ඇය සුරූපී තරුණියකි. ඇයට අපි අයේෂා යැයි කියමු. තිස් එක් වියැති අයේෂා කොළඹ කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සේවය කළ නළඟනකි. දිනය පසුගිය 22දාය.
ඇය සිය හිතවත් තරුණයෙකු සමඟ රාජගිරියේ ඔබේසේකරපුරට එන්නේ යතුරු පැදියකිනි. ඔබේසේකරපුර මංසන්දියේ යතුරු පැදිය නතර කෙරුණු පසු ඇය යතුරු පැදියෙන් බසින්නේ පොලිතින් මල්ලක්ද අතින් ගෙනය.
ඇය වට පිට බලන්නට වූවාය. ඇය බලා පොරොත්තුවෙන් සිටි තැනැත්තා ඒ වන විටත් එහි පැමිණ සිටියේ නැත. ඒ වෙනුවට ඇයව වට කරගන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකි.
ඇය අත වූ ගමන් මල්ල පොලිස් පරීක්ෂාවට ලක් විය. එහි වූයේ මත්කුඩු කිලෝග්‍රෑම් දෙකකි.
මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු තමන් ලද මූලික තොරතුරක් අනුව යමින් නියමිත ඉලක්කය නිශ්චිත ලෙසම පූර්ණ කරගෙන තිබිණි.
මේ මෙහෙයුම සැලසුම් වන්නේ පසුගිය දිනෙක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල් මනුහිතට සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් විශ්වාසදායි තොරතුරක් අනුවය.
ඉන් කියැවුණේ සුරූපී කාන්තාවක විසින් රාජගිරියේ නිවෙසක සිට තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියක නැඟි හෙරොයින් බෙදාහැරීමක් සිදු කරන බවයි.
කොස්තාපල්වරයා ඒ තොරතුර පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බන්දුල සෙනරත්ව දැනුවත් කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත වැටලීම් බාර සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක ලයනල් ඇතුළු කණ්ඩායමක් ලද තොරතුර සම්බන්ධව පරීක්ෂණ ඇරඹීය.
පසුගිය 22 වැනිදා සවස එම නිලධාරීන් එම කාන්තාව කුඩු කිලෝ දෙකක් සමඟ රාජගිරිය, ඔබේසේකරපුරට හැරෙන මංසන්ධියේදී අත්අඩංගුවට ගන්නේ තමන් ලද තොරතුරු තිතටම නිවැරදි බව තහවුරු කරමිනි.
හොරොයින් පාර්සල් දෙක සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ අයේෂාව පමණක් නොවේ.
ඇයව එහි රැගෙන පැමිණි යතුරු පැදිකරු ද පොලීසිය විසින් අල්ලා ගනු ලබයි.
විසි හතර වියැති ඔහු අලුත්කඩේ පැත්තේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි. දෙන්නා යතුරු පැදියේ යන්නේ පෙම්වතුන් ලෙසිනි. එහෙත් ඒ අය සැබෑ පෙම්වත්තු නොවෙති. එම තරුණයා යොදාගෙන තිබුණේ පෙම්වතාගේ චරිතය රඟපාන්නටය.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එම තරුණයා මේ ජාලය සම්බන්ධව වැටහීමක් නැතිව ඊට සම්බන්ධ වූවෙකු බව තහවුරු විය. එහෙත් අයේෂාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ඇරඹිණි.
තිස් එක් හැවිරිදි මේ රූමත් කාන්තාවගේ ගම මාතර ගන්දර ය. ඒ වන විට ඇය පදිංචිව සිටියේ රාජගිරිය මංසන්දියේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක සිව් වැනි මහලේ නිවසකය.
එම ගොඩනැගිල්ලේ පහළම මහලේ ඇත්තේ මෙරට ප්‍රමුඛතම ගෘහ උපකරණ අලෙවි සමාගම් ජාලයක ප්‍රදර්ශනාගාරයකි. ඇය එහි ගත කරන්නේ රුපියල් 30,000ක මාසික කුලියකටය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඇය සමඟ ඒ නිවසට යන්නේ නිවසේ තවත් මත්ද්‍රව්‍ය සඟවා තිබේදැයි සැකහැර ගන්නටය.
නිවසේ අස්සක් මුල්ලක් නෑර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වන්නට විය.
නිදන කාමරයේ තිබුණු ගමන් මල්ලකින් තවත් හොරොයින් කිලෝ 12කට කිට්ටු ප්‍රමාණයක් සොයා ගැනෙන්නේ එවිටය. ඒ වන විට මේ කාන්තාව සතුව තිබී පොලිස් අත්අඩංගුවට පත් වූ මුළු මත්කුඩු ප්‍රමාණය කිලෝ 13 යි ග්‍රෑම් 682ක් විය.
එම හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 15 ඉක්මවූයේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ඇය ලක් වන්නේ ඒත් එක්කමය. ඇය එහිදී පවසන්නේ හෙරොයින් තොගය කොස්ගොඩ තාරකගේ බවය.
වෘත්තියෙන් සමාජ ශාලා නළඟනක වන එම කාන්තාව මේ වන විට කොස්ගොඩ තාරකගේ පෙම්වතියක වී සිටියාය.
කොළඹ ආයතනයක ප්රමුඛ පෙළේ විධායක රැකියාවක් කරන බව පවසමින් ඇය කොල්ලුපිටියේ ජනප්‍රිය සමාජ ශාලාවක නළඟනක් ලෙස සේවය කරමින් සිටියාය.
ඇය එම සමාජ ශාලාව තුළ අතිශය ප්‍රසන්න චරිතයක් වී යැයි කියැවිණි. පොලිස් අත්අඩංගුවට පත් වන විටත් ඇය එම සමාජ ශාලවේ සේවය කළාය. තාරක ඇයට හමුවන්නේ මේ සමාජ ශාලාවේ දී ය.
බැංකු කඩමින් කොල්ල කමින් රට වටේ කරක් ගැසූ මේ පාතලයා කොල්ල කෑ මුදල් වියදම් කළේ සමාජ ශාලා තුළය. නැති නම් කාන්තාවන්ගේ යහන් මතය. එසේ යන එන වකවානුවේ සිය ගම් ප්‍රදේශයට ආසන්නයේ සිට කොළඹ පැමිණි මේ තරුණිය දැන හඳුනා ගන්නට තාරකට හැකි විය.
ඇති පමණ මුදල් වියදම් කරන මේ පුද්ගලයා කෙරෙහි ඇය ආශක්ත වූවාය.
ඔහු සතු පාතාල බලය ගැන දැනගත් මොහොතේ සිට තමා සමාජශාලා නළඟනක් ලෙස පෙළන සමාජ පීඩනයෙන් මිදෙන්නට ඇය තාරකව පහුරක් කර ගත්තාය.
එය ඇයට නොසෑහෙන අස්වැසිල්ලක් විය. අන්තිමේදී ඔහු අයේෂා සමඟ එකට ජීවත් වවන්නට තලවතුගොඩ පැත්තෙන් සුඛෝපභෝගී නිවසක් කුලියට ගත්තේය.
ඉකුත් වසරේ ජුනි 24 වෙනිදා මාතර නිලේකා ජුවලරිය කොල්ලකන්නට යන විටත් අයේශා සහ තාරක ජීවත් වූයේ තලවතු ගොඩය. කොස්ගොඩ තාරක ඇතුළු සගයන්ගේ නිලේකා කොල්ලයේ ඉලක්කය වැරදී ගියේය. කීප දෙනෙක් පොලීසියෙන් වෙඩි කෑවෝය.
ඒ අතරින් එක් සගයෙකු මරුමුවට පත් වන්නේ මාතර කිරල කැලේදී ය. පොලීසියෙන් බේරී ජීවිතය ද රැකගෙන තාරක මාතරින් ගාල්ලට පැනගත්ත ද නිදහසේ සිටින්නට ඔහුට ඉඩක් නොවීය.
තාරක පොලීසියට කොටු වන්නේ වෙඩි වැදුණු තුවාලවලට ප්‍රතිකාර ගැනීමට කරාපිටිය රෝහලට ඇතුළත්ව සිටියදීය. එදා ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන්නේ විශේෂ ආරක්ෂාවක් සහිතවය.
අධිකරණයට ඔහුව රැගෙන එන්නේ ද විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ ආරක්ෂාවක් සහිතවය.
කොස්ගොඩ තාරකව වැඩි ආරක්ෂාවට යැයි කියා එදා ගාල්ල බන්ධනාගාරයේ සිට රැගෙන යන්නේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයටය. එහෙත් ඔහු වැඩි කලක් අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ රැදී සිටියේ නැත. අලුතින් ඉදි වුණු එම බන්ධනාගාරයේ සිරකරුවන්ට සුපිරි පහසුකම් කොතෙකුත් තිබුණත් ඒ අයට ජංගම දුරකතන භාවිතා කරන්නට තිබුණේ අඩු ඉඩකි.
ඒ නිසාම ඔහු දන්නා සියලුම ශිල්ප යොදා පැන ගන්නේ වැලිකඩ බන්ධනාගාරයටය.
බන්ධනාගාරගතවූ පසුව අයේෂා නිතර දෙවෙලේ තාරක හමු වීමට බන්ධනාගාරයට ගියාය.
එසේම තාරකගේ විවාහක බිරියගේ කුඩා දරුවා ගැන ද ඇය සොයා බැලුවාය. වැලිකඩ පැමිණි තාරක ඇය සමඟ නිතරම වීඩියෝ කෝල් ඔස්සේ කතාබස් කර තිබූ ආකාරය දුරකතනය පරීක්ෂාවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරිහු අනාවරණය කරගත්හ.
ඔහු වැලිකඩ බන්ධනාගාරයේ සිට උපරිම නිදහසකින් යුතුව දුරකතන භාවිත කර තිබිණි.
දුරකතනය නිදහසේ භාවිත කරමින් මහා පරිමාණ මත්කුඩු ජාවරම් කරුවෙකු ලෙස තාරක කරළියට පැමිණෙන්නේ වැලිකඩදීය.
වැලිකඩ සිට ඩුබායි හි මේ වන විට රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් සමග ඔහු සම්බන්ධකම් ගොඩ නඟා ගත්තේය. කිලෝ එකින් දෙකින් වැඩ පටන්ගත් ඔහු වැඩි කල් යන්නට මත්තෙන් බෙදා හරින්නට ගන්නේ මත්කුඩු කිලෝ විස්ස තිහේ තොගය. එම මත්කුඩු ඔහු බෙදා හැරියේ සිය පෙම්වතිය හරහාය.
වැලිකඩ බන්ධනාගාරයේ සිට තාරක ජංගම දුරකතනයෙන් ලබාදෙන උපදෙස්වලට අනුව ඇය හෙරොයින් බෙහැරියේ අලුත්කඩේ ගෝලයා සමඟිනි.
ඒ ගැන වැඩිදුර තොරතුරු ඔහුගේ පෙම්වතිය වූ අයේෂා දිගින් දිගට හෙළි කළාය.
“ ගෙදර යතුර තියලා එළියට යන්න කියලා තාරක හිටපු ගමන් කතා කරලා කියනවා.
ඒ එක්ම මං පිටවෙනවා. පිරිසක් ඇවිත් කිලෝ දහය පහළොව හෙරොයින් තොග තියලා යනවා. ඒ එන්නෙ කවුද කියලා මම කවදාවත් දැකලා නෑ. ඒ මිනිස්සු ගිය ගමන් මට කියනවා බඩු ගන්න කියලා.
ඊට පස්සෙ තාරක කියන තැන්වලට කියන ප්‍රමාණවලින් බඩු ගෙනියන්නෙ මම. එයා මේ හැම දේම කරන්නෙ වැලිකඩ ඉඳන්.”
අයේෂා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඇය කොටුවන්නේ ද තාරකගෙන් ලද ඇමතුමකට අනුව හෙරොයින් කිලෝ දෙකක් ඔබේසේකර හංදියට පැමිණෙන බව කියූ පුද්ගලයෙකුට ලබාදෙන්නට ගොසිනි.
බෙදා හැරීම සඳහා හෙරොයින් කිලෝ 25ක්ම ඇය අතට පත්ව තිබුණේ සති දෙක තුනකට පෙරය.
ඒ ගාල්ලේදීය. ගමන් මල්ලක බහා තිබුණු එම හොරොයින් තොගය ඇය ගාල්ලේ සිටි රාජගිරියට රැගෙන එන්නේ කුළියට ගත් සුඛෝපභෝගී මෝටර් රථයකිනි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඇයව අත්අඩංගුවට ගන්නා විටත් ඇය විසින් එම හෙරොයින්වලින් කිලෝ 12කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැර තිබුණේය.
එම හෙරොයින් වලින් වැඩි කොටසක් බෙදා හැර තිබුණේ කිරිපිටි පැකට් තුළ දමාය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විමර්ශන තොරතුරුවලට අනුව තාරක බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට අත තබා ඇත්තේ සිරාම් බාසික් සමග එක්වය. සිරාම් බාසික් දැන් සිටින්නේ ඩුබායි වලය.
දෙහිවල පැත්තේ පදිංචිකරුවෙක් වන සිරාම් බාසික් මත්කුඩු ජාවාරමට අතපොත් තබන්නේ වෙලේ සුදාගෙනි. මෙම වසරේ මුල සහ පසුගිය වසරේ අග දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ සහ ඒ අවටින් අල්ලාගත් කිලෝ සිය ගණින් වූ මත්කුඩු තොගත් සමග කියැවුණු නමක් වූයේ සිරාම් බාසික්ය.
කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක රථ ගාලකින් සොයා ගත් හෙරොයින් කිලෝ 294ට ද සිරාම් බාසික්ගේ නම ගෑවී තිබුණේය. මෙරට ඉතිහාසයේ එක තැනක දී අල්ලාගත් විශාලතම හෙරොයින් තොගය ලෙස වාර්තා පොත් අතර තවමත් ලියැවී ඇත්තේ ද එම හොරොයින් තොගයයි.
තතු දත් තොරතුරු හෙළිකරන ආකාරයට අනුව සිරාම් බාසික්ගේ දැන් ලොක්කා වන්නේ ඇන්තනී මොරිල් නොහොත් කිරුලපොන මොරිල්ය. අන්නාසි මොරිල් යැයි කියන්නේ ද ඔහුටය.
මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දෙන්නේ ද ඔහුය. ඒ ඩුබායි පොලීසිය සමග ඔහුට ඇති සම්බන්ධකම් යොදා ගනිමිනි. මත්කුඩු ජාවාරමේ මධුෂ්ගේ කොටස දැන් හිමිකරගෙන සිටින්නේ මොරිල්ය.
මෑතකදී නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී අල්ලාගන්නා හෙරොයින් කිලෝ 200 ද මොරිල්ගේ බඩුය.
කොස්ගොඩ තාරකගේ ප්‍රධානම හතුරා කොස්ගොඩ සුජීය. කලක් මිතුරන් වූ මේ දෙපළ දැන් එකිනෙකා මරා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින්නේය.
නිලේකා කොල්ලයේදී කොටු වූ තාරක බන්ධනගාරය වෙත රැගෙන යෑමේදීත්, බන්ධනාගාරය තුළදීත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට යෑමේදීත් අතිශය දැඩි ආරක්ෂාවක් ලබා දෙන්නේ කොස්ගොඩ සුජීගේ කල්ලියෙන් සිදුවිය හැකි මාරක ප්‍රහාරය වලක්වා ගැනීම සඳහාය. එහෙත් නිලේකා කොල්ලයෙන් බන්ධනාගාර ගතවූ පසු කොස්ගොඩ තාරකගේ පෙම්වත් නලඟන කොස්ගොඩ සුජී සමගත් සම්බන්ධයක් ගොඩ නගාගෙන සිටි ආකාරය පොලිස් ප්‍රශ්න කිරීම්වල දී හෙළි විය.
එම හෙළිදරව්ව සිදුවන්නේ මේ කාන්තාවගේ දුරකතනය පරීක්ෂාවේ දී ය.
එහි දී ඇයට ඩුබායි රටේ සිට නිරන්තර දුරකථන ඇමතුම් ලැබෙන අංකයක් පිළිබඳ පොලිස් අවධානය යොමු විය. ඒ ගැන ඇයගෙන් දිගින් දිගටම විමසීමේ දී තාරකගේ ජන්මාන්තර වෛරක්කාරයා වන දැනට ඩුබායි රටට පැනගොස් සිටින මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම අන්තර්ජාතික පොලිසියට ද අත්‍යවශ්‍යම අපරාධකාරයෙක් වන ජගමුණි සුජීවද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී සමඟ ඇයට තිබූ සම්බන්ධය හෙළි විය.
එම සබඳතාව ගැන තොරතුරු හෙළි වීමෙන් විමර්ශන නිලධාරිහු ද තුෂ්ණිම්භූත වූහ.
පසුගියදා සුජී විසින් තාරකව රැගෙන යන බන්ධනාගාර බස්රථයට පහර දී ඝාතනය කිරීම සඳහා නවීන පන්නයේ අවිආයුධ තොගයක් ද ඉන්දියාවේ සිට බෝට්ටුවක දමා මෙරටට එවා තිබූ බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබිණි.
එසේම සුජීගේ ප්‍රබලම ආධාරකරුවාවන පසුගිය කාලයේ ඩුබායි රටට පැන ගොස් සිටි ඌරගහ මයිකල්ද මෑතක දී මෙරටට පැමිණ ඇති බවට ද අනාවරණය වූයේය. ඔහු පැමිණ ඇත්තේද තාරක ඝාතනය කිරීමේ සැලැසුම ක්‍රියාත්මක කිරීමට බවට ද සැල විය.
එසේ තාරක සහ සුජී අතර ද්වන්ධ සටනක් පවතිද්දී තාරකගේ අනියම් බිරිය වන රසාංගි සමඟ සුජී ද ප්‍රේම සබඳතාවක් හා සමාන සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබුණේ ඇයට අවශ්‍ය මුදල් අතදිගහැර වියදම් කරමිනි. සුජී විසින් රසාංගිගේ දුරකථන අංකය සොයාගෙන එම සබඳතාව ඇතිකරගෙන තිබුණේය.
තාරක අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇතිවූ එම සබඳතාව ගැන තාරක කිසිවක්ම නොදන්නා බව ඇය මත්ද්‍රව්‍ය නාශක නිලධාරින්ට හෙළිකර තිබුණාය.
කලකට පෙර අයේෂා බොරැල්ල ප්‍රදේශයේ සමාජ ශාලාවක් පවත්වාගෙන ගියාය.
එහෙත් දිගින් දිගටම පාඩු ලැබීම නිසා එම සමාජ ශාලාව වසා දැමිණි. අයේෂාට මෙම සමාජ ශාලාව පවත්වාගෙන යෑමට මුදල් දී ඇත්තේ ද සුජි බවත් ඇය හරහා තාරකව විනාශ කිරීමට ද සුජී සැලැසුම් කර ඇති බවත් ඇය හෙළි කළාය. “පසුගිය කාලේ සුජී මාත් එක්ක නිතරම කතා කරනවා…
හැබැයි ඒ කිසිම දෙයක් තාරක දැනගෙන හිටියෙ නැහැ. මගෙන් ඇහැව්වා තාරකට මොනවහරි කරන්න පුළුවන්ද කියලා… ඒත් මං ඒ කිසි දේකට උත්තරයක් දුන්නෙ නැහැ…”
එහෙත් සුජී විසින් තාරකට හොර රහසේම ඇය සමඟ සබඳතාවක් පවත්වාගෙන ඇත්තේ තාරකව විනාශ කිරීමට බව මේ වන විට හොඳටම පැහැදිලිව තිබේ. යම් හෙයකින් අයේෂා අත්අඩංගුවට පත්නොවූවානම් අනිවාර්යයෙන්ම ඇයගේ සහ සුජීගේ කුමන්ත්‍රණය හරහා තාරකගේ ජීවිතයට කෙළවර වන්නට ඉඩ තිබිණි.
සුජීගේ සැලැසුම වී ඇත්තේ නිතරම තාරක බැලීමට බන්ධනාගාරයට යන රසාංගි රැගෙන යන කෑමකට වසවිසක් හෝ දමා තාරක ඝාතනය කිරීමය.
මේ පාතලයේ හැටිය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් කළ මෙහෙයුමෙන් හෙළිවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙන්ම පාතාල ලෝකයේ ගැටුමක තවත් පැතිකඩක්ය. මේ ගැටුම්වල කාමය, රාගය මුදල් හා බලය මිස මනුෂ්‍යත්වයේ කිසිම හැඟීමක් ගැබ් වී නැත. අනෙක් පැත්තෙන් රටේ නීතියේ හැටිත් මේ මෙහෙයුම හෙළි කරන්නේය. අඟුණකොළපැලැස්සේ දී නැති දුරකථන පහසුකම් පාතාලයන්ට වැලිකඩ දී ලැබෙන්නේත්, ඒ දුරකථන ඔස්සේ කෝටි ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන්නට අපරාධ කාරයන්ට හැකි වන්නේත් රටේ නීතිය හා ජාතියේ හදගැස්ම පිළිබඳ අල්ප මාත්‍ර තැකීමක් නැති මුදලට, සුරාවට හා ස්ත්රීන්ට ලොල් පව්කාරයන් නිසාය.
සමස්ථය වෙනස් විය යුතු බව මේ රටේ සිවිල් මිනිසුන් කල්පනා කරන්නේ මේ පීඩාව නිරන්තර අත්දකින බැවිනි.
