අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට පාසලක් නොලැබීම සම්බන්ධයෙන් කණස්සල්ලට පත් 17 හැවිරිදි පාසල් සිසුවියක් නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
ගම්පහ, උඩුගම්පොළ, නයිවල පාරේ පදිංචිව සිටි ඕෂධි කවිස්කා ගුණසිංහ නමැති සිසුවිය මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මියගිය එම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පී. පී. ආර්. පී. රාජපක්ෂ මහතා ඉදිරියේදී 18 දා හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි. ගම්පහ පොලිසියේ සැරයන් එම්. ටී. ද සිල්වා (51709) මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත මියගිය සිසුවියගේ මව මුදිතා ජයමිණි මාපිටිය මහත්මිය පවසා සිටියේ දුවගේ යාළුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා පාසල්වලින් ලිපි ලැබී තිබුණත් දියණියට පාසලකින් ලිපියක් නොලැබීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් සිටි බවත්ය. වැඩිමහල් දියණිය ඉගෙන ගන්නා මීගමුව පාසලට ගොස් මියගිය දියණියව එම පාසලට ඇතුළත් කර ගැනීම සඳහා පාසලේ විදුහල්පතිනිය සමග සාකච්ඡුා කිරීමෙන් පසු දියණියව එම විදුහලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිනිය කැමැත්ත පළ කළායින් පසුව ඒ බව දුවට දැන්වීම සඳහා නිවසට ඇමතුම් ලබා ගත්තත් ඇය කතා නොකළ නිසා නිවසට පැමිණ බලන විට දියණිය ගෙල වැලලාගෙන සිටින අයුරු දුටු බව මව සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවසීය.
ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව එම මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදු වූ මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දු කළේය.
