2019 අගෝස්තු මාසයේ සිට චීනයේ වූහාන් ප්‍රදේශයේ රෝහල්වලින් පිටත රථවාහන තදබදයක් පැවති බවක් පෙනී යන අතර, කොරෝනාවෛරසය නිල වශයෙන් වාර්තා වූ කාලයට පෙර සිටම එය චීනය තුළ පැතිරී තිබූ බවක් එමගින් ගම්‍ය විය හැකි බව අධ්‍යයනයක සඳහන් වේ.
හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ අගෝස්තු අග සිට දෙසැම්බර් දක්වා චීන නගරයේ රෝහල් පහක පිටත රථවාහන තදබදය වැඩි වී ඇති බවක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප අනුව දක්නට ලැබෙන බවය.
රථවාහන තදබදය පැවති කාලය තුළම අන්තර්ජාලය ඔස්සේ “කැස්ස” සහ “පාචනය” වැනි රෝග ලක්ෂණ පිළිබඳ තොරතුරු සෙවීම ද වැඩිවී තිබිණි.
චීනය කියා සිටින්නේ මෙම අධ්‍යයනය “හාස්‍යජනක” සහ “මතුපිට කරුණු” මත පමණක් සිදු කර ඇති බවය.
කොරෝනාවෛරසය චීනයෙන් ප්‍රථම වරට වාර්තා වූයේ නොවැම්බර් මාසයේ දී බව විශ්වාස කෙරේ. නොදන්නා හේතුවකින් ඇතිවුණු නියුමෝනියා රෝගීන් සමූහයක් පිළිබඳ 2019 දෙසැම්බර් 31 වන දින චීන බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වාර්තා කර තිබේ.
“කොරොනාවෛරස වසංගතයේ ආරම්භය ලෙස කලින් හඳුනාගත් කාලයට පෙර සිටම යම් මට්ටමක කලබලයක් චීන සමාජය තුළ සිදුවී ඇති බව පැහැදිලිය,” පර්යේෂණය මෙහෙයවූ දුන් ආචාර්ය ජෝන් බ්‍රවුන්ස්ටයින් ඒබීසී පුවත් සේවයට පැවසීය.
කෙසේ නමුත්, මෙම අධ්‍යයනය තවමත් සමාලෝචනය කර නොමැත.
අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ කුමක්ද?
වූහාන් පළාතේ රෝහල් පහක පිටත වාණිජ චන්ද්‍රිකා දත්ත පරීක්ෂා කළ පර්යේෂකයෝ, 2018 ගිම්හානයේ අගභාගයේ සහ සරත් සමයේ දත්ත සහ 2019 වර්ෂයේ එකම කාල පරිච්ඡේදයේ දත්ත සංසන්දනය කළහ.
එක් අවස්ථාවක, 2018 ඔක්තෝම්බර් මාසයේදී වූහාන්හි විශාලතම රෝහලක් වන Tianyou හි මෝටර් රථ 171 ක් නවතා තිබෙනු පර්යේෂකයන්ට දක්නට ලැබිණ.
2019 දී එකම කාලවකවානුවේ දී එම ස්ථානයේම වාහන 285 ක් නවතා තිබෙන බව චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කර ඇති අතර එය 67% ක වැඩිවීමකි.
එම කාලය තුළ චීන අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් වන Baidu හි කොරෝනාවෛරසයේ රෝග ලක්ෂණ හා සම්බන්ධ වචනවල සෙවීම් එකවර වැඩි වී තිබිණි.

“මේ සියල්ල වූහාන්වල යම් දෙයක් සිදුවෙමින් පැවතුන බවට වර්ධනය වෙමින් තිබෙන තොරතුරු සමූහයක්” යැයි ආචාර්ය බ්‍රවුන්ස්ටයින් ඒබීසී පුවත් සේවයට පැවසීය.
“සිදුවූයේ කුමක්ද යන්න සම්පූර්ණයෙන් අනාවරණය කර ගැනීමටත්, මෙම රෝගය පැතිරීම හා ජනතාව තුළ මතු වූයේ කෙසේද යන්න පිළිබඳව සැබවින්ම දැන ගැනීමට තව බොහෝ අධ්‍යයන අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙය තවත් එක් සාක්ෂියක් පමණයි.”
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Hua Chunying අඟහරුවාදා (ජූනි 9) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යයනයෙන් සොයාගත් කරුණු ප්‍රතික්ෂේප කළාය.
“රථවාහන ප්‍රමාණය වැනි මතුපිට නිරීක්ෂණ මත පදනම්ව මෙම නිගමනයට පැමිණීම හාස්‍යජනකයි, ඇදහිය නොහැකි තරම් හාස්‍යජනක යැයි මම සිතනවා.”
අධ්‍යයනයේ ඇඟවුම් මොනවාද?
බෙයිජිංහි බීබීසී වාර්තාකරු ජෝන් සඩ්වර්ත් පවසන්නේ පර්යේෂකයන් භාවිත කළ දත්ත කට්ටලයට යම් සීමාවන් තිබුණු බවය. නිදසුනක් වශයෙන්, සමහර ඡායාරූප වලාකුළුවලින් ආවරණ වී තිබීම හේතුවෙන් අඛණ්ඩව වසර කීපයක එකම දිනයක ගත් චන්ද්‍රිකා ඡායාරූප සසඳා බැලිය නොහැකි වී ඇත.
නමුත් හඳුනානොගෙන හෝ ආසාදනය පැතිරී තිබුණේ නම් සමහර පුද්ගලයන් වූහාන් අතහැර විදේශ ගත වීමට ඉඩ තිබිණි. කෝවිඩ් -19 හි මුල් අවස්ථාවේ ලෝකයේ වෙනත් රටවල අප එවැනි තත්වයක් දුටු අතර, වූහාන්වලද එලෙස සිදු වී ඇත්නම් එය අදාළ සාක්ෂි සමග ගැලපෙන බව බීබීසී වාර්තාකරු පවසයි.
කෙසේවෙතත්, චීනය වෛරසය වසන් කිරීම හෝ ප්‍රමාද කිරීමකට සම්බන්ධ සාක්ෂියක් ලෙස මෙම අධ්‍යයනය භාවිතා කිරීම අසාධාරණ විය හැකිය. එයට හේතුව නම්, නිල වශයෙන් මේ ගැන වාර්තා වන විට ද පෙර හඳුනානොගත් රෝගයක් ප්‍රජාව තුළ පැතිරී ගොස් තිබීමේ ඉඩකඩ ඇති බව යැයි ජෝන් සඩ්වර්ත් තවදුරටත් පැවසුවේය.

නියුමෝනියා රෝගීන් කිහිප දෙනෙකු තුළ නව කොරෝනාවෛරසයක් (කෝවිඩ් -19 ඇති කරන Sars-CoV-2 වෛරසය) සොයා ගත් බව චීන බලධාරීහු ඉන් දින නවයකට පසු අනාවරණය කළහ.
වූහාන් සහ අනෙකුත් චීන නගර 2020 ජනවාරි 23 දින වසා දැමිණ.
2020 ජනවාරි 30 වෙනි දින කෝවිඩ් -19 ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. ඒ වන විට චීනයෙන් පිට රෝගීන් 82ක් වාර්තා වී තිබිණි.
