රෝහිත, රොහාන් එහෙමත් නැත්නම් ජය ශ්‍රී කිව්වම නම් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද රටේ තාරුණ්‍යයේ උන්මාදයක් වුණ අයියා මලෝ දෙන්නෙක් තමයි ජයශ්‍රී කියන්නේ. ඒ අයියා මලෝ දෙන්නගෙන් අපි අද පිනිපලස හැඩකරන්න ආරාධනා කළේ අයියට. ඒ කියන්නේ රෝහිත ජයලත්ට.
රෝහිත කොහොමද මේ දවස්වල ලංකාවේ ගෙදරටම හිරවෙලා ගෙවන ජීවිතේ?
මේ දවස්වල මොනවා කරන්නද.. ඉතින් ගෙදරටම වෙලා ඉන්නවා. කොහෙවත් යන්නත් බෑනේ.
ජයශ්රීලත් හදිස්සියේ ලංකාවට ආවේ කොරෝනාට බයේද?
අනේ කොහෙත්ම නෑ. අපි කොහොමත් හැම අවුරුද්දෙම සීසන් එකට ලංකාවට එනවා. මේ පාර වේලාසනින් ආවා. මොකද ඔස්ට්‍රේලියා සංචාරයක් තිබුණා Line one එක්ක. තවත් ලංකාවේ වැඩ වගයකුත් තිබුණා. ඉතින් ඒ නිසා වේලාසනින්ම ආවා. අනික රොහාන්ට කලින් මම ආවේ.
ලංකාවේ නිරෝධායන කටයුතුවලට දක්වපු සහයෝගය කොහොමද?
මම ආවේ වේලාසනින් නිසා ඒ කාලේ ලංකාවේ භයානක වාතාවරණයක් තිබුණේ නැහැ. ඒත් රොහාන් ආවේ ටිකක් පරක්කු වෙලා. හරියටම මෙහෙ ගුවන් ගමන් නවත්තපු දවසේ. රොහාන් නම් ලෑස්ති පිටම ආවේ නිරෝධායනයට යන්න. නමුත් ඔස්ට්‍රියාවෙන් ආපු නිසා එයාලව කෙළින්ම යවලා තිබුණා නිවෙස්වලම නිරෝධායනය වෙන්න. රොහානුත් ගෙදර ආවට පස්සේ අපි පොලිසියට කෝල් කරලා ඒ ගැන දැන්වූවා. ඉන්පස්සේ සෞඛ්‍ය නිලධාරීන් අපේ ගෙදර ආවා. ඒ ඇවිත් එයාලම කිව්වා ගොඩක් රට ගිහින් ආපු අය හොරට හැංගිලා ඉන්න නිසා ෆේස්බුක් හැමෝටම පේන්න ලයිව් වීඩියෝ එකක් දාමු කියලා එයාලා එක්කම. ඒක වෛරල් එකක් වෙලා නිව්ස්වලටත් ගිහින් තිබුණා. කොහොම හරි අපි නියමිත කාලයටත් වඩා වැඩි කාලයක් ස්වයංව නිරෝධායනය වුණා.
නිරෝධායනය අතරේ දෙන්නා බොහෝ අවස්ථාවල ලයිව් ඇවිත් සින්දු එහෙමත් කිව්වා නේද?
අනේ ඔව්. ඉතින් නිකන් ඉන්න එකේ අපි එහෙම සින්දුවක් කියලා සන්තෝසයක් ලබනවා. ෆේස්බුක් එකේ ගොඩක් දෙනා කියනවා ලයිව් ඇවිත් සින්දුවක් කියන්න කියලා. රොහාන් එළවළු පාත්තියේ වැඩ කරනවා. මම එයා ඉන්න තැනට ගිහින් එයා එක්කම සින්දුවක් කියනවා. රොහාන්ට නම් එළවළු පාත්තියක් සහ බොන්සායි එකතුවක් තියෙනවා. අම්මයි අපි දෙන්නයි විතරයි ගෙදර ඉන්නෙත්. අපේ ගෙදර තියෙන්නේ ලොකු වත්තක් මැද්දේ. ඇත්තටම ගොඩක් වාසනාවන්තයි එහෙම පරිසරයක ඉන්න ලැබිච්ච එකත්. මේ කාලෙ නම් ගොඩක්ම වටිනවා. මොකද වුවමනා දෙයක් වවන් කන්න ඉඩ තියෙනවා. මම නම් හිතන්නේ මේ කාලය තමයි කෙනෙක්ගේ විශේෂ කුසලතාවක් තියෙනව නම් එළියට දාන්න ඕන කාලය. මම ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මමත් මේ දවස්වල එක එක කෑලි එකතු කරලා රොබෝ කෙනෙක් හදනවා. මේ කාල සීමාව ඉවර වුණ ගමන් හොඳ පෑස්සුම්කරුවෙක් හොයාගන්න ඕන. ඉතින් මේ වගේ විනෝදාංශ කිහිපයක්ම තියෙනවා. මේ වසංගත තත්ත්වය කොච්චර කාලයක් තියේවිද කියන්න බෑ. ඉතින් ගෙදර ඉන්න කාලේ මේ දේවල්වලට මුල්තැනක් දෙනවා.
ඔස්ට්‍රියාවේ ගෙවන ජීවිතේ මොන වගේද?
අප්‍රේල් ඉවර වුණාට පස්සේ ඔස්ට්‍රියාවට පටන්ගන්නේ ගිම්හාන කාලේ. ගිම්හානය කියන්නේ අපිට ගොඩක් වැඩ වැඩියි. ජයශ්‍රී බෑන්ඩ් එකේ අපි හත්දෙනාගේ පුහුණුවීම් තියෙනවා. ගිම්හාන කාලෙට විශේෂිත උත්සවවලට සහභාගි වෙනවා. ඊට අමතරව එහෙදිත් මම මේ ගෘහ නිර්මාණ කටයුතු කළා. නමුත් සංගීත වැඩකටයුතු එක්ක මට කාර්යාලයට ගිහින් ඒවා කරන්න ලැබුණේ පොඩි වෙලාවයි. ඉතින් ඒ නිසා දැන් රස්සාව විනෝදාංශය වෙලා විනෝදාංශය රස්සාව වෙලා තියෙන්නේ.
මේ සියලු දේවල් අතරේ ජයශ්‍රී නිවුන්නුන්ගේ සහයෝගීතාවයත් හරිම සුන්දරයි ඒ ගැනත් කියමු…
අපි දෙන්නගෙන් මම තමයි වැඩිමලා. නමුත් පුංචි කාලේ ඉඳන්ම අයියා, මල්ලි කියන ලේබල් එක නැතුව යාළුවෝ වගේ අපි දෙන්නා ඉන්නේ. මගේ වැරැද්දක් දැක්කොත් එයා කියනවා. එයාගේ වැරැද්දක් දැක්කොත් මම කියනවා. කවදාවත් අයියේ, මල්ලි කියලවත් අද වෙනකල් කතා කරලා නෑ. ඒක ඇත්තටම පහසුයි. මොකද ඕනම ප්‍රශ්නයක් අපි දෙන්නට එකට කතාබහ කරලා සහයෝගයෙන් විසඳගන්න පුළුවන්. දැන් බෑන්ඩ් එක පටන් අරගෙනත් අවුරුදු විස්සක් වගේ. ඉතින් දෙන්නා එක්ක ලෝකෙ වටේ ඇවිදින්න යනවා.
