සිල්ජේ නයිලෑන්ඩ් (20) හා හෙයිඩි බර්ජ් බැකේන්සින් (23) යන නෝර්වීජියානු තරුණියන් දෙදෙනා ඉකුත් 15 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර ඔවුන්ගේ සැලැස්ම වී තිබුණේ ලංකාව පුරා සංචාරය කර මෙහි අසිරිය විඳ ගැනීමටය.
අනුරාධපුරය, මහනුවර වැනි විවිධ ස්ථානවල සංචාරය කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ඉකුත් 21 වන දින කොළඹ නගරයේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන අන්තර්ජාලයේ සැරිසරමින් ලංකාවේ සුන්දරත්වය පිළිබඳ තොරතුරු සිය රටේ මිතුරු මිතුරියන් හා බෙදා ගනිමින් සිටියහ.
මේ අතර ලංකාවට පැමිණීමෙන් පසු සමාජ ජාලා වෙබ් අඩවියකින් දැන හඳුනාගත් මිතුරෙකු වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිල්ජේවෙත දන්වා සිටියේ තමන් මේ අවස්ථාවේ කොල්ලුපිටිය හෝටලයක නැවතී සිටින බවත් එහි පැමිණෙන ලෙසත්ය.
නොදුටු මිතුරෙකු දැක ගැනීමට අවස්ථාවක් උදා වූ හෙයින් සිල්ජේ වහාම මේ පිළිබඳ හෙයිඩිටද පවසා දෙදෙනාම රාත්‍රී 9.30 පමණ වන විට ධනුෂ්ක නැවතී සිටි කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් වෙත ගියාය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවන ටෙස්ට් තරගාවලිය හේතුවෙන් නැවතී සිටියේද මෙම හෝටලයේ දාහත් වෙනි මහලේය.
තරුණියන් දෙදෙනා හෝටලයට පැමිණි පසු ඉතා සුහදශීලී ලෙස ඔවුන් පිළිගත් ධනුෂ්ක ඔවුනට ආහාරපාන ආදියෙන් හොඳින් සංග්‍රහ කළේය. මේ හමුවේදී සිල්ජේටද දනුෂ්ක ගැන පැහැදීමක් ඇති විය.
කාලය ක්‍රමක්‍රමයෙන් ගෙවී යද්දී ධනුෂ්ක සිල්ජේට ඩොලර් 200ක මුදලක් ලබා දෙමින් පවසා ඇත්තේ හෝටලයේ කාමරයක් වෙන් කර ගන්නා ලෙසටය. ඒ අනුව ඇය හෝටලයෙ කාමරයක් වෙන්කර ගත්තාය. ඔවුන්ට ලැබුණේ දස වෙනි මහලේ කාමරයකි.
තරුණියන් දෙදෙනා ඊට ඇතුළු වෙද්දී ධනුෂ්ක සිය මිතුරෙකු වූ සංදීප් ජූඩ් යන අයට දුරකථන ඇමතුමකින් දන්වා සිටියේ තමන් සිටින කාමරයට පැමිණෙන ලෙසය. නාවල, පාසල් පටුමගේ පදිංචිව සිටි සංදීප් ජූඩ් (26) මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසිකම් ලැබූ අයෙකි. ඔහු එරට ක්‍රීඩා කණ්ඩාමකද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. නිවාඩුවකට මෙරටට පැමිණ සිටි සංදීප් දුරකථන ඇමතුම අනුව ධනුෂ්ක සොයා ගියේය. ඔහු ධනුෂ්ක සිටි හෝටලයට යනවිට
ධනුෂ්ක හා සිල්ජේ පිළිසඳරක යෙදී සිටි අතර මඳ කතා බහකින් පසුව සංදීප් හෙයිඩි සමග වෙනම කතාබහකට වැටුණේය. මධ්‍යම රාත්‍රිය උදාවනවිට සිල්ජේ නිදිමත බව පවසමින් සිය කාමරයට ගිය අතර ඒවන විටත් හෙයිඩි සංදීප් සමග පිළිසඳරේ යෙදී සිටියාය.
පසුදා එනම් 22 වෙනි දා අලුයම සිල්ජේ අවදි වන විටදීත් නිදිවර්ජිතව සිටි හෙයිඩි වහ වහා සිල්ජේ සමග හෝටල් කාමරයෙන් පිටතට පැමිණියේ සංදීප් තමන්ට බලහත්කාරයෙන් අපචාරයක් කළ බව පවසමිනි. එතැනින් ඔවුන් කෙළින්ම ගියේ කටුනායක ගුවන්තොටුපළටය. ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් සියරටට පිටත්ව යාමට මත්තෙන් මේ පිළිබඳව ගුවන්තොටුපළ පොලීසියට පැමිණිලි කර සිටියහ. ගුවන් තොටුපොළ පොලීසිය වහාම මෙම පැමිණිල්ල කොල්ලුපිටිය පොලීසිය හා සංචාරක පොලිස් කොට්ඨාසයට දැනුම් දුන් අතර සිය රට බලා යාමට සැරසුණ සිල්ජේ සහ හෙයිඩි කොල්ලුපිටිය පොලීසිය වෙත යොමු කෙරිණි.
එසේ කොල්ලුපිටිය පොලීසියට පැමිණි තරුණියන් දෙදෙනා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වාට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කෙරුණි.
සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විදානගම ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක්ද මීට සහය වූ අතර එම පරීක්ෂණවල කොටසක් ලෙස හෙයිඩි නමැති තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කෙරුණි. මේ අතර සැකකාර සංදීප් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණය අසලදී කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වූයේ තරුණියට බලහත්කාරයෙන් අතවරයක් වූ බවට සාක්ෂියක් හෝ කිසිදු සීරීමක් හෝ තුවාලයක් සිරුරේ නොමැති බවය. මේ අතර සිල්ජේ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ අනේ, ධනුෂ්ක නම් එහෙම නෑ. එයා හරි අහිංසකයි යනුවෙනි.
බලහත්කාරයෙන් අපචාරයක් සිදු කළේ නම් ඇයි ? ඔබ කෑ ගැසුවේ නැත්තේ යැයි මෙහිදී පොලීසිය හෙයිඩිගෙන් විමසා සිටි අතර, ඇය පවසා ඇත්තේ මම එහෙම කෑ ගැහුවනම් මගේ මිතුරියට බාධා වෙනවා. ඒ නිසා මම කෑ ගැහුවේ නෑ යනුවෙනි.
ඔවුන් මේ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වයටද පැමිණිලි කර නොමැති අතර හෝටලයේ සීසීටීවී දර්ශනවලද සටහන්ව අත්තේ ඔවුන් කිසිදු වෙනසකින් තොරව හෝටල් කාමරයෙන් පිටත් වන ආකාරයයි.
එමෙන්ම ධනුෂ්ක මෙම තරුණියන් සමග හෝටල් පරිශ්‍රයේ සිටින අයුරුද සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම විදේශික තරුණියන් දෙදෙනා නැවත ලංකාවෙන් පිටත්ව යාමට තිබුණේ ඉකුත් 23 වෙනිදින වන අතර සංචාරක පොලීසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ මෙහි විමර්ශන නිම වනතුරු මෙරට රැඳී සිටින ලෙසය. ඒ සඳහා අවශ්‍ය වියදම් සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව නොමිලේ ලබා දිය හැකි බවද ඔවුන්ට දන්වා සිටියේය. නමුත් ඔවුන් ඔවුන්ගේ ගමන් සැලැස්ම වෙනස් කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත.
එබැවින් ඔවුන් තීරණය කළේ තමන් මෙරටින් 23 වෙනි දින යා යුතු බවය. ඒ අනුව ඔවුන් 23 වෙනි දින මෙරටින් පිටත්ව ගියේ පැමිණිල්ලක් හා සමාජයේ මහත් ආන්දෝලනයක් පමණක් මෙරට ඉතිරි කරමිනි.
මේ අතර මෙම සිද්ධිය හෙළිවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයන්ගේ විනය පටිපාටිය උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු සියලුම ජාත්‍යන්තර තරග සඳහා ඔහුට තහනමක් පනවා ඇති බවය. මෙම තරග තහනම ගිය සතියේ නිමා වූ ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා තරගය සමග ක්‍රියාත්මක වූ අතර, එය වසරක් පුරා බලපැවැත්වෙනු ඇත.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔහුගේ වසරක තරග තහනම වෙනස් වීමට නියමිතය.
මෙම සිද්ධිය වූයේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාපිටියේ පැවැත්වෙන දිනවලදීය. මෙම තරගයේ පළමු ඉනිමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 57ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 61ක්ද ලබා පිත්තෙන් දස්කම් දැක්වූයේය.
උපුටා ගැනීමකි.
