පසුගියදා කුරුණෑගලින් අතුරුදන් වූ කාන්තාවකගේ ඉරණම් ගමනේ සුලමුලද දින 38කට පසු එනම් පසුගිය 26 වැනිදා අනාවරණය කරගැනීමට හැකි වූයේ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ගේ සූක්ෂ්ම විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.
එලෙස අතුරුදන්ව සිටි විජේකෝන් මුදියන්සේලාගේ දීපිකා විජේකෝන් නමැති කාන්තාව ඇගේ අනියම් සැමියා විසින් පොල්ගහවෙල, ගොඩවෙල සැකකරුගේ නිවෙසේදී ඝාතනය කොට තම පියාගේ අලව්වෙ නිවෙසේදී පුළුස්සා සිරුරු කොටස් යාබද මාඔයට දමා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් විණි. ඒ පසුගිය 26 වැනිදා සැකකරුවන් කළ පාපෝච්චාරණ අනුවයි.
48 හැවිරිදි දීපිකාට එවන් ඛේදවාචකයක් අත්වූ ශෝකාලාපය මෙලෙසිනි.
රූමත් කාන්තාවක් වන දීපිකා විජේකෝන් පළමු විවාහයෙන් වෙන්ව සිටි අතර ඇය කලක් විදේශ රැකියාවක නිරතවූ තැනැත්තියකි. ඝාතනය වන විට දීපිකා කුරුණෑගල මිලේනියම් සිටි හි අංක 73 දරන නිවෙසේ තනිව විසූ අතර එම නිවෙස විදේශගතව සිටින ඇයගේ වැඩිමහල් සොහොයුරියකට අයත් වූවකි. ඇය විදේශගතව සිටි හෙයින් මාස කීපයක සිට දීපිකා එම නිවෙසද බලා කියාගෙන එහි විසුවාය.
දීපිකාට සුනෙත් මුණ ගැසුණේ මීට වසර තුනකට පමණ පෙර දිනකදී කුරුණෑගල රෝහලට ගිය අවස්ථාවකදී ය. සුනෙත්ද වසර හයක පමණ කලක් කොරියාවේ රැකියාවක නිරතව පැමිණ පොල්ගහවෙල, ගොඩවෙල, ජයසුන්දර වත්තේ, අංක 63 දරන නිවෙසේ තනිව විසූ අයෙකි. 35 හැවිරිදි සුනෙත් එදින රෝහලට ගොස් තිබුණේ අසනීපව ප්‍රතිකාර ලැබූ ඔහුගේ පියාණන් බැලීමට ය.
එදින අහඹු ලෙස හමුවූ දීපිකා හා සුනෙත් අතර වූ කතාබහ පසුව දෙදෙනාට ම නොදැනී පෙම් පලහිලව්වක් දක්වා දුරදිග ගියේ කාලයාගේ ඇවෑමෙනි. එලෙස කල් ගෙවද්දී දීපිකා සහ සුනෙත් කුරුණෑගල මිලේනියම් සිටි නිවෙසේ සහ පොල්ගහවෙල සුනෙත්ගේ නිවෙසේද විටෙන් විට විසූහ.
මිලේනියම් සිටි හි විසූ දීපිකාගේ දුක-සැප සොයා බැලුවේ ඉබ්බාගමුවේ, තල්ගොඩපිටියේ සිටි ඇයගේ බාල සහෝදරයා සහ ඔහුගේ බිරිය ඉනෝකා ය. දිනකට දෙකකට වරක් දුරකථන ඇමතුමක් ගෙන දීපිකාගේ සුවදුක් විමසීමට ඔවුහු වග බලා ගත්හ. පසුගිය අගෝස්තු මාසයේ 18 වැනිදා දීපිකාගේ සුවදුක් විමසීමට ඇගේ සහෝදරයා දුරකථන ඇමැතුමක් ගත්තද එයින් ඇසුණේ ප්‍රතිචාරයක් නොමැති බව පමණි. දින දෙක තුනක්ම ඔවුහු දීපිකා ගැන දන්නා කියන සෑම තැනකම සොයා බැලුහ. එහෙත් ඇය ගැන ලැබුණු එකම තොරතුර වූයේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු පැවැසු හෝඩුවාව පමණි. ඒ, 17 වැනිදා පස්වරුවේ මිලේනියම් සිටි හි නිවෙසේ සිට ඇය බැහැරට ගිය බව ය.
දීපිකා සොයා වෙහෙස වූ ඇයගේ සහෝදරයා සහ නෑනා පසුගිය 22 වැනිදා දහවලේ කුරුණෑගල පොලිසියට ගිය අතර ඉනෝකා දීපිකාගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කළේ මෙලෙසිනි. “සර්… මගේ මහත්තයගේ අක්කා පසුගිය 18 වැනිදා ඉඳලා ආගිය අතක් නෑ. ෆෝන් නම්බර් එකට කෝල් ගත්තත් වැඩ නෑ…
අක්කා හිටිය මිලේනියම් සිටි ආරක්ෂක නිලධාරියා නම් කියන්නෙ 17 වැනිදා සවස ගෙදරින් පිටවෙලා යනවා දැක්කා කියලයි… හැබැයි එයාට දන්න තරමට කිසිම තරහකාරයෙක් එහෙම හිටියෙත් නෑ…“
දීපිකාගේ අතුරුදන් වීම පිළිබඳව කුරුණෑගල පොලිසියේ විවිධ පැමිණිලි අංශ පොතෙහි සටහන් වීමත් සමඟ කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතා විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ද දැනුවත් කළේය.
අනතුරුව උසස් පොලිස් නිලධාරීන්ගේද උපදෙස් මත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දීපිකාගේ අතුරුදන් වීමේ ‘පොටක්‘ පාදා ගැනීමේ විමර්ශන බාර කෙරුණේ කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතාට ය.
අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් සියලු දේ අධ්‍යයනයෙන් පසු දීපිකාගේ දුරකථනය පිළිබඳව පුළුල්ව විමර්ශනය කෙරුණේ ඇගේ දුරකථනයට ලැබුණු දුරකථන අංක ගැනද පුළුල් විමර්ශනයකට මුල පුරමිනි. ඇගේ දුරකථනයට ලැබුණු අවසන් දුරකථන ඇමැතුම් කිහිපයය අතර වැඩි ම ඇමතුම් ගෙන තිබූ දුරකථන අංකයක් පිළිබඳ විමර්ශන නිලධාරීන් ගේ දැඩි අවධානයක් යොමු විය. ඒ අනුව එම දුරකථන අංකයේ හිමිකරු ගේ ලිපිනය ලෙස අනාවරණය වූයේ පොල්ගහවෙල, ගොඩවෙල, ජයසුන්දරවත්තෙ, 63 දරන අංකය යි. කුරුණෑගල පොලිස් නිලධාරීන් තම පොලිස් බලප්‍රදේශයෙන් පිටත පොල්ගහවෙල පොලිස් වසමේ පදිංචි ව සිටි සුනෙත් පිළිබඳව අවේක්ෂණ රාජකාරියේද නිරත වෙමින් පුළුල්ව සොයා බැලුවේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ ය. ඒ හරිහැටි එම ප්‍රදේශයට ගොස් විමර්ශන සිදු කිරීමට කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයට වාහනයක්ද නොමැති හෙයින් නිලධාරීන් පෞද්ගලික වාහනවලින් එම ප්‍රදේශයට ගොසිනි.
එහිදී අනාවරණය වූයේ සුනෙත් ඔහුගේ නිවෙසේ තනිවම වෙසෙන බවටයි.ඒ, කුඩා කාලයේදීම සුනෙත්ගේ මවුපියන් එකිනෙකාගෙන් වෙන්වී මේ වන විට වෙනත් විවාහ කරගෙන ජීවත් වන නිසා බවද සැල විණි. කොරියාවේ රැකියාවක නිරතව සිට පැමිණීමෙන් පසු මුදල් පොලියට දෙන ‘ජොබ්‘ එක කරමින් ඔහු එම නිවෙසේ විසුවේ තනිවම ය.
දින ගණනාවක් පුරා සුනෙත් පිළිබඳව සොයා බැලූ කුරුණෑගල පොලිස් නිලධාරීන්ට ඒත්තු ගියේ දීපිකාගේ අතුරුදන් වීමට සුනෙත්ගේ යම් සබඳතාවක් ඇතිය යන්නයි. ඒ අනුව පසුගිය 26 වැනිදා සුනෙත් විසූ පොල්ගහවෙල නිවෙසට කුරුණෑගල පොලිස් නිලධාරින් ගියහ. නිවෙසේ විසූ සුනෙත් පොලිස් නිලධාරීන්ට කියන්නට වූයේ,
“සර්… මං එයා ගැන මුකුත් දන්නෙ නෑ… මට අන්තිමටම හම්බ වුණේ පසුගිය අගෝස්තු 18 වැනිදා… ඒ මගේ මේ ගෙදරදි… එදා රෑ මට යාළුවෙකුගේ ගෙදර යන්න තිබුණා. ඒ නිසා මං එදා රෑම දීපිකාට රුපියල් දාහක් දීලා කුරුණෑගල ගෙදර යන්න කීවා… එච්චරයි මං දන්නෙ…“
සුනෙත් කුරුණෑගල පොලිසිය රැගෙන ගොස් වැඩිදුර ප්‍රශ්න කෙරිණි. එහිදී සුනෙත්ගෙන් කරුණු එකින් එක හෙළි වීමට ගත වූයේ නිමේෂයකි. ඒ අනුව හෙළි වූයේ අමනුස්සයන් කීප දෙනෙකු විසින් දීපිකාගේ ජීවිතයේ අවසානය තීන්දු කළ ආකාරය පිළිබඳ හද කම්පා කරවන පාපෝච්චාරණයකි.
“සර්… මට එයාගෙන් හරිම කරදරයක් වෙලා තිබුණේ… පහුගිය 18 වැනිදා රෑ දීපිකා අපේ ගෙදර ආවා… එදා රෑ 10.30ට විතර ඇති… අපි දෙන්නා අතර රණ්ඩුවක් වුණා… ඒ වෙලාවේ මං දීපිකාට ගෙදර තිබුණ පොරවෙන් කෙටුවා…“
නිවෙසේ ලේ විලක් මැද මැරී වැටි සිටි දීපිකා ගේ නිසල සිරුරට කුමක් කරන්නේද යන්න දසඅතේ කල්පනා කළ සුනෙත් ඒ බව දන්වා තිබුණේ අසල නිවෙසක සිටින ඔහුගේ ඥාති ‘මාමා‘ කෙනෙකු වන 61 හැවිරිදි නිමල්ට ය. විවාහක පුද්ගලයකු වූ නිමල් පසුව ඒ බව දන්වා ඇත්තේ සුනෙත්ගේ පියා වන වෙනත් විවාහයක් කරගෙන අලව්වෙ, කපුවරල ප්‍රදේශයේ වෙසෙන 65 හැවිරිදි සේනාරත්නටයි.
“තාත්තා එදා රෑම කුලියට ගත් කාර් එකකින් මගේ ගෙදරට ආවා… පස්සෙ දීපිකාගේ සිරුර පෝර උරෙකින් ඔතලා කාර් එකේ දාගෙන තාත්තා අරන් ගියා…. අලව්වෙ ගෙදරට…“
අලව්වට රැගෙන ගිය දීපිකාගේ සිරුර සේනාරත්න විසින් සිය නිවෙසේ පිටුපසට රැගෙන ගොස් අසල කැළිකසළ ගොඩකට පැරැණි ටයරයක්ද එක්කොට එදින රාත්‍රියේම පුළුස්සා තිබිණි. පසුව පිළිස්සුණු සිරුරේ කොටස් සේනාරත්න විසින් ම තැන තැන වළ දමා තවත් ප්‍රමාණයක් ඔහුගේ නිවෙසට යාබදව ගලා බසින මාඔයට විසිකර තිබුණේ පොර උරයකට දමමිනි. ඒ අතරේ සුනෙත් සිය නිවෙසේ සියලු ලේ පැල්ලම්ද සෝදා පිරිසුදුකොට දීපිකාගේ අත්බෑගය, දුරකථනය සහ කුඩයද එම වත්තේම පුළුස්සා තිබේ.
සුනෙත්ගේ පාපොච්චාරණය අනුව ඔහුගේ පියා 65 හැවිරිදි සේනාරත්න සහ 61 නිමල් කුරුණෑගල පොලිසියේ අත්අඩංගුවට පත්වූ අතර දීපිකාගේ සිරුරේ කොටස් ස්ථාන කීපයකදී සොයා ගැනිණි. ඊට අමතරව මාඔයට විසිකර තිබූ සිරුරු කොටස්ද කුරුණෑගල කොට්ඨාස පොලිස් පිහිනුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත බණ්ඩාර විසින් මාඔයේ කිමිදී දැඩි පරිශ්‍රමයක් යොදා සොයා ගැනීමට සමත් විය.
කෙසේ හෝ මේ වන විට අනාවරණය වෙමින් තිබෙන්නේ දීපිකා ගේ ඝාතනය සුනෙත් විසින් ඉතා සැලැසුම් සහගතව සිදුකර ඇති බවකි. ඒ, සුනෙත් වෙනත් කාන්තාවක් හා ඇසුරක් පවත්වමින් ඇය විවාහ කරගැනීමට සූදානමින් සිටියද ඒ සඳහා දීපිකා ඔහුට මහත් බාධාවක් වී තිබේ. එම නිසා ඉතා සූක්ෂ්ම ලෙස දීපිකා තම නිවෙසට කැඳවා සුනෙත් මෙකී ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසියේද සැකය මේ වන විට යොමු වෙමින් තිබේ. ඝාතනය සඳහා සුනෙත් විසින් යොදාගත් අත්ග්ලවුස්ද පුළුස්සා තිබියදී ඒවායේ සුන්බුන්ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත සහ කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත යන අයගේ උපදෙස් මත කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක M.H.N.පුෂ්පලාල් ඇතුළු පොලිස් පරීක්ෂක මාලිංග, පොලිස් සැරයන් වරුන් වන 5910 හේරත්, 15332 කාරියප්පෙරුම, 58064 බස්නායක සහ කොස්තාපල් 26938 අශෝක යන නිලධාරීහු විමර්ශනවලට එක් වූහ.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත