Gossip

ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය හොර දොස්තර

ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් නීති විරෝධී ගබ්සා කිරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයකුට එරෙහිව සෞඛ්‍ය නිලධාරීන් බිබිල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක් පෙරේදා (16) විභාග කළ මහෙස්ත‍්‍රාත් බුවනෙක රාජකරුණා මහතා වරද පිළිගත් සැකකරුට රුපියල් 25,000 ක දඩයක්ද, වසර දෙකක අත්හිටුවූ සිරදඬුවමක්ද නියමකොට සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි මාධ්‍යය තුනෙන් ජාතික පුවත්පත් තුනක මෙම වරද තවත් නොකරන බවට මහජනතාවගෙන් සමාව අයැද දැන්වීමක් පළ කර ලබන 20 දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ බිබිල කණුල්වෙල ප‍්‍රදේශයේ පදිංචි හමීඞ් මොහොමඞ් සිද්දික් නමැති 69 හැවිරිදි පුද්ගලයෙකුටය. මෙම පුද්ගලයාට මෙවැනි චෝදනා රැසකට 2016 වසරේද සෞඛ්‍ය නිලධාරීන් නඩු පවරා දඬුවම් ලබා සිටි අයෙකු බව ආහාර හා ඖෂධ පරීක්ෂක පුෂ්පකුමාර මහතා පැවසීය.

බඬේ කැක්කුමක් සහ රුධිර වහනය වීමක් සම්බන්ධයෙන් බිබිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගෙන් ලබා ගත් ප‍්‍රකාශ මත මොණරාගල දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඞී.ඒ.ඞී.පී. පුෂ්පකුමාර මහතා බිබිල අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම සැකකරුගේ නිවස ඉකුත් මස 24 දා පරීක්ෂාවට ලක්කොට තිබිණ.

එහිදී බලපත‍්‍රයක් නොමැතිව නිවස තුළ ගබඩාකර තිබූ බටහිර ඖෂධ වර්ග 19 ක් සහ තවත් උපකරණ කීපයක්ද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුණි. 2015 අංක 05 දරණ ඖෂධ නියාමන පනත යටතේ මෙම සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණ. සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබූ ඖෂධ වර්ග බැහැර කිරීම සඳහා ඖෂධ අධිකාරියට බාර දෙන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මොණරාගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පී.ඞී.කේ. අධිකාරි මහතාගේ උපදෙස් මත මෙම නඩුව පවරා තිබූ අතර බදුල්ල ආහාර හා ඖෂධ පරීක්ෂක ජේ.ඒ.සමරජීව මහතා මෙම නඩුව මෙහෙයවීය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!