Gossip

කොරෝනා අවසන් වෙන්නේ කවදද ? – මෙන්න දවස

කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයේ භයානක කම කොතෙක් ද යන්න මෙරට බහුතරයක් ජනතාව තවමත් හරි අවබෝධයක් නොමැතිව කටයුතු කරන බව පෙනී යන්නේ ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන විට දී ය.

සංචරණ සීමාවන් ලිහිල් කළ විටදී ඔවුන්ගේ හැසිරීම ‘‘ අවුරුදු ලැබුවා වගේ ”‍ කීම අතිශෝක්තියක් නොවේ.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිරන්තරයෙන් ජනතාවට ලබා දෙන උපදෙස් සහ අවවාද ඔවුහු තඹයකට මායිම් නොකරන්නේ දින වකවානු වලින් නිවැරදිව අවසානයක් කිව නොහැකි වසංගත තත්ත්වයක් මෙරට ඇති වීමේ පෙර නිමිති පහළ කරමින් ය.

සමස්ත රටම ආවරණය කර පුද්ගලයන් තුන්දහසකගේ පමණ නියැදියකින් පසුගිය දා සිදු කරන ලද සමීක්ෂණයක දී මෙරට ජනතාවගෙන් සියයට හැට තුනක් පමණ මෙම රෝගයේ බරපතලකම තේරුම් ගෙන නැති බව අනාවරණය කර ගෙන ඇත්තේ ඉහත කරුණු තවදුරටත් සනාථ කරමිනි.

තත්වය එසේ තිබියදී සංචරණයේ සීමාවන් ඇති කිරීම සඳහා රජය පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් ජන ජීවිතයේ ක‍්‍රියාකාරකම් මුළුමනින්ම පාහේ අඩාළ වී ඇත. වෙනදා මේ වනවිට නව අවුරුද්දට ලක ලෑස්ති වන ජනතාව සිය නිවෙස්වලට වී ඇඟිලි ගනිමින් සිටින්නේ මේ තත්ත්වය කවදා පහව යයිද සිතමින් ය.

ලොවක් භීතියට පත් කළ නව කොරෝනා වෛරසය මෙරට ආක‍්‍රමණය කරන්නේ ජනවාරි 27 වැනිදා ය.

ඒ චීන ජාතික ලූ යැං නමැති කාන්තාවට නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි අංගොඩ IDH රෝහලේ දී සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වීමත් සමගය. ඇය සම්පූර්ණ සුවය ලබා සිය මව් රට වෙත නැවත ගමන් කළ ද විදෙස් රටවල සිට මෙරටට පැමිණි විදෙස් සහ ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් සමග නව කොරෝනා වෛරසය මෙරට පැතිර යාම ඇරඹිණි.

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ සිට ගම් පිටින් සමූහ නිරෝධායනය කිරීම් පවා සිදුකිරීමට රජය කටයුතු කළ ද වගකීම් විරහිත අතලොස්සක් වූ මිනිසුන් මනුෂ්‍යත්වයට ද නිඟාදෙමින් රට ව්‍යසනයක් කරා ඇද ගෙන යමින් සිටින බව නොකිවමනාය.

අප රට සාමාන්‍ය තත්ත්වයට කෙදින පරිවර්තනය වේ දැයි විමසා බැලීමට මත්තෙන් නව කොරෝනා වෛරසය තිඹිරිගෙය වූ චීනය ඒම වසංගතය මැඩලීම සඳහා

අනුගමනය කළ පිළිවෙත සැකෙවින් හෝ විමසා බැලීම අපේ රටේ ඉදිරිය පිළිබඳ ව පැහැදිලි චිත‍්‍රයක් ලබා ගැනීමට පහසු වනු ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ප‍්‍රථම වරට නව කොරෝනා ආසාදිතයෙක් හමු වන්නේ පසුගිය දෙසැම්බර් මස 31 වැනිදාය. ඉන් පසු චීන මධ්‍යම රජය වූහාන් නගරය ඇතුළු හුබේයි හි නගර වසා දැමීමට ක‍්‍රියා කරන්නේ ජනවාරි 23 වැනිදාය. ”‍ වූහාන් ලොක් ඩවුන් ”‍ ලෙස ලොව පුරා කතා වූ එම සිදුවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ එම කටයුත්ත තම සංවිධානයේ මාර්ගෝපදේශ වලින් ඔබ්බට ගිය ක‍්‍රියාවක් වුව ද එය මහජන සෞඛ්‍යය ඉතිහාසයේ පෙර නොවූ විරූ පියවරක් ලෙස ය .

වුහාන් අගුළු දමා කොරෝනා මර්ධනය ඇරඹූ චීනය මරණ 3336 වේදනාව පමණක් විඳ ගනිමින් සැනසුම් සුසුම් හෙළමින් සිටින්නේ මේ වනවිට ලොව පුරා රටවල් 209 ක් සහ ස්වයං පාලන ප‍්‍රදේශ දෙකක් මරණයේ බියකරු බව විඳ ගනිමින් සිටින වටපිටාවකය.

චීනය වුහාන්හී අගුළු සියල්ල නිළ වශයෙන් මුදා හරින්නේ දින හැත්තෑ හයකට ( 76 ) පසුවය. ඒ පසුගිය 8 වැනි දා ය. ඒ අනුව චීනයට මෙම රෝගය හමු වූ දින සිට දින සියයක පමණ කාලයක් වූහාන් නිදහස් කිරීමට ගතව තිබේ. ඒ අනුව බලන කල අප රට චීනය මෙන් කටයුතු කළ හොත් රට සාමාන්‍ය තත්වයට පත් කිරීමට සිදුවන්නේ ජුනි මාසයේ 19 වැනිදා පමණ වනු ඇතැයි අනුමාන කළ හැකිය. එසේ වීමට නම් ඔබ මා ඇතුළු රටේ සමස්ථ සමස්ත ජනතාවගේ අවංක කැපවීම ඒ සඳහා තිබිය යුතුමය.

රට යථා තත්ත්වයට කෙදිනක පත්වේද යන්න විමසා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලූ‍ත්ගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මැයි මාසයේ මුල වෛරස් ආසාදනයේ ‘‘‍පීක්”‍ එකට රට පැමිණිය හැකි බවත් අවදානම තවත් මාස දෙකක් පමණ තිබිය හැකි බවත් ය.

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් ජනතාව ඉතා හොඳින් පිළිපදිමින් වගකීමක් සහිත ව ක‍්‍රියා කිරීම සහ රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු ප‍්‍රහාරාත්මක සිදු කිරීම ඉහත සඳහන් කළ ජයග‍්‍රහණය ලබා ගැනීමට අත්‍යවශ්‍ය යැයි ද හෙතෙම තවදුරටත් කීවේය.

කොවිඞ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා වැඩි වැඩියෙන් පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තරයේ සඳහන් කරන කාරණයක් ය . ඔවුන් එය හඳුන්වා ඇත්තේ (TEST – TEST – TEST) යනුවෙන්‍ ය.

මෙම නව කොරෝනා වෛරසය ට තවමත් නිසි ප‍්‍රතිකාර සොයාගෙන නොතිබෙන වටපිටාවක් තුළ ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීම ඉතා වැදගත්ය. එහෙත් මෙරට එවැනි පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ සිදු කළ හැකි මට්ටමට වඩා අඩුවෙන් බව එම ක්ෂේත‍්‍රයෙන් ම නැගෙන චෝදනාවක් වී තිබේ . එවැනි උග‍්‍ර ප‍්‍රතිචාර දැක්වීම යනු මෙරට අනාගතය සුරක්ෂිත කිරීම බව අදාළ අදාළ බලධාරීන් ද සිහියේ තබාගත යුතු කටයුත්තක් බව මතක් කළ යුතුමය. ඒ මන්ද යත් එක් රෝගියෙකුට මුළු රටක් විනාශ කළ හැකියාවක් පවතින බැවිනි.

කොරෝනා ආසාදිතයන් සෘජුව ස්පර්ශ වූ තුන් දහසක් පමණ සමාජය තුළ සිටින බව බුද්ධි අංශ තහවුරු කරගෙන ඇතැයි පැවසේ. එහි ඇති බරැරුම් තත්ත්වය කුමක්ද යන්න ජනතාවට පැහැදිලි චිත‍්‍රයක් ලබා දීම බලධාරීන්ගේ වගකීමක් ය. ඒ, නව කොරෝනා වෛරසය හමුවේ ලොව කිසිදු තැනක් මේ වන විට සුරක්ෂිත යැයි තහවුරු කළ හැකි නො වීම නිසාය.

මෙම වසංගතය මැඩලීම සඳහා රජය ඉතා ප‍්‍රශස්ත ලෙස ක‍්‍රියාමාර්ග රැසක් අරගෙන ඇති බවත් ඇතැම් ක‍්‍රියාමාර්ග පරක්කු වී හෝ ක‍්‍රියා මාර්ග ලෙස අරගෙන ඇති බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන කාරණාවක් ය. එහෙයින් ඇමරිකාවේ, ඉතාලියේ සිදුෙමින් පවතින ව්‍යසනය මෙරට ඇති නොවුණු ඇති බවත් නමුත් රඳවා ගෙන ඇති පාලනය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම ඉතා අත්‍යවශ්‍ය බවත් ඔවුහු අවධාරණය කරන කාරනාවක්‍ වේ.

දිවයින.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!