පහළොස් (15) වියෑති දැරියක් මාස 02 ක ගැබිනියක් කිරීමේ චෝදනාවට සැකපිට 27 වියෑති තරුණයකු පොලිසිය මගින් පෙරේදා (13 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරිය තමාට මාස 02 ක කාලයකින් ඔසප් ක්‍රියාවලිය සිදු නොවූ බව ඇගේ මිත්තණියට පවසා ඇත. මිත්තණිය විසින් වහා දැරිය වෛද්‍යවරයකුට යොමු කිරීමෙන් අනතුරුව එම වෛද්‍යවරයා දැරිය මාස 02 ක ගැබිනියක් බව පැවසීමෙන් පසු පෙරේදා (13 දා) මිත්තණිය විසින් පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.
මෙම දැරිය ඇගේ මිත්තණිය (මවගේ මව) භාරයේ සිට ඇත. දැරියගේ පියා ඇය කුඩා කාලයේම හැරගොස් ඇති අතර මව වෙනත් විවාහයක් කරගෙන දුර පළාතක පදිංචියට ගොස් ඇත. මිත්තණියට පවතින ආර්ථික අපහසුතාවන් නිසා 07 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා මෙම දැරිය පාසල් ගමන අවසන් කර ඇත.
කම්කරුවකු ලෙස සේවය කරන සැකකාර තරුණයා දැරිය පදිංචි නිවස අසලම පදිංචිව සිටී. දැරියගේ මිත්තණිය නිවසේ නොසිටි පසුගිය ජුනි 24 හා ජූලි 03 යන දිනවල සැකකරු මෙම දැරියට දුරකථන ඇමතුම් දී ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි පාළු නිවසකට කැඳවාගෙන ගොස් සැකකාර තරුණයා සමග අඹුසැමියන් ලෙස හැසිරුණ බව ඇය පොලිසියට පවසා ඇත. මස්කෙළිය පොලිසිය මගින් දැරිය රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.
දැරියගේ හා ඇගේ මිත්තණියගේ ප්‍රකාශ අනුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු, මෙම දැරිය නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් කිරීම යන චෝදනාව යටතේ ඊයේ (14 දා) වෛද්‍ය වාර්තාව ද සමග දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බව පොලිසිය පැවසීය.