Gossip

”කාලයක් මම මුදල් නැතිව දුක් වින්දා… රුපියල් හයදාහකින් අවුරුදු දෙකක් ජීවත් වෙනකොට කවුරුත් ඇවිත් උඹ කෑවද, බිව්වද කියලා මගෙන් ඇහුවේ නැහැ”

නිලාන් හෙට්ටිආරච්චි ගායනා කරන ‘යන්න යනවද’ ගීතය අන්තර්ජාලයේ ලක්ෂ පනහකට වඩා පිරිසක් නරඹා තිබෙනවා. මේ නිසාම බොහෝ යුවතියන්ගේ ආදරණීය සිහින කුමරා වන්නට නිලාන්ට හැකිවෙලා. 

සින්දු කියන්න අරගෙන කොච්චර කල්ද?

මම දන්න කාලේ ඉඳන්ම සින්දු කියනවා. මගේ උපන් ගම වත්තල. නායකකන්ද පිරිමි විද්‍යාලයේ මූලික අධ්‍යාපනයත්, කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලැබුවා. පාසලේ ගෙවුණ හැම දවසකම හීන දැක්කේ ගායකයෙක් වෙන්න.

ඒ වෙනුවෙන් මොනවද කළේ?

දැන් කල්පනා කරනකොට හිතෙනවා මොනවද නොකළේ කියලා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම බෑන්ඩ් හදාගෙන සෙල්ලම් කළා. කරපු හැම රස්සාවක්ම නැති වුණේ ගායනය නිසා. ප්‍රසංගවලට යනවා ජොබ් එකට නිවාඩු දානවා. සංගීතය නිසා රැකියාවක්වත් කරගන්න බැරි වුණා.

කව්ද ඔබට උදව් කළේ?

මගේ දයාබර බිරිඳ තමා මගේ ළඟින් උන්නේ. රුවනි ප්‍රනාන්දු. උසස් පෙළ ඉගෙන ගන්නකොට මගේ ප්‍රේමවන්තිය. මම ඉස්සරහට තියපු හැම පියවරක් පාසාම ඇය මා ළඟ උන්නා.

මතක් කරන්නකෝ ඒ අතීතය?

මම අවුරුදු පහක් රැකියාව කළේ පෞද්ගලික ආයතනයකනේ. මට තාමත් මතකයි එතකොට මගේ වැටුප රු. දහඅටදාහයි. පළවෙනි මියුසික් වීඩියෝ එක කරන්න රුපියල් ලක්ෂ දෙකක ණයක් ගත්තා. මාසික වාරිකය රුපියල් එකොළොස් දාහයි. අවුරුදු දෙකක් රුපියල් හත්දාහකින් ජීවත් වුණා. පුදුම දුකක් වින්දා.

ප්‍රතිඵලයක් ලැබුණද?

2015 වර්ෂයේ සුපර් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙන්න තීරණය කළා. කොහොම හරි එම තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තා. සුපර් ස්ටාර් තරගයේ කියපු මගේම ගීතයක් වන මියැදෙන්නට මා ගීතය නිසා තරගය නිමා වෙනකොටම ලොකු ජනප්‍රියත්වයක් හිමිවෙලා තිබුණේ.

ඔබ බොහෝ දෙනා අතරට පැමිණි ගීතය මතකද?

‘ලෝකයෙන් යමු’ ගීතයත් සමග තමයි ප්‍රේක්ෂකයෝ අතරට මාව තල්ලු වෙන්නේ. සුපර් ස්ටාර්වලින් පස්සේ යම් ජනප්‍රියත්වයක් ලැබුණා. සංගීත කණ්ඩායම් කීපයක වැඩ කළා. අවසානයේ ‘ලෝකයෙන් යමු’ ගීතය මිලියන දහයක් විතර නරඹලා තිබුණා.
දැනට මාස හතරකට විතර කලින් දාපු ‘යන්න යනවා නම්’ ගීතයටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. දැනට ඒ ගීතයත් මිලියන පහළොවකට වඩා ප්‍රමාණයක් අහලා තියෙනවා.

අන්තර්ජාලය හරහා ඔබ ඉතා ඉහළ මුදලක් උපයනවා?

අන්තර්ජාලය හරහා ගීතවලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ දැන් ගීත රසිකයන් අතරට ගෙනියන්න යූ ටියුබ් එක ලොකු උදව්වක් වෙනවා. විශේෂයෙන් කොරෝනා කාලයේ බොහෝ දෙනෙක් යූ ටියුබ් හරහා ගීත නැරඹුවා. ඒක නිසා සාධාරණ මුදලක් අපිට අන්තර්ජාලය හරහා ලැබෙනවා. එහි වටිනාකම මේ දිනවල ඉතා හොඳින් දැනෙනවා.

ඔබ ගායනා කරන ගීතවලට බාල සින්දු කියලා සමහරු කියනවා

මම අවසාන අවුරුද්දේ ගායනා කරපු ගීත මිලියන ගාණක් බලලා තියෙනවා. මේ ගීත බාලයි කියනවා නම් ඇයි මෙච්චර ප්‍රමාණයක් නරඹන්නේ? ලංකාවේ ඉන්න මිලියන ගාණක රසිකයෝ බාල නිර්මාණ බලන අය නෙමේනේ.

මුදල් වෙනුවෙන්ද ඔබ ගීත කියන්නේ?

හැමෝම මුදල් වෙනුවෙන් නේද වැඩ කරන්නේ? කවුරුත් නිකන් සින්දු කියන්නේ නැහැනේ. මමත් එහෙමයි. රුපියල් හයදාහකින් අවුරුදු දෙකක් ජීවත් වෙනකොට කවුරුත් ඇවිත් උඹ කෑවද, බිව්වද කියලා මගෙන් ඇහුවේ නැහැ. අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක් මගේ ළඟ උන්නේ. මම මුදලක් උපයා ගැනීම වැරැද්දක්ද?

හොඳ නිර්මාණ කරන්න අදහසක් නැද්ද?

මිලියන ගාණක් බලන්නේ නිර්මාණය හොඳ නිසානේ. මම මෙහෙම කියන්නම්කෝ. මමත් කැමැතියි හොඳ ප්‍රබුද්ධ ගීත කියන්න. නමුත් ඒකෙන් මට මුදලක් ලැබෙයිද කියන එක සැකයි. මේ වෙලාවේ මගේ ගීතවලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. කාලයක් මම මුදල් නැතිව දුක් වින්දා. දැන් මට මුදලක් උපයන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වෙලාවේ මම යම් මුදලක් සොයා ගත යුතුයි. මම ස්ථාවර වුණාම තෘප්තිය වෙනුවෙන් හොඳ නිර්මාණයක් කරනවා. හැබැයි ඒක අනාගතයේ වෙන දෙයක්. මුලින්ම අපි අපේ පැවැත්ම සාදා ගත යුතුයි. අපි ශක්තිමත් වුණොත් තමා කෙලින් හිටගෙන යමක් කරන්න පුළුවන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!