Politics

ජවිපෙ වෙනුවෙන් දංගෙඩියට ගිය ප්‍රථම දේශපාලන සභිකයා – Photos

ඉකුත් දශක පහ ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් දියත් වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් විය. සිළුමිණ පළ වන මේ ලිපි මාලාව එම 2 වැනි කැරැල්ලේදි ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

අසුතුනේ 1983 ජූලි තහනමත් සමඟම ජවිපෙ මුහුණදුන් අභියෝග රැසකි. ඒ ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදුණු නායකයින් ඇතුළු ක්‍රියාකාරීන් ආරක්ෂා කරගැනීම සහ ඔවුන් අත්අඩංගුවට පත්වීමට ඇති අවස්ථාව මඟහරවා ගැනීමය. අනෙක් ප්‍රධාන අභියෝගය වූයේ බිඳ වැටුණු පක්ෂ යාන්ත්‍රණය යළි ස්ථාපිත කිරීමය.

මේ සඳහා දේශපාලන මණ්ඩලය වෙනුවෙන් තෝරා ගැනුණේ ප්‍රසිද්ධ දේශපාලනයේ නිරත නොවූ සුමිත් අතුකෝරල සහ පියදාස රණසිංහය. රට වටා යමින් දිසා කමිටුවල හෙළිදරව් නොවූ ක්‍රියාකාරිකයින් පෞද්ගලිකව හමුවෙමින් මනා සංවිධාන ජාලයක් වසරක් ඇතුළත ගොඩනඟා ගැනීමට ජවිපෙට හැකිවූයේ සුමිත් සහ පියදාස රණසිංහ ගේ කැපවීමෙනි. ඒ සඳහා ඔවුනට ආරක්ෂක අංශවලට විවෘත නොවූ ක්‍රියාකාරිකයෝ රැසක්ද එක්වූහ. පක්ෂ තහනමට ගැලපෙනසේ සංවිධාන ක්‍රමවේදයක් ජවිපෙ ගොඩනැඟුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

උපත විතාරන්දෙණියේ

දොන් දියෝනිස් නන්දසිංහ ආරච්චිගේ විජේනායක උපන්නේ 1949 මැයි 07 තංගල්ලේ විතාරන්දෙණියේදීය. ළමා කාලය ගෙවුනේ වීරකැටිය හීන්බුන්නේ මවගේ මහගෙදරය. අධ්‍යාපනය ලැබුවේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. පේරාදෙණිය සරසවි ශ්‍රාස්ත්‍ර පීඨයට උපාධි අපේක්ෂකයකු වශයෙන් 1967 දී ඇතුළු විය. ඒ පැවිදි සිසුවකු ලෙසිනි. උපැවිදි ව ජවිපෙට 1968 අවසානයේ දී පූර්ණකාලීනව එක්වූ ඔහු පසුව හැඳින්වූයේ සුමිත් අතුකෝරල, නන්දසිංහ විජේනායක, නන්දන, ජයසේකර සහ වෙලගෙදර යන නාමයන්ගෙනි.

වසර 1971 කැරැල්ලට පෙර 1970 මාර්තු 12 බදුල්ල නගරයේ සිතියමක් සහ ලිපි ලේඛන සමඟින් සුමිත් බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ බදුල්ල මුතියංගණ රජමහා විහාරයේ විශ්‍රාම ශාලාවේදීය. ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙක් 1971 අප්‍රේල් කැරැල්ලට ප්‍රථම අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව එය විය. පසුව ඇප මත 1970 ජූනි 08 නිදහස් වූ ඔහු 1971 කැරැල්ල වනවිට රත්නපුර දිසා ලේකම්වරයකු විය. වසර 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් 1972 අත්අඩංගුවට පත්වූ අතර එහි දී පොලිස් වධබන්ධනවලට ලක්වූ අතර ඒ පිළිබඳව චෝදනාව එල්ල වූයේ පොලිස් පරික්ෂක ආරියසේන ද සිල්වාටය. අනුරාධපුර බන්ධනාගාර ගතව සිටිය දී උමඟක් කපා 1974 පලායෑමට සැලසුම් කළ ද යළිත් එහි දී අත්අඩංගුවට පත්විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව හමුවේ දී වරදකරුවී වසර 5ක සිරදඬුවමකට යටත්ව බෝගම්බර, යාපනය බන්ධනාගාරවල හේ රඳවනු ලැබීය.

වසර 1976 දී ජවිපෙ තාවකාලිකව මධ්‍යම කමිටුවට පත්වූ සුමිත් 1977 නිදහස්වීමෙන් පසුව ජවිපෙ මංගල සමුළුවේ දී දේශපාලන මණ්ඩලයට සහ ලේකම් මණ්ඩලයට තේරී පත්විය. අනතුරුව පාලක ලේකම් විය. අධ්‍යාපනික දේශන පැවැත්වීම සඳහා නොමඳ ආකර්ෂණය දිනා ගත්තෙකි.

ජවිපෙ 1983 ජූලි තහනම සිදුවන විට ජවිපෙ මූල්‍ය ලේකම් වූයේ දේශපාලන මණ්ඩල සභික සෝමරත්න කළුආරච්චි හෙවත් එස්. ඩී ය. තහනමත් සමඟම එස්. ඩී. අත්අඩංගුවට පත්වූ අතර නිදහස්වීමත් සමඟම ඔහු ජවිපෙන් ඉවත් විය. ඒ වන විටත් වැඩබලන මූල්‍ය ලේකම්වරයා ලෙස සුමිත් අතුකෝරල කටයුතු කළ අතර පසුව 1984 සිට ජවිපෙ මූල්‍ය ලේකම්වරයා විය. එමෙන්ම පාලක ලේකම් වූයේද සුමිත්ය. දෙවැනි කැරලි සමයේ දී එයට අමතරව සුමිත් බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන නායකයාද විය. එමෙන්ම මධ්‍යම කලාපයේද කලක් දේශපාලන නායකයා වශයෙන් කටයුතු කළේය. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කේ. ඩබ්ලිව්. එස්. අමරසිරි හෙවත් නීල් වරෙක මහනුවර දී ජවිපෙ අත්අඩංගුවට පත්වූ විට මධ්‍යම කලාපය බාරව කටයුතු කළ සුමිත්ට කුරුණෑගල දිස්ත්‍රික්කය ද බාරවිය.

 

අත්අඩංගුවට පත්වීම

 

සුමිත් අත්අඩංගුවට ගනු ලැබුවේ වෙන්නප්පුව ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකය මඟිනි. එම ඒකකය දංකොටුව, මාරවිල, වෙන්නප්පුව සහ කොස්වත්ත යන පොලිස් ස්ථානවල නිලධාරීන් ගෙන් සමන්විත විය. මෙම ඒකකය 1986 ආරම්භයේ පිහිටුවන ලද්දකි. ඒකකය ආරම්භයේ දී උප පොලිස් පරීක්ෂකයකු ඇතුළු පොලිස් නිලධාරින් 8 දෙනකු විය. පොල් සංවර්ධන මණ්ඩලයට අයත් පැරණි ජීප් රථයක්ද ඒ සඳහා වෙන් විය. වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. දයාරත්න ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයසූරිය ගේ නායකත්වයෙන් මෙම ඒකකය ක්‍රියාත්මක විය. මෙම ඒකකය කැරලිකරුවන් ගේ ක්‍රියාකාරකම් මැඬලීම සඳහා වඩාත් විධිමත්ව පිහිටුවීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය විය. ඒ සඳහා දේශපාලන නායකත්වය ලැබුණේ එවකට පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සහ ඇමැති ෆෙස්ටස් පෙරේරා ගෙනි.

ඒ අනුව ඒකකය 1987 නොවැම්බර් මස ප්‍රතිසංවිධානයට ලක්වීමෙන් පසු එයට නායකත්වය දෙනු ලැබුණේ වෙන්නප්පුව පොලිස් අධිකාරි සෝලංගආරච්චි සහ දංකොටුව පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද අල්විස් විසිනි. ඒකකය සඳහා ධීවර අමාත්‍යාංශයෙන් සහ පොල් සංවර්ධන මණ්ඩලයෙන් ජීප් රථ දෙකක් අලුතින් ලැබිණි. එම වාහනවලට ඉන්ධන සඳහා මාසිකව රුපියල් 1,000ක් රජයෙන් වෙන්වූ අතර තවත් රුපියල් 3,000ක් ඇමැති ෆෙස්ටස් පෙරේරා හරහා ලැබිණි.

වෙන්නප්පුව ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයේ කලින් සිටි පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සැරයන් රුද්‍රිගූ සහ උපසේවා පොලිස් කොස්තාපල් විජේපාල හැර සෙසු නිලධාරින් මාරු කළ අතර අලුතින් පොලිස් නිලධාරින් සිව්දෙනෙක් එයට ආදේශ කරන ලදී. ඒකකයේ ප්‍රධානීන් විසින් ප්‍රථමයෙන් සිදු කළේ ජාතික රහස් ඔත්තු සේවය සතුව තිබූ තොරතුරුවලින් 1971 කැරැල්ලට සම්බන්ධව සිටි පුත්තලමේ ජීවත්වන 13 දෙනකු ගේ විස්තර ලබාගෙන ඔවුන් රහසිගතව විමර්ශනයට ලක් කිරීමය. ඉන් එක් අයකු වූ ‘කණ්ණාඩි මල්ලී’ නිවසින් බැහැරව පූර්ණකාලීනව කැරැල්ලට එක්ව සිටි බව හෙළිවිය. තවත් 4 දෙනකු ව්‍යාපාරිකයින් බවට පත්ව තිබිණි. ඔත්තුකරුවන් මඟින් එම ව්‍යාපාරිකයින් 4 ගේ නිවෙස්වලට මසක් තුළ පැමිණි යතුරු පැදි ඇතුළු මෝටර් රථවල අංක රහසිගතව ලියාගන්නා ලදී.

ඔත්තුකරුවකු ගෙන් ඔත්තු රැසක්

ඉන් එක් ව්‍යාපාරිකයකු වූයේ මාර්ෂල්ය. උළු මෝල් 3ක් ඇතුළු ව්‍යාපාරවල හිමිකරුවෙකි. ඔහුගේ නිවස මාරවිල පිහිටා තිබිණි. එම නිවසට නිරතුරුවම යතුරු පැදි 3ක් පැමිණි අතර ඒවායේ අංක සොයාගෙන විමර්ශනයට ලක්කරන ලදී. ඉන් එක් අයකු ජාඇල පදිංචිකරුවකු වූ අතර ඔහු ජවිපෙ ප්‍රාදේශීය නායකයෙකි. පක්ෂය දුන් නම නිමල්ය. ඔහු 1988 මාර්තු මස අත්අඩංගුවට ගෙන දීර්ඝව ප්‍රශ්න කිරීමේ දී පොලිස් පරික්ෂණවලට සහාය දීමට ඔහු එකඟ විය. ඔහුගේ පස් මස් ගැබිණි බිරිඳටද සැමියා මුණගැසීමට අවස්ථාව සලසා දුන්නේය. ජීවිතාරක්ෂාව ලබාදෙන බව ද කටයුතු නිමවීමෙන් පසු මැදපෙරදිග රැකියාවකට යවන බවටද පළාතේ ප්‍රබල දේශපාලඥයෙක් නිමල්ට සහතික විය.(පසුව එම පොරොන්දුව තෙමසකින් ඉටුකරන ලදී) පසු කළෙක ප්‍රා සංවිධානය මඟින් ජවිපෙට හිතවත් ව්‍යාපාරික මාර්ෂල් 1989 ජූලි 29 පැහැරගත් අතර ඔහු 1989 අගෝස්තු 4 නිදහස් කළේ රුපියල් ලක්ෂ 5ක කප්පමක් ලබාගැනීමෙන් අනතුරුව බව කියති. පිටුපස කළු ආවරණය කළ මෝටර් රථයක නැ‍ඟී ඔත්තුකරු නිමල් ගමන් කළ අතර ඔහු දෙපස පොලිස් නිලධාරීන් 2කි.

ඉදිරිපස පොලිස් රියදුරුට අමතරව ආයුධ සන්නද්ධ නිලධාරියෙකි. නොපෙනෙන දුරකින් තවත් වාහනයක පැමිණෙන නිලධාරින් පිරිසකි. සෑම දිනකම නිමල් ඡෝෂප් වාස් විදුහලේ නේවාසිකාගාර කඳවුරේ මාංචු දමා රඳවා තබන අතර උදෑසන ඔත්තුකරු වශයෙන් පොලිසිය සමඟ පිටත් වේ.

ජවිපෙ ක්‍රියාකාරිකයන් නිරතුරුවම හමුවන කොච්චිකඩේ පාලම, තනිවැල්ලේ දේවාලය, මුන්නේෂ්වරම් කෝවිල, මාරවිල කුරුස පල්ලිය, කැරලිකරුවන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන් ගේ නිවාස ඇතුළු ස්ථාන ගණනාවක් පොලිස් විමර්ශනයට ලක්වන්නේ ඒ අනුවය. එසේ පොලිස් ඔත්තුකරුවා බවට පත් වූ ප්‍රාදේශීය කැරලි නායක නිමල් ගේ මඟපෙන්වීම යටතේ 1988 අප්‍රේල් 12 සමාජවාදී කාන්තා සංගමයේ නායිකාවක් වූ වයඹ පළාතේ මනෝරි හෙවත් දමයන්තිද ජවිපෙ ප්‍රාදේශීය නායකයකු වූ මදකොටුවගේ ජයසිරි(26) හෙවත් ගුණවර්ධන ඇතුළු කැරලිකරුවන් 13ක් වෙන්නප්පුව ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

එමෙන්ම කැරලිකරුවකු වූ නිමල්ගේ මඟ පෙන්වීම අනුව ජවිපෙ ක්‍රියාකාරීන් වූ රංජිත් 1988 අප්‍රේල් 28 දෙමටපිටියේදීත්, බළල් ඇස් සහිත ඩයස් 1988 මැයි 03 මහවැව මංසන්ධියේ අත්අඩංගුවට ගෙන වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ විවෘත නොකළ නේවාසිකාගාරයේ රඳවාගත් අතර පසුව ඔවුන් දෙදෙනා ඝාතනයට පත්ව වීරහේන සුසාන භූමියේ පුළුස්සා දමා තිබිණි. මාරවිල පොලිසිය ඉදිරිපිටින් කුලියාපිටිය පාරේ උඩුබද්දාවට යන විට එක් නිවසක් විමර්ශනයට ලක්කළ නිමල් ‘ලොකු මහත්තයා’ ඉන්නවායැයි යතුරු පැදියක් දැක පැවසීය. වේලාව දහවල් 11 පසුවූවා පමණි. යතුරු පැදිය නිවසින් පිටවීමෙන් පසුව ඒ පිටුපස හඹායෑමෙන් පසු නාත්තණ්ඩිය මංසන්ධියේ පාරු ඇළ පාලම අසළ දී සුමිත් අත්අඩංගුවට පත්විය.

ඒ 1988 අප්‍රේල් 15වැනිදාය. පුත්තලම දිසා ලේකම්වරයකු වශයෙන් සිටි ප්‍රනාන්දු හෙවත් ජයසිංහ සමඟ යතුරු පැදියේ සුමිත් පැමිණි අතර ඔවුන් අත්අඩංගුවට ගත්තේ පොලිස් සැරයන් රුද්‍රිගූ, උප සේවා කොස්තාපල් විජේපාල ඇතුළු පොලිස් නිලධාරින් සිව්දෙනෙකි. අත්අඩංගුවට ගත් සුමිත් සහ ප්‍රනාන්දු මාරවිල පොලිසියට ගෙන ගිය අතර එදින වෙන්නප්පුව පොලිස් අධිකාරි සෝලංගආරච්චිද නිරීක්ෂණයකට මාරවිල පොලිසියට පැමිණි සිටියේය. සුමිත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුගේ බෑගයේ රුපියල් 37, 500ක මුදලක්ද රත්තරන් කිලෝ 1ක්ද අත් ඔරලෝසුවක්ද විය.

පසුව සුමිත් සහ ප්‍රනාන්දු වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ විවෘත නොකළ නේවාසිකාගාරයේ පිහිටුවා තිබූ කැරලිකරුවන් රඳවාගත් වධකාගාරයට ගෙනයන ලදී. එහි දී තිරස්චින වධබන්ධනවලට ලක්වූවද කිසිදු තොරතුරක් දෙදෙනාම

හෙළිදරව් නොකළහ. ඒ වන විටද විජේවීර නැවතී සිටි ස්ථානය සුමිත් හොඳින් දැන සිටි අයෙකි. අත්අඩංගුවට ගනු ලැබුවේ ජවිපෙ ඉහළතම නායකයකු බව පොලිසිය පවා මාස 4ක් යනතෙක් දැන නොසිටියේය. පොලිසිය සිතා සිටියේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරිපෙළ නායකයකු ලෙස වෙලගෙදර නමැත්තා කටයුතු කරන බවක් පමණි. තමා කිසිදු තොරතුරක් හෙළි නොකරන බව ද මරණයට සූදානම් බව ද සුමිත් එහි දී ප්‍රකාශකර තිබිණි.

 

සිසුන්ගේ ග්‍රාමාරක්ෂක සේවය

 

ඉන් පසුව 1988 මැයි 03 වෙන්නප්පුව තෝප්පුව පාලම අසළ දී ඝාතනයට ලක්වූ සුමිත් ගේ සහ ප්‍රනාන්දු ගේ සිරුරු තෝප්පුව පාරේ රේල් පාරෙන් ගඟ මැදට දමන ලදී. එසේ දමන සිරුරු ගඟ හරහා මහ මුහුදට ඇ දී ගිය අතර යළි කිසිදා ගොඩට එනු නොලැබේ.

ජීවිතය වෙනුවට පක්ෂය තෝරාගත් සුමිත් අතුකෝරල ගේ වසර 20ක පූර්ණකාලීන දේශපාලන දිවියද ඒ සමඟම නිමාවට පත්විය. මියයන විට එක්දරු පියකු වූ සුමිත් ගේ බිරිය වූයේ සුජාතාය. දංකොටුව පොලිසිය තුළද කොන්ක්‍රීට් බංකරයක් ඉදිවිය. එහි යුද හමුදා කණ්ඩායමක්ද විය. එම කණ්ඩායමේ නායකයා වූයේ ලුතිනන් විතානාරච්චිය. එමෙන්ම දංකොටුව පොලිස් කොට්ඨාසයේ පාසැල් 8ක් තිබූ අතර ඒ සෑම පාසලකින්ම පාසැල් සිසුන් දෙදෙනෙක් පොලිසියට තොරතුරු ලබාගැනීම සඳහා යොදවනු ලැබීය. එම සිසුන් ග්‍රාමාරක්ෂක සේවයට අනුයුක්ත කර දෛනිකව රුපියල් 50ක වැටුපක්ද ලබාදෙන ලදී. පාසැල්වල සිසුන් සහ ගුරුවරුන් ගෙන් පොලිසියට තොරතුරු රැසක් ලැබිණි.

ඇතුගල්පුරය අතුකෝරල වෙයි

සුමිත් අතුකෝරල අත්අඩංගුවට ගැනීමට මුල්වූ දංකොටුව පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද අල්විස් සහ වෙන්නප්පුව පොලිස් අධිකාරි සෝලංගආරච්චි වාහනයෙන් ගමන් ගන්නා මාර්ගයන්හි බිම්බෝම්බ අටවා ඔවුන් ඝාතනය කිරීමට කැරලිකරුවන් විසින් තෙවරක් ගත් උත්සාහයන් අසාර්ථක වූයේ පිපිරීමට කලින් එම බිම්බෝම්බ ඔත්තු අනුව සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවීම නිසාය.

එම බිම්බෝම්බ 1989 මාර්තු 10 දංකොටුව මැටිකොටුව ප්‍රධාන මාර්ගයේද, 1989 මාර්තු 25 දංකොටුව නාත්තණ්ඩිය ප්‍රධාන මාර්ගයේද අටවා තිබිණි. කැරලිකරුවන් ගේ තාක්ෂණික අංශය විසින් ඒවා සිදුකළ අතර ඒවාට නායකත්වය දුන්නේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සහ ශාස්ත්‍ර පීඨයන්හි සිසුන් කිහිපදෙනෙකි.

සුමිත්ට ආචාර පිරිනැමීම සඳහා 1988 නොවැම්බර් 01 අලුයම පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුරට පහර දී ආයුධ පැහැරගත් බව ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය. වයඹ පළාතේ අගනගරය වන ඇතුගල්පුරය 1988 ඔක්තෝබර් 20 සිට අතුකෝරලපුර ලෙස ජවිපෙ මඟින් නිල වශයෙන් ජවිපෙ විසින් ප්‍රකාශයට පත්කරන ලදී. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතුකෝරලපුර (කුරුණෑගල) දිසා සංවිධානය මඟින් 1989 මැයි 18 නිකුත්කළ පුවත්පත් නිවේදනයට සඳහන් වූයේ ‘ප්‍රා‘ වැනි රජයේ කුලී හා ත්‍රස්තවාදී හමුදා කණ්ඩායම් විසින් සිදුකරන ඝාතනවලට එරෙහිව තම සංවිධානය කටයුතු කරන බවකි. එමෙන්ම ආර්. ඩී. එෆ්, එස්. ටී. එෆ්, එන්. ඒ. 7 සහ එන්. ඒ. ආර් වැනි අතුරු හමුදා වහාම නිරායුධ කරන ලෙසද එමගින් රජයෙන් ඉල්ලා තිබිණි.

ජාතික විරෝධතාවන්

විජේවීර ඝාතනයට පෙර ඝාතනයට පත්වූ ප්‍රථම දේශපාලන සභිකයා වූයේ සුමිත්ය. ජවිපෙ විසින් ඔහු ඝාතනය වූ බව දැනගත්තේද තෙමසකට පසුවය. සුමිත්ගේ ඝාතනය වෙනුවෙන් එයට මාස 6ක් සපිරෙන 1988 නොවැම්බර් 03 රටපුරා ශෝක දිනයක් සමඟින් ජාතික විරෝධතා දිනයක්ද 1988 ඔක්තෝබර් අවසානයේ දී නිවේදනය කරන ලදී. ඒ අනුව 1988 නොවැම්බර් 03 සියලු කඩ සාප්පු වසාදමා, සියලු වැඩපොළවල් වසා දමා, සියලු ගමනාගමන සේවා නවතා දමා, සෑම නිවසකම රතු සහ සුදු කොඩි ඔසවා නිවෙස්වලට වී සිටින ලෙසත්, ගුවන් විදුලි සහ රූපවාහිනී නැරඹීමෙන් තොරව සමස්ත ජාතියේම විරෝධය සහ ශෝකය පළ කරන ලෙසත් ජවිපෙ නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

ඒ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් කැරලිකරුවන් ගේ අණසකට ගොදුරුව තිබූ බැවින් විරෝධතාවය සාර්ථකව පැවැත්විණි. එමෙන්ම ජවිපෙ පුත්තලම් දිස්ත්‍රික් සංවිධානය 1985 ඔක්තෝබර් 30 පුත්තලම දිස්ත්‍රික්කය පුරා බෙදාහරින ලද නිල පත්‍රිකාවකින් දැනුම් දෙනු ලැබුවේ ඉහත නියෝගවලට අමතරව පුත්තලම් දිස්ත්‍රික්කය තුළ රාත්‍රී පහන් නොදල්වා අදුරේ සිටිය යුතු බවය. ජවිපෙ විසින් 1988 ජූලි 29 සහ 30 දෙදින තුළ පවත්වන ලද ජාතික විරෝධතාවයට වඩා සුමිත් වෙනුවෙන් 1988 නොවැම්බර් 3 පැවැත්වූ විරෝධතාව සාර්ථක විය.

ජවිපෙ මධ්‍යම පුවත්පත වූ රතුබලය 1988 නොවැම්බර් 04 නිකුත් වූ සයවන කලාපයද වෙන්කර තිබුණේ සුමිත් වෙනුවෙනි. එමෙන්ම බූස්ස කඳවුරේ රැඳවියන් ගේ එක් වාට්ටුවක් 1988 අවසානයේ නම් කළේ සුමිත් අතුකෝරල නිකේතනය නමිනි. එහි තිබූ පොදු පුස්තකාලය 1989 දෙසැම්බර් 10 හමුදාව විසින් රැඳවියන්ට පහරදීමේ දී විනාශකොට දමන ලදී.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!