පාකිස්තානයේ වයඹ දිග කලාපයේ නව යෞවනියන් දෙදෙනෙකු ”පවුලේ ගෞරවය රැක ගැනීම සඳහා” මරා දමා තිබේ.
පවුලේ සාමාජිකයෙකු විසින් ම මෙම යෞවනියන් දෙදෙනාගේ හිසට වෙඩි තබනු ලැබ ඇති බව පැවසෙන අතර ඊට හේතුව වී ඇත්තේ මෙම යොවුන් තරුණියන් දෙදෙනා පෙනී සිටින වීඩියෝ පටයක් අන්තර්ජාලයේ පළ වීමය.දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුවී ඇත්තේ පාකිස්තානයේ, වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ගම්මානයක ය.”පවුලේ ගෞරවය” රැක ගැනීමේ අදහසින් සිදු වන ස්ත්‍රී ඝාතන පාකිස්තානයෙන් නිතර වාර්තා වේ.
පොලිසිය පවසන්නේ මෙම යොවුන් තරුණියන් දෙදෙනා තරුණයෙකු සමඟ සිටිනු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාලා මත පළවීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බවය.මෙම සිද්ධියට සැක පිට දෙදෙනෙකු අත්අඩංගුවට පත් වී ඇති බව වාර්තා විය.මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ මිය ගිය එක් තරුණියකගේ පියා සහ අනෙක් තරුණියගේ සහෝදරයා බව පොලිස් බලධාරීහු බීබීසී උර්දු සේවයට පැවසූහ.
පොලිසිය තවදුරටත් කියා සිටියේ උතුරු හා දකුණු වසිරිස්තානය වෙන් කෙරෙන සීමාව ආසන්නයේ පිහිටි ගම්මානයකින් වාර්තා වූ මෙම ඝාතන පසුගිය බ්‍රහස්පතින්දා සවස සිදුවන්නට ඇති බව විශ්වාස කරන බවය.වයස අවුරුදු 16 සහ 18 පසුවන මෙම යොවුන් තරුණියන් දෙදෙනා මරා දමන්නට හේතු වූ බවට විශ්වාස කළ හැකි වීඩියෝ පටය බීබීසීයට ලැබී ඇත.එහි දැක්වෙන්නේ තරුණියන් තිදෙනෙකු හුදෙකලා එළිමහන් පරිසරයක තරුණයෙකු සමඟ සිටින දර්ශනයකි. එය වීඩියෝගත කරනු ලැබ ඇත්තේ එහි පෙනී සිටින තරුණයා විසින්මය.
පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු එරට පුවත්පතකට පවසා ඇත්තේ මෙම වීඩියෝව ආසන්න වශයෙන් මීට වසරකට පමණ පෙර පටිගත කළ එකක් බව පෙනෙන්නට ඇති බවත් එය සති කිහිපයකට පමණ පෙර සමාජ ජාලා ඔස්සේ සැරිසරන්නට ඇති බවත්ය.”මේ මොහොතේ අපි ඉහළම ප්‍රමුඛතාවය දී ඇත්තේ එම වීඩියෝවේ පෙනී සිටින තුන්වැනි තරුණියගේ සහ තරුණයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවයි,” එම පොලිස් නිලධාරියා පැවසීය.
