Gossip

කොරෝනා නිරෝධායනයට හෝටලයක් පරිත්‍යාග කළ හදවතින් පොහොසත් පුංචි මිනිසා

මේ ඉන්නේ ප‍්‍රියන්ත. බැලූ බැල්මට පුංචි මිනිහෙක් තමයි.
ඒත් ඒ පුංචි මනුස්සයා කරන ලොකු ලොකු වැඩ ගැන අහනකොට තමයි හිතෙන්නෙ මතුපිටින් අපි දකින පුංචි පුංචි මිනිස්සු හදවතින් මොන තරම් මහා දැවැන්ත වැඩ කරනවද කියලා.
ප‍්‍රියන්තට තිබුණා හංවැල්ලේ අවිස්සාවේල්ල පාරේ ”අනෝමා හෝටලය” කියලා කාමර 15 කින් යුතු පුංචි සංචාරක හෝටලයක්. දෙස් විදෙස් සංචාරකයන්ට තමයි ඔහු පහසුකම් සැලසුවේ. ඊට අමතරව ඒ හෝටලයේ වායුසමනය කළ විසල් උත්සව ශාලාවකුත් තියෙනවා.
පිටරටවල ඉඳලා කොරෝනා උවදුර නිසා පවුල් පිටින් ලංකාවට එන ශ‍්‍රී ලාංකිකයන්ව නිරෝධායනය කරන්න තැන් නැතිව රජය විපිළිසර වෙනකොට ප‍්‍රියන්ත කළේ තම හෝටලය වසා දමා එය සෞඛ්‍යය අමාත්‍යාංශයට පවරා දෙන එක. සියලූ නීත්‍යනුකූල කටයුතු වලට ලිපි ලේඛන අත්සන් කරලා හෝටලය භාරදුන්නේ පසුගිය 12 වන බ‍්‍රහස්පතින්දා උදේ.
මට ප‍්‍රියන්තව හමු වුණේ ජනාධිපති කාර්යාලයේ අපේ හිතවත් තිලාන් පුංචිහේවාගේ මැදිහත් වීමෙන්. පුංචි වුණත් තමන් කරපු මේ උතුම් පරිත්‍යාගය ගැන ඔහු මෙන්න මෙහෙම කිව්වා.

“කොරෝනා කියන්නේ අපේ රටේ ප‍්‍රශ්නයක් නෙවෙයි. ගෝලීය වශයෙන් අද ලෝකයම මුහුණ දීලා ඉන්න බරපතළ ගැටලූවක්. ජනාධිපතිතුමා චීනයේ අසරණ වෙලා හිටිය ශ‍්‍රී ලාංකික දරුවන් ටික ඉතාම පරිස්සමින් ලංකාවට ගෙනල්ලා නිවැරදි ක‍්‍රමවේද අනුගමනය කරලා නිරෝධායන කටයුතු කර ආපසු ගෙවල් වලට භාරදුන්නේ මුළු ලෝකයටම ආදර්ශයක් සපයමින්. මුළු ලෝකෙම ඒක දැක්කා.
ඒත් අන්තිමේ අපේ මිනිස්සු මොනවද කළේ… අර හැඳල ලාදුරු රෝහලට ගේන්න හදපු, පිටරට ඉඳන් ආපු අපේම සහෝදර ජනතාව එලවගන්න තරම් අකාරුණික වුණා. දෙයියනේ… ඒක ලාදුරු රෝහලක්. අනිත් එක මේ ආපු කිසිම කෙනෙක් කොරෝනා ආසාදිතයන් නෙවෙයි. ලෙඞ්ඩු නෙවෙයි. ඔවුන්ට විරුද්ධ වෙන්න තරම්… ඒ පහත් ක‍්‍රියාව, පහත් උද්ඝෝෂණය සංවිධානය කරපු පිරිස අතරේ සමහර දේශපාලනඥයෝ වගේම හාමුදුරුවරුනුත් කතෝලික පියතුමන්ලාත් ඉන්නව දැකල මට හොඳටම කලකිරුනා. මට හිතුනා ඒ හාමුදුරුවන්ගෙන් අහන්න අපේ බුදුන් වහන්සේ සුනීත සෝපාකලා, පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ සුවපත් කරලා ලෝකෙට පෙන්නපු ආදර්ශය ඕකද කියලා.”
“අනිත් එක තමයි ඉතාලියේ කොරියාවේ චීනයේ ඉරානයේ ඉඳලා පවුල් පිටින් අපේ අය එනවා. පුංචි දරුවො ඉන්නවා. ඒ අයට දුක් විඳින්න බෑ. රෝහල්වල ගාල් කරන්නත් බැහැ අනිත් ලෙඞ්ඩු ඉන්න නිසා. මේ අයව සමහර සමහර තැන්වලට ගේන්න හදනකොට අපේම ආත්මාර්ථකාමී ජනතාව ඒවට විරුද්ධ වෙනවා. මරණ බයෙන් තැතිඅරන් ඒවයින් බේරිල පිටරටවල ඉඳලා ලංකාවට එනකොට අපි මෙහෙන් ප‍්‍රතික්ෂේප කරනවා නම් ඒ මිනිස්සු කොහෙද යන්නේ. ඒ නිසා තමයි ආරම්භයක් හැටියට මම මගේ පුංචි හෝටලය පරිත්‍යාග කළේ පිටරටවල ඉඳලා පවුල් පිටින් එන අයට කාමර ටික යොදා ගන්න. අනිත් එක මගේ විශාල වෙඩින් හෝල් එකටත් ඇඳන් දෙසීයක් විතර දාලා තවත් විශාල පිරිසකට පහසුකම් සපයන්න පුළුවන්. මේ වෙලාවේ ඒ උදවියට අවශ්‍ය නම් ආහාරපාන සපයන්න වුණත් රජයට උදව් කරන්න මම කැමැතියි.”
කොරෝනා ආසාදිතයෙකු මත්තෙගොඩ ප‍්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නවයි කියන ආරංචියට මුළු කොළඹ දිස්ත‍්‍රික්කයේම කඩ සාප්පුවල තියෙන බඩු මුට්ටු ටික හූර හූර අරගෙන ගිහිල්ලා ගෙවල්වල ගොඩගහගන්න තරම් ආත්මාර්ථකාමී වුණු වුණු මිනිස්සු ඉන්න රටක ප‍්‍රියන්තලා කොච්චර සම්පත්ද. මාත් එක්ක කතා කරන කොටත් ප‍්‍රියන්තගේ ඇස් මනුස්සකමින් දිලිසෙන අයුරු මම දැක්කා. ‘‘පුංචියට හිටියට මගේ තියන මනුස්සකම පුංචි නෑ’’ කියන පණිවිඩය ඒ දිස්නය ඇතුළේ ලියවිලා තිබුණ බව මට මතකයි.
ඇත්තටම ප‍්‍රියන්ත පුංචි මිනිහෙක් නෙවෙයි. එස්.ටී.එස්. සමූහ ව්‍යාපාර අධිපති ප‍්‍රියන්ත කියලා කියන්නේ ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයෙත්, නාවුක සේවා සැපයුම් ක්ෂේත‍්‍රයේත් ඉඩම් හා දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේත් තව තවත් ව්‍යාපාර කටයුතුවලත් ලංකාවේ නමක් දිනූ තරුණ ව්‍යාපාරිකයෙක් බව මම දැන ගත්තෙ පස්සෙ.
ඇත්තෙන්ම හොඳ වැඩක් කරනකොට දෙවියොත් උඩ ඉඳන් සාදුකාර දෙනවා කියලා කියනවා. මිනිස්සු එහෙම කියනවා අපි අහලා තියෙනවා. අපි දෙවියෝ ගැන කතා කරන කොට ඔහු හරි අපූරු කතාවක් කිව්ව නිසා මට හිතුණා එයත් මෙහි අවසානයට මෙන්න මෙහෙම සටහන් කරන්න.
“අද මේ මේ කොරෝනා වසංගතය නිසා දෙවියොත් අහක බලන්න පටන් අරන්. මක්කම වහලා. වතිකානුවත් වහල දාල. මිනිස්සුන්ට ගිහින් දුක කියන්න තැනක් නෑ. අද ඇරලා තියෙන්නෙ පන්සල් විතරයි. ඇමරිකාවේ ඔබාමලා එංගලන්ත චාල්ස්ලා අද අතට අත දෙන එක අත ඇරලා අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියන්න පටන් අරන්. ආයුබෝවන් කියන සම්ප‍්‍රදාය අපේ. ලෝකයම අද ගරු කරන්නේ අපේ මනුස්සකමට. ඉතින් අපි අපේ මනුස්සකම රැක ගනිමු. ඒ මොකද… මිනිස්සුන්ට මිනිස්සු හැර තවත් කෙනෙක් නෑ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!