“රාජාංගනේ වෙල්යායක ගැහැනු කෙනෙක් මරලා දාලා.”
තඹුත්තේගම පොලිසියට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයකු මෙම තොරතුරු ලබා දුන්නේ පසුගිය පස් වැනිදා දහවල් දොළහයි කාලට පමණය.
තොරතුරු ලද වහාම පොලිස් කණ්ඩායමක් රාජාංගනය බලා පිටත්විය. පොලිසියේ සිට කිලෝමීටර් දහයක් එකොළහක් පමණ දුරක් ගෙවා යද්දී රාජාංගනයේ ගොඩකුඹුරක මිනිසුන් රැසක් එක්රොක්ව සිටිනු දක්නට ලැබිණි.
“සර්…. අර…. අතන තමයි ගෑනු කෙනාව මරලා දාලා තියෙන්නේ.”
ගොඩකුඹුර අසල මාර්ගයේ සිටි අයකු පොලිස් කණ්ඩායමට එලෙස තොරතුරු සැපයීය.
එය… මඤ්ඤොක්කා වගාවකින් යුතු ගොඩකුඹුරකි. අත් දිග කමිසයක් හැඳ ඊට උඩින් ටී ෂර්ටයක් ද දිග සායක් ද හැඳ සිටි ඇයගේ ගෙල ප්‍රදේශයේ ගැඹුරු කැපුම් තුවාල දිස්විය. එය වම් කණේ සිට උගුරු දණ්ඩ තෙක් ගැඹුරට කැපී ඇත. දකුණු ඇසට උඩින් හිසේ ද කැපුම් තුවාලයකි.
මෙලෙස මරා දමා තිබුණේ රාජාංගණය යාය ධ් ප්‍රදේශයේ පදිංචි සිටි කාරියවසම් ගමරාළලාගේ රේණුකා කුමාරි නමැති තිස් අට හැවිරිදි දෙදරු මවකි. ඇයගේ වැඩිමල් පුතුගේ වයස අවුරුදු විසි දෙකකි. ඔහු යුද හමුදා සේවයේ නිරතව සිටී. දාසය හැවිරිදි බාල පුතු පාසල් අධ්‍යාපනය ලබමින් සිටී.
ඇයගේ සැමියා මෝදර බර්නාඩ්ගේ නලීන් ක්‍රිෂාන්තය. හතළිස් දෙහැවිරිදි ඔහු කුලී වැඩ වල නිතරවන අයෙකි.
“අපි මඤ්ඤොක්කා වගාවට පොහොර දදා හිටියේ. රේණුකාගේ මහත්තයා වෙළ පැත්තට එනවා දැක්කා. එයාගේ අතේ පිහියකුත් තිබුණා. අපි ඒ දිහා බලනවත් එක්කම ඒ මනුස්සයා එක පාරටම රේණුකාගේ ඉස්සරහට ඇවිත් පිහියෙන් කොටලා යන්න ගියා. අපිට කෑගහන්න වත් වෙලාවක් තිබුණේ නෑ. හිතාගන්න බැරි විදිහට කපලා දාලා ගියා.”
සිද්ධිය වන අවස්ථාවේ රේණුකා සමඟ මඤ්ඤෙක්කා වගාබිමේ සේවයේ නිරතව සිටි අනෙක් කාන්තාවන් දෙදෙනා පොලිස් පරීක්ෂණ වලට සහාය දෙමින් ඇසින් දුටු දේ එලෙස පවසා සිටියහ.
රේණුකා මරා දමා තිබු ගොඩකුඹුර අවට පරීක්ෂා කිරීමේදී අඩි දෙක හමාරක් තුනක් පමණ දිග මන්නා පිහියක් හමුවිය. ලේ තැවුරුණු එම පිහිය රේණුකාගේ මළ සිරුර අසල සිට අඩි පනහක් පමණ දුරින් වැටී තිබිණි.
රේණුකා ඝාතනය කළේ සැමියා විසින් බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. ඔහු ප්‍රදේශය හැර පලා ගොසිනි. එබැවින් ඔහු සොයා ප්‍රදේශය පුරා පොලිසිය සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.
මෙම ඝාතනය සිදුව තිබුණේ උදේ එකොළහයි හතළිස් පහත් දොළහත් අතරය. එදින සවස පහ පමණ වෙද්දී සැකකරු අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය. ඒ… රාජාංගණය වැවට එපිටින් පිහිටි කලාඹය රක්ෂිතයේ සැඟව සිටියදීය. ඒ වන විට ඔහු වස පානය කොට සිටි අතර එතරම් අසාධ්‍ය තත්ත්වයක පසු නොවන බවක් දක්නට ලැබිණි.
“තව ටික වෙලාවක් බලලා මැරුණේ නැත්තම් මම බෙල්ල වැලලාගන්නයි හිතාගෙන හිටියේ සර්.”
අත්අඩංගුවට පත් සැකකරු එලෙස සිය ඉදිරි සැලසුම ද හෙළි කළේය. කෘමි නාශක පානය කළ ද දිගටම වතුර බිබී සිට ඇති බැවින් ඔහු අසාධ්‍ය තත්තවයකට පත්ව සිටියේ නැත. එහෙත් යම් රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ නිසා ඔහු රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කළේය. ඒ අතරතුර ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ද පොලිසිය වගබලා ගත්තේය.
“ගෑනියි ළමයි දෙන්නයි මාව දාලා ගිහින්. මට සලකන්නේ නෑ. මාව ගණන් ගන්නේ නෑ. පවුල මාව දාලා ළමයි දෙන්නත් එක්ක එයාගේ මහගෙදර පදිංචිවෙලා ඉන්නේ. මම කීප වතාවක්ම එයාලව ආපහු එක්කගෙන එන්න හැදුවා. ඒත් ආවේ නෑ. ඒ නිසා මම මානසිකව වැටිලා හිටියේ.”
“එයා යද්දී මගේ මෝටර් සයිකලෙත් අරගෙන ගියා. එයයි, ළමයිනුයි ඒක පදිනවා මම නිතරම දකිනවා. ඒක දකිද්දී මගේ හිතට හරිම තරහයි. මගේ බයික් එකෙන් මගේ ඉස්සරහින් යනවා. ඒත්…. මාව ගණනකට ගන්නේ නෑ.”
“අපේ පවුලත් කුලී වැඩ කරනවා. එයා කුලී වැඩ කරන්න යන්නෙත් බයික් එකේ.ඊයේ උදේ ගෑනි බයික් එකෙන් කුඹුරු පැත්තට එනවා මම බලාගෙන හිටියේ. මම විපරම් කරලා බැලුවා මොන කුඹුරෙද වැඩ කරන්නේ කියලා. මඤ්ඤොක්කා වත්තේ වැඩට ගිය බව දැක්කා. මම ගෙදර ගියා.”
“ගෙදර ගිහින් පිහියයි වස කුප්පියකුයි ගත්තා. (කෘමි නාශක බෝතලයකි) අරගෙන මඤ්ඤොක්කා වත්තේ හිටිය අපේ ගෑනිගේ ඉස්සරහටම ගියා. ගිහින් පිහියෙන් බෙල්ලට කොටලා ආපහු හැරිලා එන ගමන් වස බෝතලේ බිව්වා.”
“පිහිය විසිකරලා මම කෑලේට ගිහින් පොලිසියෙන් එයි කියලා බල බල හැංගිලා හිටියා. ඒත් …. මට ඉන්න බැරි තරම් වතුර තිබහක් ආවා. ඒක නිසා ඔයෙන් වතුර බාල්දියක් ගෙනත් තියාගෙන බිබී හිටියා. වස බිව්වාට මාව මැරෙන පාටක් තිබුණේ නෑ. ඒක නිසා තව ටික වෙලාවක් බලලා මම එල්ලිලා මැරෙන්නයි හිතාගෙන හිටියේ සර්.”
සැකකරු එලෙස සිදු වූ සියල්ල පාපොච්චාරණය කළේය. පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව මොහු රේණුකා සමඟ පවුල් ජීවිතයක් පටන් ගත්තේ රේණුකාට වයස අවුරුදු පහළොවක දැරියක්ව සිටි සමයේදීය.
මේ පැති වල බොහොමයක් මවුපියවරු දරුවන්ට අධ්‍යාපනයක් ලබාදීමට උනන්දු වන්නේ නැත. ගුණ ධර්ම, සාර ධර්ම, හොඳ නරක කියා දෙන්නේ නැත. ඉපැදුණ නිසා දරුවන්ට කන්නට යමක් දී විලි වසා ගන්නට ඇඳුමක් පැළඳුමක් දුන්න ද දරුවන්ට නිසි මග පෙන්වන්නේ නැත. තමන්ට රිසි ලෙස දරුවන්ට හැදෙන්නට ඉඩ දී මවුපියන් තම තමන්ගේ වැඩ රාජකාරිවල නිතර වෙයි. තවත් මවුපියන් ගේ ඊළඟ කාර්යය වන්නේ අනියම් ඇසුරක පැටලී එහි අනන්තයට යාමට මාන බැලීම මිස පවුල් සංස්ථාව රැකගෙන ජීවත්වීම නොවන්නේය.
මේ ක්‍රමවේදය මවගෙන් දුවට, පියාගෙන් පුතාට ලෙස පරම්පරාව පුරාම විහිදී යන අතර රේණුකා ද එවැනි පරම්පරාවකින් පැවත ආ ළදරු වයසේදී පුරුෂයකු සමඟ පැන ගිය එකියකි.
ඝාතනය වන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි. වැඩිමල් පුතාගේ වයස අවුරුදු විසි දෙකකි. එනම් අම්මාට වඩා පුතා බාල වයස අවුරුදු දාසයකිනි. ඒ අනුව වැටහෙන්නේ ඇය දරුවා බිහිකරන්නේ නීතියෙන් විවාහ වීමට පෙර බවය. කාන්තාවකට විවාහ විය හැක්කේ වයස අවුරුදු දහඅට සම්පුර්ණ වූ පසුවය. ඇය විවාහ වන්නට ඇත්තේ වැඩිමල් දරුවාට වයස අවුරුදු දෙකක් සපිරුණු කාලයේය.
ඇයගේ සැමියා වන නලීන් ක්‍රිෂාන්ත මීට කලකට පෙර කසිප්පු ජාවාරමේ නිරතව සිටි අයෙකි. කසිප්පු බීමට ද ඇබ්බැහිව සිටි ඔහු වසර දොළහක සිර දඬුවමක් ද ගෙවා දමා තිබිණි. ඒ…. ස්ත්‍රී දුෂණ නඩුවක වරදකරු බව අධිකරණයේදී ඔප්පු වීම හේතුවෙනි.
වසර දොළහේ සිර දඬුවම වසර නවයකින් ගෙවා දමා මොහු සිර ගෙදරින් නිදහස ලබා පැමිණ තිබුණේ මීට වසර දෙකකට උඩදීය.
බිරිය දරුවන් ද රැගෙන මහ ගෙදර පදිංචියට යන්නට ඇත්තේ මොහු ස්ත්‍රී දුෂකයකු බව නීතියෙන් පවා ඔප්පු වී දඬුවම් ලැබීම නිසා විය යුතුය. ස්ත්‍රී දුෂකයකු සමඟ එක වහළක් යට සිටිය නොහැක නිසා විය යුතුය. මොහු බිරිය මරා දමන්නේ එලෙස එක් වරදකට දඬුවම ලබා නිදහස්ව පැමිණිමෙන් අනතුරුවය. ඔහුට ඇය සමඟ වැඩිම තරහ තිබුණේ ඔහුට සිය ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමට බිරිය සහය නොදීම නිසාය.