Gossip

“ගණිකා වෘත්තියේ නිරත වෙන අය ගැන රටේ පවතින ආගමික, සංස්කෘතික වටපිටාවන් යටතේ පිළිගැනීමකට ලක්වෙන්නේ නෑ.. ඒ අය වෙනුවෙන් හඬක් අවදි කළ යුතුයි.” – සමනලී ෆොන්සේකා

සමනලී ෆොන්සේකා කියන්නේ නිතරම කරළියට එන දක්ෂ රංගන ශිල්පිනියක්.
මේ ඇය සතිඅන්ත පුවත්පතකට කියූ අලුත්ම කතාවයි..

ලස්සන කියන දේ ගැන මොකද හිතෙන්නේ?
ලස්සන කියන්නේ දෘෂ්ඨිවාදයක්. පෞද්ගලිකව මං හිතනවා අපි කවුරුත් එයට හසු නොවී ඉන්නවා නම් හොඳයි කියා.”

ඔබ ඉන් අදහස් කරන්නේ?
“අද වනවිට ලෝකයේ බලය යුරෝපීය රටවල, ඇමෙරිකානු රටවල හුවමාරු වන නිසා වැඩි බලයක් තියෙන්නේ සුදු ජාතිකයන්ට.
එම නිසාම සුදු සමට බලයක් ලැබිලා තියෙනවා. ආසියානු අපිත් අපට ආවේණික සමේ වර්ණය පසෙකලා සුදු හමකට ඇළුම් කිරීමට පටන්ගෙන තිබෙන්නේ ලෝකය යන පැත්තටම යනවා වගේ දෙයකට.
සුදු හමේ බලය කොච්චර ද කියනවා නම් යුරෝපීය රටවල් හදන බෝනික්කෝ පවා සුදුයි. අද ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ සුදු වෙන්න ගාන ක්‍රීම්වලට. නැතිනම්, පෙතිවලට, ඉන්ජෙක්‍ෂන්වලට. ඇත්තටම අපි මේ ගැන සවිඥානිකව බැලිය යුතුයි.
අද වනවිට ලෝකයේ බලය යුරෝපීය රටවල හුවමාරු නොවී, අප්‍රිකානු රටවලට හුවමාරු වී තිබුණා නම්, ඇතැම්විට ලෝකයේ ජීවත්වෙන බහුතරය සම කළු කරගන්න උත්සාහ ගන්නවා විය හැකියි. ඇත්තටම බාහිර ස්වරූපය කියා එයට සිදුවන්නේ දෘෂ්ඨිවාදයකටම අප නොදැනුවත්වම හසුවීම සිදුවෙනවා. සුදු හම ලස්සනයි කියන තැනට කරුණු යෙදිලා තියෙන්නේ ඔය විදිහට.”

සුන්දරත්වයක් ලෙසට ඔබ දකින්නේ?
“සුන්දරත්වය කියන දේ එකිනෙකාට වෙනස් විදිහට දැනෙන්න පුළුවනි.
කෙනකුට දැනුම සොයා යෑම සුන්දර විය හැකියි. තව කෙනකුට ආදරය විඳින එක, ආදරය කරන එක සුන්දර විය හැකියි.

මේ හැමදේටම වඩා තව කෙනකුට උසස් මානුෂික ගුණාංගයක් වන මනුස්සකම සුන්දරව පෙනිය හැකියි. ඔය විදිහට අපි කැමැති දේවල්, අපි ආශා කරන විෂයන් සුන්දර වීමට පුළුවනි.
ඒ හැරෙන්න ඉතින් රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන පොහොසත් කර කර සොයා යන සුන්දරත්වයක් ගැන නම් මම සැබෑවටම දන්නේ නෑ.”

කෙනකු ඇතුළතින් සුන්දර විය යුත්තේ කෙසේ ද?
“බහුතරයක් බලය තිබෙන මිනිසුන් සිටින තැන, පීඩා විඳින සුළුතර මිනිසුන් ගැන සංවේදීව බැලීමට මනස සකස් කරගත හැකි නම් එවැනි පිරිස් ඇතුළාන්තයෙන්ම ලස්සනයි කියා මා දකිනවා.

උදාහරණයක් විදිහට සමලිංගිකයන් ගැන, ඇතැම් දමිල ජන කොටස්වල පීඩා විඳින පිරිස් ගැන මෙන්ම ගණිකා වෘත්තිය වැනි වෘත්තියන්හි නිරත වෙන අය ගැන රටේ පවතින ආගමික, සංස්කෘතික වටපිටාවන් යටතේ පිළිගැනීමකට ලක්වෙන්නේ නෑ. ඒත් අපේ ජන කොට්ඨාසයේම කොටසක් කියා සිතා, එවැනි අසරණ සුළුතර මිනිසුන් ගැන සිතා ඔවුන් වෙනුවෙන් හඬක් අවදි කළ හැකි නම් එය සමේ පාට වෙනස් කරගන්නවාට වඩා ලොකු දෙයක් වෙනවා.”

නියැලෙන වෘත්තිය අනුව සුන්දරත්වය ආරක්‍ෂා කරගන්න මොනවාද කරන්නේ?
“රංගන ශිල්පිනියක් කියලා මම කොයි වෙලාවෙත් රූපය ගැන නම් සිත සිත ඉන්නෑ. මා හිතනවා අප ප්‍රේක්‍ෂක ආදරය දිනාගත යුත්තේ රංගන කෞෂල්‍යයක් දැක්වීමෙන් විනා, බාහිර පෙනුමෙන් නොවන බව. ඇත්තටම මම ෆේෂල් එකක්වත් සැලෝන් එකකට ගිහින් කරන්නෑ. මම සැලෝන් යන්නේ කොණ්ඩේ කපන්නයි, කොණ්ඩේ ඩයි කරන්නයි, අයිබ්‍රෝස් හදන්නයි විතරයි. ලස්සන රැක ගන්නවා කියා නොවේ නිරෝගීකම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නම් මම දෛනිකව පුංචි වෙහෙසක් ගන්නවා. ඒ වෙනුවෙන් වතුර ගොඩක් බොනවා. පලතුරු ගොඩක් කනවා. සෑම විටම නිවසේ පිළියෙල කළ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර වේලක් ගන්න උත්සාහ කරනවා.
ඊට අමතරව ව්‍යායාම මධ්‍යස්ථානයකට ගිහින් ව්‍යායාම කිරීමත් මගේ දින චර්යාවේම කොටසක්. නිරෝගීකම ආරක්‍ෂා කරගන්නවා නම් අපිට ඕනෑම ඉලක්කයකට යා හැකි විශ්වාසයක් හිතේ ගොඩනැගෙනවා. අපි හැමෝම නිරෝගීකම ආරක්‍ෂා කරගන්න වෙහෙස විය යුතුයි.”

විලාසිතා කිරීමේදී සැළකිලිමත් ද?
“ඔව්. මගේ ඇඟට, මගේ වයසට, මගේ පෙනුමට ගැළැපෙන විලාසිතා කරන්න මම කැමැතියි.”

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
“විවිධ රටවලදී විවිධ ආකාරයෙන් බොහෝ සුන්දර කාන්තාවන් දැක තිබෙනවා. එම නිසා එක් අයකු නම් කිරීම සැබෑවටම අපහසුයි.
වර්තමානය වනවිට බොහෝ කාන්තාවන් තම බාහිර සුන්දරත්වය වැඩි කරගන්න උත්සාහ කරනවා සහ තමන්ට නොලැබුණු දේවල් ගැන බොහෝ කනගාටු වෙනවා.

දෘෂ්ටිවාදයට හසු නොවී සවිඥානික විය හැකි නම් අපිට ලැබුණ දේවලින් සුන්දරත්වය ආරක්ෂා කරගත හැකියි.
පොතක් කියවලා දැනුම වැඩි කරගත හැකි නම්, අසරණ කෙනකුට පිහිට විය හැකි සංවේදී මනසක් ඇති කරගත හැකි නම්, අපි ඉබේම සුන්දර මිනිසුන් විදිහට ලොව හඳුනා ගන්නවා.
පිළිවෙල, පිරිසිදුකම, ප්‍රියමනාපකම වගේම කාලා බීලා සතුටින් ඉඳීමයි වැදගත්.”

අසුන්තා එදිරිසුරිය
ලංකාදීප – සදැල්ල

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!