කලාවේ ඇගේ ගමන ඇරඹෙන්නේ සිනමාවෙන් වූවත් ඇය ප්‍රේක්ෂක හදවත් ස්පර්ෂ කිරීමට සමත් වන්නේ පුංචි තිරය හරහායි. එතැන් පටන් රංගන ශිල්පිනියක් ලෙස සිනමාවේ සහ පුංචි තිරයේ එකසේ ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නට තරම් ඇය සමත් වෙයි.
කලින් කලට විරාමයක් ලබමින් සිය රංග කාර්යයයේ නිරත වුණත් ඇයව කිසි විටෙකත් ප්‍රේක්ෂකයාට අමතක නොවන චරිතයක් බව ඇගේ කතාබහෙන් අපි නිගමනය කළේ.
ඒ, උදාරි වර්ණකුලසූරිය නම් වූ ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියයි.. මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියවී තිබූ සුහද කතාබහක්.
සිංගප්පූරුවේ දිගු නිවාඩුවක් ගත කර උදාරිට හදිසියේම ලංකාවට එන්න හිතුණේ ඇයි?
චිත්‍රපටවල භාරගත්තු වැඩ කොටසක් තියෙනවා. ඒ රූ ගත කිරීම්වලට තමා ලංකාවට ආවේ.
මේ වගේ කාලෙක සැරෙන් සැරේ එහේ මෙහේ යන්න එන්න බය හිතුණේ නැද්ද?
අවුරුදු 13ක ඉඳලා මගේ පදිංචිය සිංගප්පූරුවේ. රංගන කටයුතුවලටයි දුවගේ පාසල් නිවාඩුවටයි මම මෙහෙ එනවා. ඉතින් ඇගේ නිවාඩු අවසන් වෙද්දි මට ආයිත් ඇයව ඇරලවන්න එහේ යන්න සිද්ධ වුණා. කොවිඩ් තත්ත්වයත් එක්ක මට එයාලත් එක්ක පහු ගිය කාලේ ගත කරන්න ලැබුණා. ලංකාවට ඇවිත් දැන් සති තුනක් විතර වෙනවා. තව මාස හයක් වගේ යනකල් මට සිංගප්පූරුවට යන්න බැරි වෙයි. නමුත් දුවට නිවාඩු ලැබුණු ගමන් තාත්තයි දුවයි ඒවි මාව බලන්න.
හෝටලයක සඳලු තලයට වෙලා නිරෝධායනය වුණා කියලා ආරංචි?
ඔව්. දවස් 14 ක් මං මෙහේ ඇවිත් ඒ සඳහා වෙන් කර තිබුණු හෝටලයක නිරෝධායනය වුණා. ඉතින් මගේ කාමරේ තිබුණු බැල්කනි එකට යන්න අවසර තියෙන නිසා වැඩිපුර එතන තමයි කාලේ ගත වුණේ.
දැන් ගෙදරට වෙලා මොකද කරන්නේ?
රූ ගත කිරීම් ඇරඹෙන්න තව මාස දෙකක් විතර යයි. ඒ වැඩවලට ලැස්ති වෙන්න මගේ නිරෝධායන කාලයත් ලොකු රුකුලක් වෙලා තියෙනවා.
කොරෝනා නිසා උදාරී ආසාවෙන් මග බලන් හිටපු නිර්මාණ දෙකකටත් බාලගිරි දෝෙස් ලැබුවලු නේද ?
ඔව්. මම දැනට චිත්‍රපට පහක රංගනයෙන් දායක වෙලා තියනවා. එයින් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙ ‘මිදුනු විශ්වය‘,ජැක්සන් ඇන්තනි මහත්මයාගෙ ‘එකගෙයි සොකරි‘ යන චිත්‍රපට මේ වසරේ මුල්භාගයේදී තිරගත වෙන්නයි තිබුණේ. නමුත් මේ තත්ත්වය නිසා ඒ සියල්ල කල් දමන්න වෙලා. ජනවාරි මාසේ වෙද්දි ඒ චිත්‍රපට තිරගත වේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ.
උදාරි දැන් සංකිර්ණ චරිතවලට පමණක් යොමු වුණු බවක් පේනවා?
මෑතකාලේ ආරාධනා ලැබුණේම එවැනි චරිතවලට. බොහෝ විට ඓතිහාසික චරිත නැතිනම් ගැමි චරිත.
ඔබ රංගනය වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට සූදානම් රංගන ශිල්පිනියක්ද?
රංගනය කියන්නෙ මගේ ජීවිතය නෙමෙයි. මගෙ පවුල සහ දරුවා වෙනුවෙන් තමා මගෙ පළවෙනි තැන. රංගනය මගේ වෘත්තිය පමණයි. නමුත් මට ලැබෙන නිර්මාණ තෝරා ගන්නේම ඒවාට සාධාරණයක් කරන්න පුළුවන්ද බලලයි.
රංගනයෙන් කාර්යබහුල වීම නිසා ඔබට පවුල මගහැරෙනවා ඇති ?
මගේ සැමියා වෘත්තීයෙන් වෛද්‍යවරයක්. අපි දෙදෙනාට අපේ වෘත්තීන් ගැන හරි අවබෝධයක් නැති වුණත්. ඔහුගෙන් මට කිසිම බලපෑමක් නැහැ. මට ගැටලුවක් තිබුණොත් අපි සාකච්ඡා කරනවා. දුව ශෙනෙර්යා උමෙයිලි. තවම වයස අවුරුදු අටයි. එයත් සිංගප්පූරුවේ තමා අධ්‍යාපනය ලබන්නෙ. ඉතින් නිවාඩු ලැබුනම අපි එකතු වෙනවා. මම මෙහෙ නම් එයාලා ලංකාවට එනවා. නැතිනම් බාර ගත්තු වැඩ ඉවර කරපු ගමන් මම එහේ යනවා.
ඔබ රිදි තිරයේ සහ පුංචි තිරයේ එකසේ දකින රංගන ශිල්පිනියක් ?
මම ආවේ සිනමාවෙන්. නමුත් ප්‍රේක්ෂකයා මාව වැලඳ ගන්නේ පුංචි තිරයෙන්. ඒ ‘බොඳ මිදුම්’ ටෙලි නාට්‍යයෙන්. මෙතෙක් මගේ ගමන ගැන මම හරිම තෘප්තිමත් සිනමාවේ සහ පුංචි තිරයේ දෙකේම එකසේ රැඳෙන්න ලැබීම පෙර පිනක්… භාග්‍යක්. ඒ නිසා මට පුංචි තිරය සහ රිදි තිරය කියලා වර්ගීකරණයක් නැහැ. මම ඒ දෙකටම එක වගේ ආදරෙයි.
උදාරි පස් වතාවක් ජනප්‍රියතම සම්මානය දිනා ගන්නවා. ඔබේ හීනය එතැනද?
හොඳම නිළියට හිමි සම්මානය හීනයක් තමයි…වෘත්තීමය වශයෙන් එවැනි සම්මානයක් ලැබීමම දෙයක්. නමුත් මට තවම එකට අයිතිවාසිකම් නෑ. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා.
ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඔබේ තාත්තා ?
තාත්තා ග්‍රේෂන් ප්‍රනාන්දු. මං පොඩිකාලෙදිත් “මගේ දුව කවදා හරි රූප සුන්දරියක් කරනවා“ කියලා ඔහු විහිළුවටත් කියනවලූ. තාත්තා තමයි මේ හැමදේටම මාව යොමු කළේ. අම්මටයි මටයි හොරෙන් ඇප්ලිකේෂන් දාලා එදා තාත්තා මාව එක්කගෙන ආපු ගමන තමා මම දැන් මෙච්චර දුරක් ඇවිත් තියෙන්නේ. මවුපියන්ගේ සහ මගේ සැමියගේ ආශිර්වාදයයි අපේ දුවගෙ වාසනාවයි තමා මේ හැම දේම.
උදාරී රටින් බැහැරව සිටියත් අධ්‍යක්ෂවරුන්ට, ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රහස මොකක්ද?
මං කලින් කිව්වා වගේ ආශිර්වාදය සහ වාසනාව. නම් වශයෙන් නොකිව්වත් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා හොඳ නිර්මාණ වලින් මාව එළියට දාන්න මහන්සි වූ අධ්‍යක්ෂවරුන්ට , මං වෙනුවෙන් අකුරක් හරි ලියන, ලියපූ මාධ්‍යවේදීන්ට, අනෙකුත් සියලු මාධ්‍ය ආයතනවලට වගේම මාව කිසිවිටෙකත් අමතක නොකළ මගේ ප්‍රේක්ෂකයන්ට.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත