සමහර ජීවිත ඇතුලේ ගොඩක් සංවේදී කතා ලියවිලා තියෙනවා.
ඒ විදිහට ලියවුණු අපූරු සටහනක් ගැනයි අපි මේ කියන්න යන්නේ…
ධනයෙන් රෑපෙන්ද පෝසත් සුකුමාල
හංසී වුණා පවුලේ දියනිය බාල
අකීකරැයි චුට්ටක් එනමුදු කෝල
ඈ ලඟ තිබුනෙ නෑ බොරැ ගති මනමාල
තරුණයෝ බොහෝ ඇගෙ අත ගන්නට ආවේ
නෑ කිසිවෙකුට හංසී සෙනෙහස පෑවේ
දිනයක දුටුව රුවකට නෙත සිත යාවෙි
ඔහු සෙබලෙක්ය ආරක්ෂක හමුදාවේ..
හදවත් බැඳී විඳගත්තා සුව පහසින්
දෙගුරුන් විරුද්ධයි ප්‍රේමය හොර රහසින්
ගෙව්වා කලක් දෙදෙනා කාලය සතොසින්
හද බැඳි සෙනේ අමතක කරනුද කෙලෙසින්
දුරකථනයෙනි වැඩි හරියක් අමතන්නේ
පිරිසිදු සිතිනි ඇය සෙනෙහස පුද දෙන්නේ
ඔහුගේ චපල ගති නෑ තව හඳුනන්නේ
තුන් වසරක් මේ විදියට ගත වෙන්නේ
අනියම් ඇසුර ඔහුගේ පසු හෙලිවෙන්නේ
දැනගත් පසුව ඇය කඳුලැලි වගුරන්නේ
සියුමැලි හිතක් මේ දුක නෑ ඉවසන්නේ
සිය දිවි නසා ගන්නයි ඇය සැරසෙන්නේ..
මරනාසන්න වී ඇගෙ පන බේරෙනවා
හදවත් ලෙඩෙකි අප්පච්චී බියවෙනවා
ඔහු නෑ තවත් දුක් කරදර උහුලනවා
හංසිගෙ පියාගේ හදවත නවතිනවා
පියතුම නැති වෙලා කාලය ගත වෙනවා
අසරණ මවත් නිතරම රෝගී වෙනවා
නොසිතූ දෙයක් යලි නිවසේ සිදු වෙනවා
හංසිගෙ මවත් මරුවා හට බිලි වෙනවා
මව සහ පියාගෙ පිංකම් එකම දිනේ
කොහොමද පවසන්නෙ පවුලට වෙච්ච විනේ
තිබුනත් කුමට දැන් කොපමන උනත් ධනේ
ජීවිත අහිමි තැන සතුටක් කොහෙද අනේ
සිදුවූ දේ නිසා ඇගෙ හිත කලකිරිලා
සැනසුම සෙව්ව ඇය තරමක් උමතුවෙලා
අවසානයේ බුදු හිමි මග මතක් වෙලා
කසාවතෙන් සැරසී මෙහෙනියක් වෙලා..