Gossip

කොරෝනා වැළඳී සුවය ලැබූ අයකුට යළි කොරෝනා හැදුණොත් මොකද වෙන්නේ..?

කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ අයකු නැවත කොරෝනා වෛරසයට ගොදුරු වුවද, එම ආසාදිතයාට සමාජයේ වෙනත් අයට වෛරසය පැතිරවීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබෙනවා.
මේ නිසා කුවේට් රාජ්‍යයේ සිට පැමිණි කොරෝනා ආසාදනයෙන් සුවය ලබා නැවත එම වෛරසය ශරීරගත වූ කාන්තාව සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි වෛද්‍ය ගිනිගේ මහතා කීවේය.
කොරෝනා වෛරස් ආසාදනයට පළමු වරට ගොදුරු වූ අයට එම වෛරසය අවට සිටින අයට පැතිරවීමේ හැකියාවක් ඇතත්, එම ආසාදිතයින් රෝහල් ප‍්‍රතිකාර මගින් සුවය ලැබූ පසු වෛරසයට එරෙහි ප‍්‍රතිදේහ ඔවුනගේ ශරීරය තුළ නිපදවෙන බව පෙන්වා දුන් වෛද්‍ය ගිනිගේ මහතා එවැනි ආසාදිතයින් නැවත වරක් කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව පෙන්නුම් කරන්නේ ඔවුන් විසින් ආසාදනය නොවන මියගිය කොරෝනා වෛරස් අංශු මුදා හැරීම නිසා බව සඳහන් කළේය.
මෑතකදී දකුණු කොරියාවේ සිදු කරන ලද පර්යේෂණයකදී අනාවරණය වූයේ කොරෝනා වෛරස් ආසාදනය වී සුවය ලැබූ අයකුට සති ගණනාවක් ගත වූ පසුව නැවත කොරෝනා වෛරසය ශරීරගත වුවද එම තැනැත්තාට නැවත එම වෛරසය සමාජය තුළ පැතිරවීමේ හැකියාවක් නොමැති බවයි. මෙම පර්යේෂණය සිදු කළ රෝග පාලනය හා නිවාරණය පිළිබඳ කොරියානු මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පිරිස මෙසේ කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සුව වූ පසු නැවත එම වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වූ 285 දෙනකු සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති අතර, ඔවුන් කිසිවකුට එසේ නැවත වෛරසය සමාජය තුළ පැතිරවීමේ හැකියාවක් නොමැති බව එම අධ්‍යයනයේදී තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එම ආසාදිතයින්ගෙන් ලබා ගත් වෛරස් සාම්පල පරීක්ෂාවට ලක් කිරීමේදී මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!