කොරෝනා වෛරසයට එරෙහි කිසිදු එන්නතක් තවමත් සියයට සියයක් සාර්ථක වී නොමැත. මේ බොහොමයක් එන්නත් පර්යේෂණ මට්ටමේ පවතින අතර කිහිපයක් පමණක් මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට පියවර ගෙන තිබේ.
ඒවා වුවද සාර්ථක වේවිද නැද්ද යන්න තවම ස්ථිරව පැවසිය හැකි නොවේ. එසේ වුවත් තවමත් අත්හදා බැලීම් මට්ටමේ පවතින ඇතැම් එන්නත්වලින් මාත්‍රා මිලියන ගණනින් තොග වශයෙන් නිෂ්පාදනය කර ගබඩා කර තැබීමට ඇමෙරිකාව පියවර ගනිමින් සිටියි. මේ අනුව එන්නතක් සාර්ථක බව තහවුරු වූ සැණින් ඒවා ජනතාව වෙත ලබා දීමට හැකිවනු ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබේ. මේ වසර අවසන් වන විට සාර්ථක එන්නතක් හඳුනාගන්නට ලැබෙනු ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් ගේ විශ්වාසය බව පෙනේ.
මේ අතර බ්‍රිතාන්‍යයද මෙයට සමාන කටයුත්තක් සැලසුම් කරමින් සිටින බැව් වාර්තා වෙයි.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේ වනවිට එන්නතක් අත්හදා බලමින් සිටින අතර එය සාර්ථක වූ සැණින් මාත්‍රා මිලියන 30ක් නිපදවීමට සැලසුම් කරමින් සිටින බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි.
එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුවහොත් සැප්තැම්බර් මාසය වනවිට මෙම මාත්‍රා මිලියන 30 නිපදවීමටත්, ජනතාවට එන්නත ලබා දීම ආරම්භ කිරීමටත් හැකිවනු ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබිණි.
