ස්ලොවැකියාවේ ඉපදී පසු කලක ඇමරිකා එක්සත් ජනාධිපතිවරයාගේ ආර්යාව බවට පත්වන්නට වරම් ලැබූ ඇය, මෙලනියා කනාවුස්. දැන් මේ සුරූපී කාන්තාව මුළු ලොවම හඳුනන්නේ මෙලනියා ට්‍රම්ප් හැටියට. ඇමරිකානු විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යවල උකුසු ඇස්වලට හසුවී සිටි ඇය මෝස්තර නිරූපිකාවක්. ඇතැම් අවස්ථාවලදී ඇගේ සිරුරේ සරාගී බව උලුප්පා පෙන්වීම නිසා ඇය ආන්දෝලනාත්මක තරුවක් බවටත් පත්වුණා.
නමුත්, ලොව බලගතුම පුද්ගලයාගේ ආර්යාව වූ පසුව මෙලනියා මාධ්‍යවල ඇස ගැටෙන්නේ වෙනස් ආකාරයකින්. ඒ, ඇගේ සැමියා ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස සහභාගිවන නිල ගමන් බිමන් වලදී. පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටිද්දී බොහොමයක් මාධ්‍ය මෙලනියාටත් විශේෂ තැනක් ලබා දී තිබුණා.
ට්‍රම්ප් සහ මෙලනියා ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ඇරියුමෙන් ජනපති නිල මැදුර වන රාෂ්ට්‍රපතිභවන් වෙත පැමිණ සිටියා. එහිදී මෙලනියා ඇඳ සිටි ඇඳුම කාගේත් සිත් ඇදගන්න සමත්වුණා. ලොව කීර්තිමත් ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන කැරොලිනා හෙරේරා විසින් සකසන ලද ගවුමක් සහ දිගු කලිසමකින් සැරසී සිටි මෙලනියා ගේ රුව වෙත කැමරා ඇස නිතැතින් ම යොමුවුණා.
“මේ තමයි මම ඉන්දියාවට පැමිණි මුල්ම අවස්ථාව. මට මේ සංචාරයේදි දැනුණ සතුට කොච්චරද කියල වචනයෙන් කියන්න බැහැ.” මෙලනියා ට්විටර් සටහනක් තබමින් එලෙස පැවසුවා.
ලෝක බලවතාගේ බිරිය වී මුළු ලෝකයේ ම ඇස් තමන් වෙත යොමු කරවාගන්නට වාසනා ගුණය ලද මෙලනියා 1970 අප්‍රේල් 26 දා උපත ලැබුවා. ඇගේ පියා (වික්ටර් කනාවුස්) රජයට අයත් වූ යතුරු පැදි සහ මෝටර් රථ නිෂ්පාදනාගාරයක සේවය කළ අයෙක්. මව (අමලිජා) ළමා ඇඳුම් නිර්මාණය කළ ආයතනයක මෝස්තර නිර්මාණකාරියක ලෙස සේවය කළා. මෙලනියාට වැඩිමල් සොහොයුරියක් සිටිනවා. ඇය චිත්‍ර ශිල්පිනියක්. තවත් වැඩිමල් සොහොයුරකු සිටියත් මේ වනතුරු මෙලනියාට ඔහු මුණගැසී නැහැ. ඔහු තම පියාගේ කලින් විවාහයේ දරුවෙක්. උසස් අධ්‍යාපනය ලැබූ කාලයේදී ඡායාරූපකරණය සහ ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරූ මෙලනියා විශ්වවිද්‍යාල වරම් ලැබුවත් ඇයට එහි ගත කිරීමට ලැබුණේ වසරක කාලයක් පමණයි.
වයස අවුරුදු 5 සිටම මෝස්තර නිරූපණයට යොමු වූ මෙලනියා අවුරුදු 18 පිරෙද්දීම ඉතාලියේ මිලාන් නුවර නිරූපණ ඒජන්සියක කොන්ත්‍රාත්තුවකට එක් වී නිරූපණ ශිල්පය වෘත්තියක් බවට පත් කරගත්තා. 1995 වසරේ යුරෝපා රටව සංචාරය කරද්දී මෝස්තර නිරූපණ ආයතනයක හිමිකරුවකු වූ පාවුලෝ සම්පොලි හමුවීම ඇගේ ජීවිතය වෙනස් මගකට යොමු කරන්නට සමත් වුණා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙක්.
1996 ජනවාරියේදී නිකුත් වූ ‘මැක්ස්’ සඟරාවේ මෙලනියාගේ සරාගී අඩ නිරුවත රැගත් ඡායාරූප පළ වුණේ ඇයට එවැනිම ඡායාරූපවලට පෙනී සිටීමේ දොරටු විවර කර දෙමින්. 2000 ජනවාරි මස නිකුත් වූ ‘GQ’ සඟරාවේ පළ වූ මෙලනියාගේ ඡායාරූපය මුළු ලොවම සලිත කරන්නට සමත් වුණා. ඒ ඡායාරූපයේ ඇය පෙනී සිටියේ දියමන්ති ආභරණයක් පමණක් පැලඳ ගෙනයි. 2010 දී ස්වර්ණාභරණ සහ රුව වඩන ආලේපන නිෂ්පාදනයට යොමු වූ ඇය ධනවත් ව්‍යාපාරිකාවක් වුණා. 1996 දී තාවකාලික වීසා බලපත්‍රයක් ලබා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි මෙලනියා, නොයෙකුත් බාධක ජය ගනිමින් 2006 දී එරට පුරවැසිකම ලබාගත්තා.
ඇයට ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසුණේ 1998 සැප්තැම්බර් මාසයේදී පැවති එක්තරා සාදයකදීයි. ඒ වන විට මාර්ලා මේපල්ස් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ වී සිටියත් ඔහු කල්යල් බලමින් සිටියේ ඇගෙන් වෙන් වීමටයි. 1999 දී ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය අවසන් වුණා. 2005 දී මෙලනියා, ට්‍රම්ප් සමඟ යුග දිවි ගමන් ඇරඹුවා.
