Gossip

පඳුරකට ගහද්දී ඕන තරම් නිළියෝ විසික් වෙයි. මේ වගේ චරිතයක් කරන්න කොයි නිළියද භාරගන්නේ – චමත්කා ලක්මිණි

චමත්කා මේ දවස්වල “හුස්ම” එක්ක පැටලිලා?
ඔව්. “හුස්ම” චිත්‍රපටයේ තාරුකා විජේසිංහට හුස්ම දෙන්නේ මම. හුස්ම තුළ තිබ්බේ වෙනස් විදිහක තිර පිටපතක්. සුදේශ් වසන්ත පීරිස් අයියා තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මාව කැමැති කරවා ගන්නේ. සුදේශ් අයියා එක්ක වැඩ කරන්න පුළුවන් කියන තැනට ඔහු මගේ ඔළුව හදනවා. මොකද මම කලින් සුදේශ් අයියා එක්ක වැඩ කරලා නොතිබුණු හින්දා. “හුස්ම” කියන්නේ සුදේශ් අයියාගේ අනෙක් චිත්‍රපට වගේ බයිස්කෝප් ගණයට වැටෙන චිත්‍රපටයක් නොවෙන නිසා තමයි මම මේකට කැමැති වෙන්නේ.

“හුස්ම” චමත්කාට අභියෝග රැසක් ගෙනාපු චිත්‍රපටයක් නේද?
මගේ ජීවිතේ මීට වඩා අභියෝගයකට මුහුණ දෙන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මම කළේ ඇත්තටම අභියෝගාත්මක චරිතයක්. මේ චිත්‍රපටය තුළ මම බාගෙට බාගයක් ඉන්නේ ට්‍රොලියක් උඩ මැරිච්ච මිනියක් විධියට. රඟපාන්නේ නැතිව එහෙම ඉන්න එක අමාරු දෙයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ සමහර දර්ශන අනෙක් අයගේ සහයෝගයක් නැතිව කරන්න පුළුවන් දර්ශන නෙවෙයි. එහි තිබෙන දර්ශනවලට අනෙක් රංගන ශිල්පීන්ගේ සහ අධ්‍යක්ෂවරයාගේ සහාය අනිවාර්යයෙන්ම ඕන. ඔය කියන කාරණා එක්ක තමයි මම කළ චරිතය අභියෝගාත්මක සහ වෙනස් චරිතයක් බවට පත්වෙන්නේ.නිරුවත් රංගනයකට හැමෝම කැමැති වෙන්නේ නෑ.

ඒත් ඔබ එය භාරගන්නවා?
පඳුරකට ගහද්දී ඕන තරම් නිළියෝ විසික් වෙයි. මේ වගේ චරිතයක් කරන්න කොයි නිළියද භාරගන්නේ. නිරුවත් චරිතයක් කරන්න පුළුවන් රංගන ශිල්පිනියන් අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන් ඉන්නේ. සුදේශ් අයියට මට වඩා රංගනය අතින් දක්ෂ වෙන ශිල්පිනියක් ගන්න තිබ්බා. නමුත් ඔහුට ඕන වුණේ තරුණ යුවතියක්. මැදිවියේ ගැහැනියකගේ කතාවක් නෙවෙයි මේක. මේ වගේ චරිතයක් කරන්න තරුණ පරපුරේ කෙනෙක් ඉන්නේ කවුද කියලා මටම ප්‍රශ්නයක් තියෙනවා. නිරුවත් දර්ශනයක් කරන්න කැමැති කෙනෙක් හිටියත් ඒ කෙනාට රංගන කුසලතාවක් තියෙන්න ඕනෙනේ.

මේ වගේ රංගනයකට එකතු වුණාම සමාජය ඒක කොයි විධියට භාරගනියිද?ඔබට විවේචනවලට ලක්වෙන්න සිදුවෙයිද කියලා බයක් තිබුණේ නැද්ද?
චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන දවස් දෙකයි. මේ දවස් දෙක ඇතුළත මම දන්න කියන පිරිස “හුස්ම” චිත්‍රපටය බලන්න ගියා. චිත්‍රපටය පටන් ගන්න මුල් ටිකේ ඒ අය මට බැනලා බැනලා මැසේජ් එව්වා. “මොනවද මේ වගේ දේවල් කරන්න ලැජ්ජ නැද්ද?” කියලා මට මැසේජ් ආවා. ඒත් චිත්‍රපටය අවසානය වෙද්දී ඒ අයගෙන්ම මට මැසේජ් එකක් එනවා. චමත්කා උඹ කොහොමද මෙහෙම දෙයක් කළේ කියලා. චමත්කාගේ මරු නිරුවත් සීන් ටිකක් තියෙනවා බලන්න යමු කියලා සමහරු චිත්‍රපට ශාලාවට යන්න පුළුවන්. මගේ හිතවතුන් මට එවන මැසේජ්වල ඔය කතා තියෙනවා. මිනිස්සු යන්නේ චමත්කාගේ නිරුවත බලන්න. හැබැයි ඒ අය සිනමා ශාලාවෙන් එළියට එද්දී මගේ නිරුවත ගැන නෙවෙයි පව්කාරයෝ තුන්දෙනක් ගැන තමයි කතාබහ කරන්නේ. ඒ තැනට සුදේශ් අයියා චිත්‍රපටය හදලා තියෙනවා. චිත්‍රපටයේ රූප රාමු එක්ක මිනිස්සු සිනමාශාලාවෙන් එළියට එන්නේ චමත්කා පව් කියන තැන ඉඳගෙන.

කලාත්මක හැඩතලයේ දේවල් කලාත්මකව දකින්න පුළුවන් බහුතර ප්‍රේක්ෂක පිරිසක් ලාංකේය ප්‍රේක්ෂක සමාජය තුළ ඉන්නවද?
ඇත්තටම දැන් ඒ පිරිස හැදීගෙන එනවා. ඉස්සර සම්භාව්‍ය, කලාත්මක චිත්‍රපට බැලුවේ අවුරුදු 35න් වගේ උඩ පිරිස සහ කලාවට සම්බන්ධ අය විතරයි. චිත්‍රපටයට හොඳක් කියන්න හෝ එය විවේචනය කළේ ඒ අය. නමුත් දැන් සිනමා ක්ෂේත්‍රයට එන අයට කොහෙන් හරි ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් ඉන්න අය දන්නවා චරිතයක් කරන කෙනෙක් පෞද්ගලිකව විවේචනය කළොත් ඒක හොඳ තැනක නෙවෙයි තියෙන්නේ කියලා.

ඔබේ රංගනයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?
මගේ පළමු සිනමා නිර්මාණය සරුංගල්. ඒ චිත්‍රපටයේ තියෙන්නේ සාමාන්‍ය තරුණියක් සාමාන්‍ය ජීවිතයක් ගත කරන ආකාරය. ඒකේ රංගනයෙන් කියලා මට මහා ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ.

නමුත් “හුස්ම” චිත්‍රපටයෙන් ස්වයං අධ්‍යයනයට අමතරව ඊට වැඩිය ගොඩක් දේවල් කරන්න තිබුණා. මැරිච්ච කෙනෙක් ඉන්නේ කොහොමද? හුස්ම නොගෙන ඉන්නේ කොහොමද?
කියන බොහෝ දේවල් අධ්‍යයනය කරන්න වුණා. චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ප්‍රවීණයන් බොහෝදෙනෙක් මට මුණගැහුණා. සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගෙන් විවේචනයක් ආවත් කමක් නැහැ මට සිනමාවේ ප්‍රවීණයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ පොඩි වයසට මේ වගේ චරිතයක් කළ එක ගැන ඔවුන් මාව ඇගැයුවා. රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා, ලකී ඩයස් මහත්මයා වැනි පිරිස කිව්ව දේවල් එක්ක මම මටම පොඩි ආඩම්බරයක් ඇති කරගත්තා.

චමත්කා මේ ඇගයීම් ඇතුළේ තමන්ටම වෙනම වටිනාකමක් ගොඩනඟාගෙනද ඉන්නේ?
ඉදිරියේදී මම හැම චිත්‍රපටයකම පේන්න ඉන්න එකක් නැහැ. හැම චිත්‍රපටයකටම ඔළුව දාගන්න වුවමනාවක් මට නැහැ. මට අවුරුද්දට එක චිත්‍රපටයක් කළත් ඇති. මම සිනමාවෙන් හම්බ කරපු කාලේ ඉවරයි. මම දැන් විවාහ වෙලා ඉන්නේ. හැම වෙළෙඳ දැන්වීමකම, මියුසික් වීඩීයෝවකම, චිත්‍රපටයකම මාව දකින්න ලැබෙන්නේ නැහැ. අවුරුද්දකට එක චිත්‍රපටයක මම පේන්න ඉඳියි. ඊළඟට එන චිත්‍රපටයක මම ප්‍රධාන චරිතයක්ම කරයි කියලත් මම කියන්නේ නැහැ. ඊළඟට එන චිත්‍රපටයේ ප්‍රවීණයන් නම් ඉන්නේ මම ඒ ප්‍රවීණයන් එක්ක විනාඩි දෙක තුනක රංගනයකට හරි එකතු වෙන්න කැමැතියි. මොකද මම නවකයොත් එක්ක වැඩ කරනවට වඩා ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න කැමැතියි.

මුදල්මය අගයකුත් චමත්කා ගොඩනඟාගෙනද තියෙන්නේ?
ඔව්. අවුරුද්දකට එක චිත්‍රපටයක් කරලා මම ගෙදර ඉන්නවා කියන්නේ මම අනිවාර්යයෙන්ම කරන චිත්‍රපටයට හොඳ මුදලක් කියන්න ඕන. මම මගේ වටිනාකම නැති කරගන්න කිසිසේත්ම කැමැති නැහැ.චමත්කා දැන් විවාහකයි. “හුස්ම” චිත්‍රපටය සැමියත් බලන්න ඇතිනේ.

චමත්කාගේ රංගනය සැමියාට ප්‍රශ්නයක් නැද්ද?
මම හිතන්නේ මම තමයි වාසනාවන්තම බිරිය සිනමාවේ ඉන්න. මේ වගේ සහයෝගයක් දෙන සැමියෙක් මට හම්බවෙන එකක් නැහැ. මේ වගේ චරිත කරන වෙන කාටවත් මේ වගේ සැමියෙක් හම්බවෙයි කියලත් මම හිතන්නේ නැහැ. මොකද මගේ සැමියා පුදුම තේරුම් ගැනීමකින් ජීවත් වෙන කෙනෙක්. “හුස්ම” මාධ්‍ය දර්ශනයේදී මගේ සැමියා චිත්‍රපටය බලන්න ආවා. ඒ වෙලාවේ සැමියා ළඟින් නැඟිටලා වේදිකාවට නඟින්න ඇත්තටම බය හිතුණා. මොකද බැස්සට පස්සේ මොනවා කියයිද දන්නේ නැති නිසා. හැබැයි වේදිකාවෙන් බැහැලා සැමියා ළඟට එද්දී ‘ඔයා ඒක සුපිරියටම කරලා තියෙනවා’ කියලා කියද්දී මට මාර සතුටක් ඇතිවුණා. ඇත්තටම මම මගේ ජීවිතයට හරි කෙනාව තෝරාගෙන තියෙනවා.

අභියෝගාත්මක රංගනයන් ඇතුළේ, චරිතාංග නිළි භූමිකාවක සොයායෑම ඇතුළේ සම්මානනීය ඇගයුම් ගැන බලාපොරොත්තු තියාගෙන ඇති?
සිනමා ජීවිතයට එද්දී සම්මානවලට මම හරිම කෑදරයි. ඒ වුණාට මම දැන් සිනමාව ඉගෙන ගන්න කෙනෙක් විදිහට සිනමාවේ රැඳෙන කෙනෙක් විදිහට සම්මානවලට නෙවෙයි මම මුල් තැන දෙන්නේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මට ආදරය කරන්න කරන්න මට ඊට වඩා සම්මානයක් ඕන නැහැ. ප්‍රවීණයන්ගේ ආදරය මට හරි වටිනවා.

චමත්කා කියන්නේ වාරණ, සීමා දාගෙන එක රාමුවකට කොටු වෙන කෙනෙක් නෙවෙයි වගේ?
වාරණ, සීමා දාගත්තොත් මම කොහොමද චරිතාංග නිළියක් වෙන්නේ. මට ඕන චරිතාංග නිළියක් වෙන්න. ප්‍රේක්ෂකයෝ හිතනවා නම් මම ඊළඟටත් නිරුවත් දර්ශන තියෙන චිත්‍රපටයක් කරයි කියලා ඒක එහෙම වෙන්නේ නැහැ. මම ඊළඟට රඟපාන චිත්‍රපටය මීට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වෙන්න පුළුවන්. සිල්වත් චරිතයක් වෙන්න පුළුවන්. චරිතයෙන් චරිතයට මම වෙනස් වෙන්න කැමැතියි.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!