Gossip

ත්‍රීවීලරයෙන් කොළඹ මුල් පුටුවට ඇවිත් නැවතත් ත්‍රීවීලරයටම වැටුණු නගරාධිපති

හේ අපූරු චරිතයකි. වැටුණත් නැවත නැගී සිට සුපුරුදු ලෙස ජීවිතයට මුහුණ දෙන්නට සමතෙකි.
විශේෂත්වය වන්නේ ඔහු ඇදවැටුණේ කෙනෙක්‌ ලෙහෙසියෙන් ඇදනොවැටෙන, පසු නොබාන ‘දේශපාලන වේදිකාවෙ’න් වීමය.
හේ මෙරට අගනගරය වන කොළඹ හිටපු පුරපතිවරයෙකි. එම තනතුරට පත් වන්නට පෙර ත්‍රිරෝද රියෑදුරෙකි.
දැන් එම තනතුරින් ඉවතට පැමිණ නැවත සුපුරුදු ‘රස්‌සාවම’ තෝරාගෙන ඇති මිනිසෙකි.
උවයිස්‌ මොහොමඩ් ඉමිතියාස්‌ කොළඹ හිටපු නගරාධිපතිවරයා සමඟ සතිඅන්ත පුවත්පතක් කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ වශයෙන් කටයුතු කළ ඔබ නගරාධිපති ධුරය දක්‌වා පැමිණි ගමන් මග කෙසේද?
පිළිතුර – 2006 වසරේදී කණ්‌ණාඩිය ලකුණින් ස්‌වාධීනව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළා. කාලයක්‌ තිස්‌සේ එජාප පාලනය යටතේ තිබූ කොළඹ මහ නගර සභාවේ පාලනය අප පක්‍ෂය සතු කර ගනිමින් මා නගරාධිපති ධුරයට පත් කිරීමට එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළා.
එජාප අපේක්‍ෂකයන්ගේ ගැටලු හේතුවෙන් තමයි එදා මා මෙසේ නගරාධිපති ධුරයට පත් වුණේ. නියෝජ්‍ය නගරාධිපති ලෙස රාඡේන්ද්‍රන් මහතා පත් වුණා. වසර 4 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ නගරාධිපති ධුරයේ කටයුතු කළා.

ප්‍රශ්නය – හිටපු නගරාධිපති වශයෙන් සිදුකළ මෙහෙවර මතක්‌ කළොත්?
පිළිතුර – එදා නගරාධිපති ධුරය තිබුණේ එක්‌සත් ජාතික පක්‍ෂ පාලනයේ. ස්‌වාධීනව තරග කරලා තමයි අපි නගරාධිපති ධුරයට පත් වුණේ.
නමුත් එදා මම එජාපය වෙනුවෙනුත් වැඩ කළා. පාරවල් හැදුවා. නගර අලංකරණ වැඩ කළා.
එදා ලංකාවේ තිබ්බ සාක්‌ උත්සවය වෙලාවේ කොළඹ අලංකරණය කළේ මමයි. පාරවල් කාපට්‌ කළා. නමුත් මගේ නමත් නැහැ. මම වැඩ කළා කියලා ප්‍රසිද්ධිය අවශ්‍ය වුණේ නැහැ. පවතින රජය වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කළා.

ප්‍රශ්නය – නගරාධිපති ධුරයේ කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වුණේ ඇයි?
පිළිතුර – වාසුදේව නානායක්‌කාර මහතා තහඩු සිද්ධියක්‌ සම්බන්ධයෙන් නඩුවක්‌ ගොනු කරලා තිබුණා. කාලයක්‌ තිස්‌සේ තිබූ නඩුවක්‌. ඒ නඩුවට අදාළව අනුව තමයි අපේ පාලනය අත්හිටවූවේ. නමුත් අපි එම නඩුවෙන් පසුව නිර්දොaශී වුණා. එසේ වුවත් අන්තිමට නගර සභාව විසුරුවා හැරීමට රජය කටයුතු කළා.

ප්‍රශ්නය – හිටපු නගරාධිපති කෙනෙක්‌ වශයෙන් ඔබට සාධාරණයක්‌ ඉටු වුණේ නැහැ නේද?
පිළිතුර – ඒක සම්පූර්ණයෙන්ම සත්‍යයක්‌. නිල නිවසෙන් යළිත් කුලී නිවසට ආවා.
නමුත් තවම කිසි කෙනෙක්‌ මා ගැන සොයලා බැලුවේ නැහැ. තවමත් මා කුලී නිවසේ ඉන්නේ. අඩුම තරමේ තට්‌ටු නිවසකින් හෝ ගෙයක්‌ දෙන්න.
ඇයි මට එහෙම කරන්නේ. ත්‍රීවීල්කාරයෙක්‌ නිසාද මට මෙහෙම සලකන්නේ. විශ්‍රාම වැටුපක්‌වත් නැහැ. වාහන බලපත්‍රයක්‌වත් ලැබුණේ නැහැ.
නගරාධිපති ධූරයෙන් පසුව යළිත් පාරටම වැටුණා. හිටපු නගරාධිපති ධූරයේ කටයුතු කළ මට කිසිදු සාධාරණයක්‌ තවම ඉටු වෙලා නැහැ. වසර 4 ක්‌ තිස්‌සේ නගරාධිපති ධූරයේ කටයුතු කළත් අඩුම තරමේ මගේ ඡායාරූපයක්‌වත් නගර සභාවේ නැහැ. බොහොම කනගාටුයි. හිටපු නගරාධිපතිවරයකුට ආණ්‌ඩුව සලකන්නේ මෙහෙමද?

ප්‍රශ්නය – එජාප පාලනය බිඳ දැමූ ඔබට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උදව් කළේ නැද්ද?
පිළිතුර – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමයි කොරියාවේ රැකියාව පවා ලබා දුන්නේ.
ඒ එදා මගේ තත්ත්වය දැකලා. එහෙත් රාජකාරි කළේ වසර 2 ක්‌ පමණයි. අම්මාට අසනීප වූ නිසා යළි ලංකාවට ආවා. හිටපු ජනාධිපතිවරයා තමයි මට පොඩ්ඩක්‌ හරි සැලකුවේ.

ප්‍රශ්නය – වත්මන් රජයෙන් හෝ ඔබට සහනයක්‌ ලැබුණේ නැද්ද?
පිළිතුර – තානාපති කාර්යාලයේ හෝ රැකියාවක්‌ ලබා දෙන්න කියලා තමයි ආණ්‌ඩුවෙන් ඉල්ලන්නේ. දරුවන් තිදෙනෙක්‌ ඉන්නවා. බිරිඳ රැකියාවක්‌ කරන්නේ නැහැ. මා දැන් ත්‍රීරෝද රථ රැකියාවෙන් තමයි ජීවත් වෙන්නේ. ත්‍රිරෝද රථයත් කුළියට ගත් එකක්‌.
මේ ත්‍රිරෝද රථ රැකියාව කරන්නෙත් පෑලියගොඩ ප්‍රදේශයෙන් කුඩා කාමරයක්‌ කුළියට අරන්.
කාමරයට, ත්‍රිවීල් එකටත් කුලිය ගෙවනවා. දරු පවුල ජීවත් කරවන්නෙත් මේ ත්‍රීවිල් රැකියාවෙන්.
අඩු ආදායම්ලාභීන්ට නිවාස දෙනවා. අඩුම තරමේ එහෙම ගෙයක්‌වත් දෙන්න කියලයි මම ඉල්ලා සිටින්නේ.
වෙන මුකුත් ඉල්ලන්නේ නැහැ. නිවසක්‌ දෙන්න කියලයි ඉල්ලන්නේ. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, සජිත් ප්‍රේමදාස මහතාගෙන් හෝ නිවසක්‌ තමයි ඉල්ලා සිටින්නේ. නොයෙක්‌ අවස්‌ථාවලදී ඒ අය දැනුවත් කළා. තවම මට සාධාරණයක්‌ වුණේ නෑ. දැන් මා සිටින තත්ත්වය ගැන සොයා බලා සාධාරණයක්‌ කරන්න කියලා තමයි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. සජිත් ප්‍රේමදාස මහතා මා ගැන අවධානය යොමු කර තිබෙනවා කියලා ආරංචියක්‌ ලැබුණා.

ප්‍රශ්නය – යළි දේශපාලනයට එන්න අදහසක්‌ නැද්ද?
පිළිතුර – කලකිරීමෙන් සිටින මම යළි දේශපාලනයට එන්න අදහසක්‌ නැහැ. තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් ආරාධනාවක්‌ අවොත් සලකා බලනවා.
ඒත් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ තමන්ට උදව් කරන පුද්ගලයා කවුද කියලා බලලයි. ඡන්දය ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරලා පෙන්වනවා.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!