍රශ්න තමයි අපට තියෙන්නෙ ඒවයෙන් හොඳම ප්‍රශ්න ටික තෝරල දෙන්න කියල අපට කියනවා.
එහෙම වුණාම රටේ බහුතරයට අවශ්‍ය දේ කරගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. තියෙන විකල්පය අතරින් හොඳම එක තෝරගන්නවා මිසක් හොඳම විකල්පය තෝරගන්න ජනතාවට අවස්ථාවක් නැහැ. ඒකට වගකියන්නත් ඕන අවසානයේ මේ රටේ ඉන්න බහුතර ජනතාව.
ඒකට හේතුව විදියට ඔබ දකින්නේ මොකක්ද?
විශේෂයෙන් 1948 දී අපට නිදහස ලැබිච්ච දවසෙ ඉඳල ඔවුන් මවපු ලෝකය ඇතුළෙ තමයි අපි ජීවත් වුණේ.
ඒ ඇරෙන්න ඊළඟ පරම්පරාව වෙනුවෙන් සමාජය වෙනුවෙන් යමක් කළ යුතුයි.
එහෙම නොකළොත් අපේ පැවැත්ම පවා අභියෝගයකට ලක්වෙන්න පුළුවන් කියන දේ අප අමතක වුණා. අපට ඒ ගැන යුතුකමක් හා වගකීමක් තියෙන බව අමතක කළා.
වසර 71 තිස්සේ මහජනයා වෙනුවෙන් වගකිවයුතු උගතුන් බුද්ධිමතුන් තමන්ගේ කාර්ය පැහැර හැරීම නිසා දේශපාලනඥයා ගන්න පුළුවන් උපරිම වාසිය මේ වෙද්දි අරගෙන තියෙනවා. ඉතින් කුඩු ව්‍යාපාරිකයෝ, දාමරිකයෝ, ස්ත්‍රී දූෂකයෝ, අඩු අධ්‍යාපන සුදුසු කම් ඇති අය මේ හැම කෙනෙක්ම අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රටේ මේ ක්‍රියාවන් වෙනවා නම් ඒවා සිද්ධ වෙන්නේ මේ අයගේ පූර්ණ අනුදැනුම මතයි. ඔවුන් මේ ඇවිත් ඉන්නේ රට වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් වැඩ කරන්න නෙමෙයි.
තමන්ගේ කළු ව්‍යාපාර නීතියේ රැහැනින් බේරගෙන නිදහසේ කරගෙන යන්නයි.
මොකද රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් මේ දේවල් මේ විදියට පවතින්න විදියක් නැහැ. ඒ නිසා දේශපාලන යාන්ත්‍රණයේ සහයෝගය ඇතිව මේ දේවල් ක්‍රියාත්මක වන බව නිශ්චිතයි. ඒ නිසා රටේ සිද්ධ වෙන හැම නීච ක්‍රියාවක් පිටිපස්සෙම කවුරු හෝ දේශපාලනඥයකු සිටින බව අපට පිළිගන්න වෙනවා.
මේ තත්ත්වය නැති කරන්න නම් මහජනයා මීට වඩා සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ විය යුතුයි. අපි මේ වගේ අය නම් දිගටම පාර්ලි මේන්තුවට යවන්නේ ඒ අයගෙන් මීට වඩා දෙයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම බලා පොරොත්තු වෙන එකත් සාධාරණ නැහැ. ඒ නිසා ජනතාව මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.
ඇත්තට ම මේ ඉන්න දේශපාලනඥයන්ගෙන් අපට කිසියම් හෝ සුබවාදී දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිද?
පාර්ලිමේන්තුවේ 90%කට වඩා වැඩි පිරිසක් ඉන්නේ උසස් පෙළවත් නැති අය.
උගත් කමත් එක්ක බැලුවම මේ වෙද්දි ඔවුන්ට කළ හැකි උපරිම දේ ඔවුන් රට ඇතුළෙ කරනවා. මේ ඉන්න අය දන්නේ මිරිස්කුඩු ගහගෙන, සෙන්කෝලය කඩාගෙන, මයික් ගලවගෙන කතානායක පුටුවේ වාඩිවෙන්න විතරයි.
ඉතින් ඒ අයට අපි බනින එකත් වැරදියි. උගත් කමක් නැති, බුද්ධියක් නැති, සමාජ අවබෝධයක් නැති වංචාව දූෂණය මැරකම ජඩකම එක්ක ඉස්සරහට ගිය; මේ දේශපාලනඥයගෙන් අපි මීට වැඩිය මොනව බලාපොරොත්තු වෙන්නද?
මේ අය රට සංවර්ධනය කරන්න, රටේ අධ්‍යාපනය නඟා සිටවන්න, කර්මාන්ත ශාලා ඇති කරන්න, රස්සාවල් ඇති කරන්න ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරයි කියල අපි හිතනව නම් අපි තරම් මෝඩයෝ පිරිසක් ලෝකේ කොහේවත් රටක නෑ.
එහෙත් පසුගිය කාලේ සිවිල් පුරවැසියන්, උගතුන්, මාධ්‍ය ෙව්දීන් මේ වෙනුවෙන් ලොකු උත්සාහයක් ගත්තා. ඔවුන් මේ තුළ කිසිවක් ම හෝ දිනාගෙන නැද්ද?
ජනමා ධ්‍ය උත්සාහ කළා නිදහස් නිවහල් චින්තනයක් හදන්න. අපි වගේ අය උත්සාහ කළා බුද්ධිමත් සමාජයක් හදන්න; ඒවගේම රටේ ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා ඒ අය උත්සාහ කළා දේශීය කර්මාන්ත ශාලා හදල ආර්ථිකය සංවර්ධනය කරන්න; පූජ්‍ය පක්ෂයක් හිටියා රටේ ජනතාවගේ ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරල මිනිසුන්ගේ මනස සුවපත් කරන්න; නීතීඥවරු පොලීසියේ පිරිසක් හිටියා නීතිය හා සාමය ආරක්ෂා කරන්න අන්තිමට මොකද වුණේ? මේ හැම කෙනෙක් ම පරාජයට පත් වුණා. වැඩි උගත්කමක් නැති වංචාව දූෂණය හෙරකම් මැරකම් කරන මිනිස්සු දිනුවා. ඔවුන් අද රටේ ඉහළ ම තැන්වල වැජඹෙනවා. එහෙම බැලුවම මේ සමාජය තුළ අද දිනල තියෙන්නේ කිසිවක්ම නැති දේශපාලඥයා මිසක් උගත් බුද්ධිමත් පරම්පරාව නෙමෙයි.
ඒත්, අපි හැමෝම මේක ඇතුළෙ පරාජිතයො කියල අපට නිදාගෙන ඉන්න පුළුවන්ද?
අපි කොයිතරම් මේ ක්‍රමය ඇතුළෙ ට්රැක්වෙලාද කියන එක සරලව පැහැදිලි කළොත් ජිවිතයේ සතුට වෙනුවෙන් ජනමාධ්‍යවේදියා ව්‍යාපාරිකයො, අධ්යාපනඥයො,… විදියට අපි හැමොටම මූලික අරමුණු ටිකක් තිබුණා.
ඒ හැමදේම ඉතාම සූක්ෂම ව අද දේශපාලඥයා තමන්ගෙ යටතට අරන් තියෙනවා.
උදාහරණයක් විදියට ජනමාධ්‍යවේදියෙක් ගමු, ඔහුට ළමයව ඉස්කෝලෙට දාගන්න, රස්සාව ස්ථීර කරගන්න, උසස්වීමක් ලබන්න, ලියපු ආර්ටිකල් එක පළ කරන්න දේශපාලනඥයගෙන් තොරව බැහැ.
එහෙම වුණාම නිරායාසයෙන් ජනමාධ්‍යවේදියා දේශපාලනඥයගෙ අතකොලුවක් බවට පත්වෙනවා.
වෛද්‍යවරයා, ඉන්ජිනේරුවා, නීතීඥයා, රාජ්‍ය නිළධාරියා, මේ හැමෝම අද දේශපාලනඥයා විසින් මවන කැරට් අලය ඉස්සරහ ඔවුන් ගේ රූකඩයක් බවට පත්කරගෙන තිබෙනවා.
මේ රටේ නිදහස් අධ්‍යාපනයක් තියෙනව නම් මේ රටේ ජනතාව ඒ වෙනුවෙන් බදු ගෙවනව නම්; උන්ට ඕන දේ කරලා උන් දෙන දේ අරගෙන උන්ට ඕන විදියට පැත්තකට වෙලා ඉන්න අපට බැහැ.
ඔවුන්ට යන්න බැරි තැන්වල අපි නියෝජනය වෙන්න ඕන. යහපාලනයක් පවතින්න ඕන ඒකටයි. නමුත් අද වෙනකොට ඔය කියන යහපාලනය වෙනුවෙන් කැපවිය යුතු පිරිස තමන්ගේ සමාජ වගකීම පැහැර හැරල තියෙනවා.
ඒ සමාජ වගකීම පැහැර හැරීමත් එක්ක ආඳා නැති වලේ ලූලා පණ්ඩිතයා වුණා වගේ තත්ත්වයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ.
2020 පත්වන ජනාධිපතිවරයා අහවල් විදියේ කෙනෙකු විය යුතු බවට විවිධාකාරයේ අදහස් පළ වෙනවා. ඔහු කවර ආකාරයේ අයකු විය යුතුයි කියලද ඔබ හිතන්නේ?
ඔය මාතෘකාව පිළිබඳව කතා කිරීමෙන්ම අප සමාජයට විශාල වැරැද්දක් කරනවා. ඒ තමයි, මේ දේශපාලනඥයට අනවශ්‍ය වටිනාකමක් හා පිළිගැනීමක් අප මේ හරහා ආරෝපණය කරනවා.
එය අප නොකළ යුතුයි. දේශපාලනඥයෙක් කියන්නේ නායකයෙක් ද? පාලකයෙක් ද? ජනතා නියෝජිතයෙක් ද? කියන දේ අප මුලින් තේරුම් කර ගන්න ඕන. මේවා අපි හරියට තේරුම් ගෙන නැහැ.
දේශපාලනඥයා පැහැදිලිවම ජනතා නියෝජිතයෙක්. තමන් නියෝජනය කරන කණ්ඩායමට නායකත්වයක් දීම තමයි දේශපාලනඥයාගේ කාර්යය වෙන්නේ. එහෙම නැතුව දේශපාලනඥයා පරිපාලනයට සම්බන්ධ වෙනව නම්; ඒකම ඇති රටක් පිරිහීමට පත්වෙන්න. ඒක තමයි අපිටත් මේ වෙලා තියෙන්නේ.
හැමදේට ම රටක ඉන්නවා පුහුණු ශ්‍රමිකයෝ පිරිසක්. ලංකාවේ පරිපාලන සේවය ගත්තොත් එය උගත්, බුද්ධිමත්, කාර්ය ශූර මට්ටමක පවතිනවා. වෛද්‍ය වෘත්තිය ගත්තොත් ඕනම රටක ගිහිල්ලා තරගකාරීව කටයුතු කරන්න පුළුවන් දක්ෂ වෛද්‍යවරු පිරිසක් ඉන්නවා.
ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගත්තොත් ඕනම ත්‍රස්තවාදයකට මුහුණ දීලා කටයුතු කළ හැකි මට්ටමක සිටිනවා… මේ හැම වෘත්තියක් ම එහෙමයි.
පාර අතුගාන කෙනාට වුණත් තමන්ගේ වෘත්තිය කරන්න ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. ඒ අනුව මේ හැමෝම තමන්ට පැවරෙන රාජකාරිය කළ යුතුයි.
එහෙම නැතුව ජනතාවගෙන් තේරී පත්වෙලා එන ජනතා නියෝජිතයා වෛද්‍යවෘත්තිය කරන්න, නීතිය හා සාමය රකින්න, පරිපාලනය කරන්න, ජාතික ආරක්ෂාව සලසන්න කියල පත් කරල යවනව නම් අපි විශාල අසාධාරණයක් ඔහුට හෝ ඇයට කරනවා. මොකද ඔහුට එහෙම ධාරිතාවක් නැහැ.
තවත් සරලව පැහැදිලි කළොත්; රටේ ජනාධිපති උත්සාහ කරනව නම් ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න, පාරවල් හදන්න, වරායවල් හදන්න, ආරක්ෂක කටයුතු කරන්න නීතිය හදන්න ඒක හරියන්නේ නැහැ. ඒකට රටේ පිළිගත් පුරුදු පුහුණු වෙච්ච වෘත්තිකයන් පිරිසක් ඉන්නවා.
නමුත් අප කරන්නේ දේශපාලනඥයට අනවශ්‍ය පිළිගැනීමක් දීල; මේ යාන්ත්‍රණ ඔක්කෝම අකර්මන්‍ය කරල බිඳවට්ටන එකයි. මේ නිසා අද මේ රට විශාල ගැටලුවකට මුහුණපාල තියෙනවා.
දැන් හැමෝටම ලේසියි කර ඇරල ඉන්න. ගුරුවරයා ගුරුවරයගේ කාර්ය කරන්නේ නැහැ; වෛද්‍යවරයා එයගේ වැඩේ කරන්නේ නැහැ; විශ්වවිද්‍යාල ආචාර්යවරයා එයාගේ වැඩේ කරන්නේ නැහැ. පරිපාලකයා පරිපාලකයගෙ වැඩේ කරන්නේ නැහැ; ජනමාධ්‍යවේදියා එයාගේ වැඩේ හරියට කරන්නේ නැහැ.
ඒ තත්ත්වයට රට පත් කරල අපි අහනවා 2020 පත්වෙන ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදියෙක් වෙන්න ඕනද? නැද්ද; මිලිටරි කෙනෙක් වෙන්න ඕනද? නැද්ද?එයාට විධායක බලය තියෙනව ද? නැද්ද? එයා පඹයෙක් විදියට ඉඳියි ද? සිංහයෙක් විදියට ඉඳියි ද? යාචකයන්ට දේවල් නිකන් බෙදල දෙන කෙනෙක් වේවි ද? නැද්ද?
මේ වගේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න අහන එක අපි දැන්වත් නවත්වන්න ඕන. මොකද අපි මේ කරන්නේ නියම ප්රශ්නය යට ගහන එකයි. ඒක අපි අපිටම කරගන්න කෙනෙහෙලි කමක්.
අපේ නියම ප්රශ්නය කියල ඔබ මෙතනදි අදහස් කරන්නේ මොකක්ද?
මං ඒකෙන් අදහස් කළේ රටේ පරිපාලන යාන්ත්‍රණය අකර්මණ්‍ය වීම නිසා පරිපාලන ක්ෂේත්රයේ බිඳවැටීමයි.
මේ රටේ පරිපාලන යාන්ත්‍රණයේ තියෙන වැදගත්කම උලුප්පල එළියට අරගෙන එය නැවත බලගැන්වා ශක්තිමත් කිරීමයි අද කළ යුත්තේ.
ඊට පස්සේ ඔතනට පඹයෙක් ගෙනත් දැම්මත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. යන්ත්‍රය දුවනවා. එහෙම කළොත් මේ රට මේ විදියට බිඳ වැටේවි කියලා මං නම් හිතන්නේ නැහැ.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
