පුත්තලම කුරුණෑගල මාර්ගයේ කැලෑවකින් සොයාගෙන මේ වන විට පුත්තලම මූලික රෝහලේ නොමේරූ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින සිඟිත්තියගේ අයිතිය ලබා ගැනීමට 800කට වැඩි පිරිසක් පුත්තලම මූලික රෝහලින් විමසා ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වනවා. අලුත උපන් බිළිඳියක් සහල් බෑගයක දමා පුත්තලම කුරුණෑගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂිතයේ දමාගොස් සිටියදි, මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ශරීර අවශ්‍යතාවයක් සඳහා යතුරුපැදිය නවතා කැලෑව තුළට ගමන් කරද්දි හමුවී තිබුණා.
පසුව ඔහු විසින් මෙම සිද්ධිය පුත්තලම පොලීසියට දන්වා ඇති අතර, පොලිසිය පැමිණ සුවසැරිය ගිලන් රියකින් දැරිය රෝහල්ගත කර තිබුණා. සිද්ධියෙන් පසු සිඟිත්තිය ගැන මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ රටපුරා දරුවන් අහිමි පිරිස් මෙම සිඟිත්තිය පිළිබඳ පුත්තලම මූලික රෝහලින් විමසා තිබෙනවා.
එම පිරිස 800කට ආසන්න බවයි ඔවුන් සඳහන් කළේ. කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී පුත්තලම මූලික රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මෙසේ සඳහන් කළා. “මේ සිඟිත්තිය මේ වනවිට ඉතාමත් නීරෝගියි. රෝහලේ නොමේරූ ඒකකයේ වෛද්‍ය කණ්ඩායමේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා තිබෙනවා. සිඟිත්තිය පිළිබඳව පොලිසිය මඟින් පරිවාස නිළධාරින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධ නඩුව ලබන 19 වැනිදා පුත්තලම අධිකරණයේදී විමසීමට නියමිත බවයි මට දැනුම් දීලා තිබෙන්නේ..”
