රටත්, ජනතාවත් තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. මෙවන් බිහිසුණු (වසංගත* අත්දැකීමක් අපේ පරම්පරාව මින් පෙර කිසිදා අත්විඳ නැත.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය රට තුළ (මෙන්ම ලෝකයේ සෑම සියලූ රටකම පාහේ* ඉහළ යමින් පවතින මෙවන් මොහොතක, කොරෝනා නිසා සිදු වූ අපේ රටේ දෙවැනි මරණයත් සිදු වී හමාරය. එය මෙතෙකින් නිමා වේ යයි කිසිවකුටත් සහතික කළ හැකි නොවේ. මීගමුවේ දෙවැනි කොරෝනා රෝගියා අවාසනාවන්ත ලෙස මිය යන්නේ රෝහලට ඇතුළත් කර පැය කිහිපයක් තුළදී හා රෝගය හරි හැටි හඳුනාගන්නටත් පෙර වීම ඛේදවාචකයක් නොවන්නේද…? එය එසේ වී ඇත්තේ ඔහු රෝගය සඟවාගෙන සිටි නිසාය.
එසේම, හලාවත රෝග වාහකයකු තමාත් රෝගයට ගොදුරු වී තම පවුලේ වයස මාස 4ක සිඟිත්තියක ඇතුළු පවුලේ සියලූ දෙනාටම වසංගත දායාදය උරුම කරදී තම පවුලම අනතුරේ හෙළා ඇත. එසේ හෙයින් රෝගය සඟවාගත් වාහකයින් සිය ගණන් අප අතරම ගැවසෙන බව අප තේරුම් ගත යුතුය. මේ අප පසුකරමින් සිටින්නේ බියකරු රාක්ෂයකු අපට නොපෙනෙන පරිදි අඬු විහිදුවමින් සමාජය තම ග‍්‍රහණයට නතු කරගන්නා අද්භූත සංක‍්‍රාන්ති සමයකි. එම රකුසා නැවත අපට දර්ශනය වනු ඇත්තේ විටෙක අපේ මිනිස් සමූහයා පොකුරු පිටින් මරා දමමින් විය හැකිය. මේ නිසා නැවත නැවතත් ඔබට කියන්නට ඇත්තේ තමන්ගේ ආරක්ෂාව මෙන්ම තම දරුවන්, බිරිඳ හෝ සැමියා, අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ට ඔබ ඇත්තටම ආදරයක් දක්වන්නේ නම් කරුණාකර රජය කියන දින දක්වා ගෙදරට වී සිටින ලෙසය.
මෙය රටක්, ලෝකයක් ආරක්ෂා කරගැනීම සඳහා සුවසේවා අනුව යමින් අප ඔබගෙන් කරන කාරුණික ආයාචනයක් බව ද සැලකිය යුතුය.
සුව සේවා කියන පරිදි අමාරුකම් මැද හෝ අප දැනටමත් මේ ගෙවා දැමූ සති දෙකට වඩා අද (අප්‍රේල් 01 සිට පටන් ගන්නේ අතිශය අනතුරුදායක, අතිශය සැලකිල්ලෙන් කටයුතු කළ යුතු තවත් වැදගත් සති දෙකක කාලයකි. මේ සති දෙකත් නිමවී එළැඹෙන ඊළඟ (විටෙක අතිශය බිහිසුණු විය හැකි සති දෙක ගැන අප දැන්ම කියන්නට යෑම ඉක්මන් වැඩිය. මන්ද, එම සති දෙකේදී රට පත්විය හැකි බිහිසුණු බව හෝ රට තිබිය හැකි සාමාන්‍ය තත්ත්වය පිළිබඳ තීන්දුව ලබා දෙන්නේ අපි අපිම වන නිසාය. මේ උදා වූ සති දෙකේදී අපි පෙන්වන සමාජ හැසිරීම ඊට ප‍්‍රතිඵල සපයා දෙනු ඇත.
එබැවින්, සමාජය තේරුම් ගත යුතු කරුණ නම්, මේ වසංගතය පාලනය කිරීමේ වගකීමෙන් හා හැකියාවෙන් වැඩි බර ඇත්තේ රජයට, සුව සේවාවට නොව සමාජය වන අපටම වන බවය. තම පවුල තුළ, වටපිටාවේ, ගම පුරා, රට පුරා වසංගතය බෙදා හරින්නෝ අපි අපිමය. රජයට එය පාලනය කරගත හැක්කේ සමාජය ලබා දෙන සහයෝගය මත පමණක් බව ද තේරුම් ගත යුතුය. චීනය රෝගය පාලනය කරගෙන ඇත්තේ සමාජ විනය හා රජය දුන් නියෝග සමාජය ඒ අයුරින් පිළිගත් නිසාය. හමුදාව එරට පාලනයට සම්බන්ධව සිටින නිසාය. හමුදාව පාරට බස්සා ගැනීම අපි අපේ රට තුළ ඇති කරගත යුතු නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි කොරෝනා වසංගතය ඇමෙරිකාව හෝ ඉතාලිය ගිලගන්නට පෙර පළමු සති දෙකේදී තිබී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛනවලට වඩා ඉතා පහළිනි. දින ගණන හා සංසන්දනයේදී රෝග ආසාදන ලේඛනයේ අදටත් ශ‍්‍රී ලංකාව සිටින්නේ ඊට ඉහළිනි. ඊට හේතුව සමාජ විනය නොමැතිකමය. ඉහත රටවල අද තත්ත්වය අමුතුවෙන් කිව යුතු නොවේ. අමෙරිකාවේ අපේක්ෂිත අවම මරණ සංඛ්‍යාව ලක්ෂය (1,00,000 ක් බව කියන්නේ එරට ජනාධිපතිවරයාමය. ඉතාලියේ මරණ 11,000 ක් ඉක්මවා ඇත.
එහි මිය ගිය වෛද්‍යවරුන් 63 ක් සිටින අතර, සුවසේවා පුද්ගලයින් 8956 කට රෝගය වැළඳී ඇත. මෙවන් ඛේදවාචකයකට යා නොදී ශ‍්‍රී ලංකාව බේරා ගැනීමට නම් අදින් ඇරඹෙන සතියේදී අවම වශයෙන් අනිවාර්යයෙන් ජනගහනයෙන් සියයට 80 ක් දෙනා ගෙදරට වී සිටිය යුතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එසේ හෙයින් අපි යළි යළිත් අවධාරණය කරන්නේ, දයාබර මිතුරනි, අපේ ගෞරවනීය පාඨකයිනි, ආහාර, ඖෂධ, මුදල්, ඉන්ධන වැනි දහසකුත් අර්බුද ඔබට තිබිය හැකි බව ඇත්තකි.
එනමුත් පවුලක්, ගමක්, රටක්, ආගමක්, ජාතියක් බේරාගැනීමේ අපේ වගකීම ඉටු කරනු වෙනුවෙන්, රජය නැවත දැනුම් දෙනතුරු
කරුණාකර ගෙදර ඉන්න…
