මත්කුඩු චෝදනා ලැබූවන් සහ දරුණු ගණයේ අපරාධ චෝදනා ලැබූ සිරකරුවන් රඳවා සිටින කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිර මැදිරිය අසල භූමියේ වළවල් දෙකක් තුළ සඟවා තිබූ ජංගම දුරකථන දහනවයක් සොයා ගැනීමට ඊයේ (24 දා) බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇත.
මෙම දුරකථන තොගය සඟවා ඇති ස්ථානය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට පෙරේදා (23 දා) තොරතුරු ලැබී ඇත. ඒ පිළිබඳව කි‍්‍රයාත්මක කළ විශේෂ මෙහෙයුමකදී එම දුරකථන සොයා ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
මෙම දුරකථන තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බවත් ඊයේ සිට බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදවා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.