අද (06) දිනය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 605 දෙනකු හඳුනාගැනුණු අතර එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වනවා.
ඒ , මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 708 දක්වා ඉහළ නැගීමත් සමගය.
ඉන් පළමු ආසාදිතයින් ලෙස හඳුනාගැනුණේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවය කළ දිවුලපිටියේ කාන්තාව සහ ඇගේ දියණියයි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය සැළකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩින් පමණක් හඳුණාගත් ආසාදිතයින් ගණන 694 කි.
මීරිගමින් ආසාදිතයින් තිදෙනෙක්, දිවුලපිටියෙන් ආසාදිතයින් දෙදෙනෙක්, කටානෙන් ආසාදිතයින් දෙදෙනෙක්, සීදුව, ජාඇළ සහ මහර ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තිබේ.
අදාළ ඇඟලුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නිවාඩු ගොස් සිටින අතර ඔවුන් අතරින් කුරුණෑගලින් ආසාදිතයින් දෙදෙනෙකු, යාපනය හා මොණරාගලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගැනුණි.
ඊයේ ආසාදිත බවට හඳුනාගත් සේවිකාවන් අතරින් 33 දෙනෙකු රැඳී සිටියේ එම ඇඟලුම් ආයතනයටම අයත් මිනුවන්ගොඩ නේවාසිකාගාරයකය.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කඩිනමින් ඔවුන් මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මෙම කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉරණවිල රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහල යොදාගෙන තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ,දිවුලපිටිය ප්‍රදේශවලින් අද හඳුනාගත් ආසාදිතයින් අදාළ රෝහල් වෙත රැගෙන යාම සිදුකෙරුණි.
එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ කටයුතුද අද සිදුකරනු ලැබීය.
මේ අතර බ්‍රැන්ඩ්ක්ස් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙතෙක් හඳුනාගත් ආසාදිතයින්ගෙන් බහුතරය, රෝග ලක්ෂණ නොපෙන්වූ අය වීම සිය ආයතනය පාර්ශ්වයෙන් මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයක් බවය.
සිය සේවකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට උපරිමයෙන් කටයුතු කරන බවත් මෙම අසීරු අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව වෙත සහාය ලබාදෙමින් තත්ත්වය පාලනය කරගැනීමට සහාය වන බවත් එම නිවේදනයේ සඳහන්ය.
මේ අතර දිවුලපිටියේ ආසාදිත කාන්තාව සමඟ එකම නවාතැනෙහි රැඳී සිටි එම ඇඟලුම් ආයතනයේම 34 හැවිරිදි සේවිකාවක් දෙහිඅත්තකණ්ඩිය දොළකන්ද මහවැලි ගම්මානයේ පිහිටි සිය නිවෙස වෙත පැමිණ තිබීම හේතුවෙන් ඇය ඇතුළු ආශ්‍රිතයින් 09 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
එමෙන්ම එම පිරිසගේ තවත් ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් අද සිදුකළේය.
ගම්පහ මීරිගම ප්‍රදේශයෙන් ද ඊයේ ආසාදිතයෙකු වාර්තා වූ අතර ඔහු අදාළ ඇඟලුම් ආයතනයේ කළමනාකරුවෙකි.
50 හැවිරිදි දෙදරු පියෙකු වූ ඔහු ඔහු මාතලේ පල්ලෙපොළ ඇහැළේපොළ පිහිටි නිවසට පැමිණ තිබීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කළ අතර ඔහු වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණි.
එමෙන්ම අදාළ ඇගලුම් ආයතනයේ තවත් සේවිකාවන් දෙදෙනෙකු නිවාඩු ලබා ගම්පොළ පුපුරැස්ස මණිකට්ට් නිව්ෆොරස්ට් වතුයායේ පිහිටි සිය නිවෙසට මීට දින දෙකකට පෙර පැමිණ සිටි අතර ඉන් එක් කාන්තාවක් උණ රෝගි තත්ත්වය හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
අනෙක් කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර දෙදෙනාගේ පිසීආර් පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිතය.
මේ හේතුවෙන් අදාළ වතුයායේ සේවක පිරිසට නිවාඩු ලබාදී නිවෙස් තුළ රැඳවීමට පියවර ගැනුණි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමග ඔවුන් රාත්‍රියේම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන යනු ලැබීය.
ඔවුන්ගේ ආශ්‍රිතයින් 60 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකෙරුණි.
මේ අතර ඇඟලුම් ආයතනයේ සේවිකාවන් සිව්දෙනෙකු ඉකුත් සතියේ කන්තලේ මොල්ලිපොතාන, ගංතලාව,අග්බෝපුර සහ රජඇල යන ප්‍රදේශවල පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර එම පවුල්වල ඥාතීන් ද ස්වයං නිරෝධායනයට යොමුකෙරුණි.
එමෙන්ම කන්තලේ සිට ගම්පහ ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගි වූ සිසුන් පිරිසක් හඳුනාගැනීමෙන් පසු ඔවුන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.
මේ අතර ඇඟලුම් ආයතනයේ සේවය කළ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැදගම පුබ්බාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු වීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයින් 39 දෙනෙකු වහාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වෙත ගම්පහ ප්‍රදේශයේ සිට සිසුන් පැමිණ තිබීම හේතුවෙන් එම මණ්ඩපයේ සිසුන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 95 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අද සිදුකළේය.
එමෙන්ම මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවිකාවක් සමග සබඳතා පැවැත්වූ වව්නියාවේ පවුලක පස්දෙනෙකුද අවදානම සලකා පීසීආර් පරීක්ෂණයකට යොමු කෙරුණි.