තම 8 හැවිරිදි දියණියට කෲර ලෙස වධ හිංසා කළ පියකු වූ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා වසර පහළවකට අත්හිටුවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් ජුලි 01 දා නියම කළේය.
ඊට අමතරව රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමටත් රුපියල් විසිපන්දහසක දඩයක් ගෙවීමටත් චූදිතයාට නියම විය.
එසේ දඬුවම් නියම වූයේ රත්නපුර කරංගොඩ පදිංචි අයකුටය.
2015-11-06 වන දින කරංගොඩදී මොහු තම දියණියට කෲර ලෙස වධ දී ඇතැයි රත්නපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටියේය.
නඩු විභාගය ආරම්භයේදී විත්තිකරු චෝදනාවට වරද පිළිගත්තේය. ඒ අනුව විත්තිකරු චෝදනාවට වැරදිකරු බවට විනිසුරු තීන්දු කර දඬුවම් නියම කළේය.
විත්තිකරු චෝදනාවේ සඳහන් දිනයේදී රාත්‍රී 10.00 ට පමණ තම දියණියට ගණිත පාඩමක් කියා දෙමින් සිටියදී ඇයගේ ගණිත දැනුම දුර්වල බව පවසා ඇයට පහරදී ඇති බව අධිකරණයේදී හෙළිදරව් විය.
විත්තිකරු දැරියට පහරදී ඇති බවත් එහිදී ඇයට මුත‍්‍රා පහවූ විට ඔහු ඒවා එකතු කර ඇයට බොන්නට දී ඉතිරි ඒවා ඇගේ හිසට වත්කර තවත් කෲර ලෙස වධ දී ඇති බවත් පසුව දැරිය නහවා නැවත ගෙය තුළට රැගෙන ආ බවත් නඩුවේදී කියවිණි.
විත්තිකරු දැරියට වධ හිංසා සිදු කරන අවස්ථාවේ ඇගේ මව පියාගෙන් වෙන්ව කුරුණෑගල ප‍්‍රදේශයේ ජීවත් වූ බවත් විත්තිකරු ඒ වනවිට වෙනත් කාන්තාවක් පාවාගෙන සිටි බවත් අනාවරණය විය.
විත්තිකරුට දඬුවම් නියම කරන දිනය වනවිට දැරියගේ මව සහ පියා වෙනත් විවාහ දෙකක් සිදුකරගෙන සිටි අතර දැරියගේ එකම ආරක්ෂකයා ලෙස සිටින ඇගේ සීයා දැරිය සමග අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිකරුට නියම කළ වන්දි මුදලින් රුපියල් ලක්ෂයක් ඔහු එම අවස්ථාවේදීම දැරියට ගෙවා දැමුවේය.
එහිදී දැරියගේ සීයා ඇමතූ විනිසුරුවරයා රුපියල් පනස් දහසක් දැරියගේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරන ලෙසත් ඉතිරි අඩ ඇගේ පාසල් වියදම් සඳහා තබා ගන්නා ලෙසත් පැවසුවේය.
විත්තිකරු දැරියට ගෙවිය යුතු හිඟ වන්දි මුදල වන රුපියල් දෙලක්ෂය සෑම මාස දෙකකට වරක් රුපියල් පනස් දහස බැගින් ඇගේ ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කර රිසිට් පත අධිකරණයේ තැන්පත් කිරීමටත් රිසිට් පතේ පිටපතක් දැරියට තැපෑලෙන් යැවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළේය.
ඔහුට නියම කළ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම වසර 15 කට අත්හිටුවන ලදී.
රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පැමිණිල්ල මෙහෙයවිය.