Gossip

දේශපාලනඥයකුගේ හා ව්‍යාපාරිකයකුගේ රැකවරණ ලබමින් උසාවියට කට්ටි පැන්න සම්පායෝ ඇල්ලූ මෙහෙයුම

වරෙන්තු නියම කර දින 12 ක් තිස්සේ සැඟවී සිටි වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා කුරුණෑගල ප‍්‍රදේශයේ සිටියදී මීගමුව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (02 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ක්‍රියාත්මක කළ සූක්‍ෂම මෙහෙයුමකින් පසු සැකකාර අනුරුද්ධ සම්පායෝ මහතා සැඟවී සිටි ස්ථානයෙන් පිටතට ගෙන ඊයේ සවස 3.00 ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
සැකකරු කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සහ ධනවත් ව්‍යාපාරිකයකුගේ රැකවරණය ලබමින් සති දෙකකට ආසන්න කාලයක් පොලිසිය මගහරිමින් සිටියේය. සැකකරු සැඟවී සිටින ස්ථානය හඳුනාගත් විශේෂ පොලිස් කණ්ඩායම සූක්‍ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඔහු කුරුණෑගල නගරය වෙත ගෙන්වාගෙන පසුව අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ මීගමුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වුඞ්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින්ය.
අත්අඩංගුවට ගත් අනුරුද්ධ සම්පායෝ ඊයේ සවස මීගමුව පොලිසිය වෙත රැගෙන ආ අතර පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් පාතාල සාමාජිකයන් සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ට සියලූ සැප පහසුකම් ලබාදුන් බවට මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව්දෙනකු වෙත චෝදනා එල්ල වී තිබිණි.
මෙම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්ද නිකුත් කරන ලදී.
වරෙන්තු නිකුත් කිරීමෙන් පසු සෙසු බන්ධනාගාර නිලධාරීන් තිදෙනා අධිකරණය වෙත භාරවූ අතර සැකකාර අනුරුද්ධ සම්පායෝ මහතා අපේක්‍ෂිත ඇප අයැදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය මඟහැර සැඟවී සිටියේය.
දින 12 ක් තිස්සේ සැකකාර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පොලිස්පතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව දැඩි විවේචනයට ලක්කරමින් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වීමටද කටයුතු කළේය.
එම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාව ලෙස ඉතිහාසගත විය.
අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිසිය වෙත දැඩි චෝදනා එල්ලවෙද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ කුරුණෑගල පොලිසියේ කණ්ඩායම් කීපයක් කුරුණෑගල ස්ථාන කීපයක් වටලා පරීක්‍ෂා කළද සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය.
මේ අතර සැකකරු කුරුණෑගල ප‍්‍රදේශයේ රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් මහතාගේ මෙහෙයවීමෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සකස් කෙරිණි.
ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වුඞ්ලර් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ සවස 3.00 ට පමණ සැකකරු කුරුණෑගල නගරය වෙත සූක්‍ෂමව ගෙන්වාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවා සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කාරයන් දෙදෙනකුට වායු සමීකරණ, ශීතකරණ මයික්‍රොවේව් අවන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීම ඔවුන්ට වෙනම කාමර පහසුකම් ලබාදී සුවපහසු ඇඳන්ද ලබාදීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනකුට චෝදනා එල්ල වී තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාර අනුරුද්ධ සම්පායෝ මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!