ඉරේෂා ලක්මාලි කියන්නේ ගාල්ලේ උඩුගම පදිංචි දුප්පත් පවුලක සරළ සාමාන්‍ය යුවතියක්. දිගු වරලසක් හිමි ඉරේෂාට තිබුණේ සරාගී ලස්සනක්. ගමක යුවතියක් වුවත් ගැමි පෙනුමක් ඇයට තිබුනේ නැහැ. ඇයව මුල්වරට දකින කෙනෙකු සිතන්නේ ඇය කොලඹ කෙල්ලෙක් කියලයි. විශ්ව විද්‍යාලයක තෙවන වසරේ අධ්‍යාපනය ලබන ඇය තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දැරියයි. ත්‍රිරෝද රථ රියෙදුරෙක් වූ පියාට ලැබෙන සොච්චම් මුදලෙනුත් ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරන මවගේ වැටුපෙනුත් ජිවත් වෙන ඔවුන් කාලය ගත කළේ හරිම සතුටින්. පවුලක තිබෙන තේරුම් ගැනීම, සතුට, විනෝදය වගේම සරලකම ඒ පවුල තුල තිබුණු නිසා ඉරේෂාට අධ්‍යාපනය හොදින් කරගෙන යන්න බාධාවක් තිබුනේ නැහැ. නමුත් බාහිරින් ඇය විදෙව්වා. ඒ පෙම්වතා නිසා.
“එයයි මමයි යාළු වෙන්නේ ඉස්කෝලේ යන කාලේ.. අපි දෙන්නම එකම වයස, එකම ඉස්කෝලේ, එකම පංතියේ, නමුත් හිටියේ ගම් දෙකක..මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එයාට කැම්පස් යන්න ලකුණු මදි වුනා. ඒ නිසා එයා පුද්ගලික ආයතනයක රැකියාවක් කළා. මම විශ්ව විද්‍යාලයට ගියේ එයාගේ අකමැත්තෙන්..මට එයාවත් ඕන, කැම්පස් එකට යන්නත් ඕන..බැරිම තැන මම එයා එක්ක මේ ගැන කතා කළා..එයා අකමැත්තෙන් වුනත් මට කැම්පස් යන්න දෙනවා කිව්වා..අපි දෙන්නා අතර කිසිම රහසක් නැහැ වෙන හැමදෙයක් ගැනම අපි කතාබහ කරනවා.. කැම්පස් එකේ රැග් වෙන ඒවාත් කතා කළා..මම හොස්ටල් හිටියේ..කැම්පස් එකේදී අපිව කුඩා කණ්ඩායම් කරනවා ක්‍රියාකාරකම් කරන්න..මගේ කණ්ඩායමේ ගැහැණු ළමයි දෙන්නෙක් හා තව පිරිමි ළමයි හයක් හිටියා..හැම දේම කරන්නේ මේ කණ්ඩායම එක්ක..කැම්පස් එකේ පිරිමි ළමයි ගැහැණු ළමයි එක්ක ඉන්නේ හරිම එකමුතුව, බං බොලන් මචං කියලා කතා කරන්නේ, කරට අතදාගෙන ඉන්නවා..අත්වලින් අල්ලනවා..තට්ටු දානවා අපිට පිරිමි ළමයි..අනිත් ගැහැණු ළමයින් කොහොම වුණත් මට නම් ඒක ඇල්ලුවේ නැහැ..ඒක කැම්පස් සංස්කෘතිය වෙන්න ඇති, ඒත් මට මොකක්දෝ වගේ . කොල්ලෝ එහෙන් මෙහෙන් අල්ලන ඒවා මම මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට කිව්වා..එයාට තරහ ගියා නමුත් කැම්පස් යන එක නතර කරන්න කිව්වේ නැහැ.. කැම්පස් එකේදී එයාලට ඕන විදිහට හිටියේ නැත්තම් අපිව කොන් කරනවා..උදව් කරන්නේ නැහැ , කැපිලි කෙටිලි වැඩියි..”
“විශ්ව විද්‍යාලයේ කොල්ලන්ගෙන් වෙන ඇතැම් දේ ඇය පෙම්වතාට කියද්දී ඔහු ඇයට උපදෙස් දුන්නේ කෙසේ හෝ ඔවුන් ප්‍රතික්ෂේප කර සිටින ලෙසයි. නමුත් ඇතැම් අවස්ථාවන්වල ඇයව බලන්න විශ්ව විද්‍යාලයට ඔහු එන විට ඇය පිරිමි ළමයින් වටකරගෙන ඉන්න අයුරු දකිනවා. එම අවස්ථාවල දෙදෙනා අතර බරපතල ලෙස රණ්ඩුවීම් සිදු වුවත් දවස අවසානයේ දෙදෙනා යළි සුහදව කතාබහ කරනවා. ඔහු නිරන්තරයෙන්ම ඇය සමග රණ්ඩු වෙන නිසා ඉරේෂා විශ්ව විද්‍යාලයේ පිරිමි ළමුන්ගෙන් වෙන අඩම්තේට්ටම් නොකියා හිටියා. නමුත් ඇතැම් විට ඔහු සමග කතා කරමින් සිටින විට ඇයට ඉබේටම ඇතැම් දේ කියවෙන්න ගත්තා. ඒ වැනි අවස්ථාවල ඇය ගැන පෙම්වතා සැකකරන්න පටන් ගත්තා. සිමා දැම්මා. එය ඉරේෂට දැනුනේ කරදරයක් ලෙසින්. ඔහු සිතුවා ඉරේෂා එම පිරිමි ළමයින් සමග කැමැත්තෙන් ආශ්‍රය කරන බව.
“දවසක් එයා මාව බලන්න කැම්පස් එක ලගට ඇවිත් හිටියා..මගෙත් එක්ක නිතරම අනවශ්‍ය විදිහට හැසිරෙන එක පිරිමි ළමයෙක් ගැන මම එයාට කලින් කියලා තිබ්බා..එයා මාව බලන්න ආව දවසක මාත් එක්ක ඒ පිරිමි ළමයා එනවා දැකලා..මට පිටි පස්සෙන් ඇවිත් තියෙන්නේ මම ඒක දැක්කේ නැහැ..නමුත් මගේ බෝයි හිතුවා මම ඒ ළමයා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා..එයාට එහෙම දෙයක් නැහැ කිව්වට විස්වාස කරන්නෙම නැහැ..කැම්පස්වල ගැහැණු පිරිමි ළමයි අනවශ්‍ය විදිහට හැසිරෙන විදිහ ගැන එයා කලින් අහලා තිබුනා.. එයා හිතුවා මමත් දැන් එහෙමයි කියලා..නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි..මම හිතුවේ මගේ බෝයි ගැන විතරයි..දවසක් එයා මාව දේවාලෙකට එක්කගෙන ගියා..ගිහින් දිව්රලා කියන්න කිව්වා කිසිම සම්බන්ධයක් නැහැ කියලා..මම දිව්රලා කිව්වා එහෙම සම්බන්ධයක් නැහැ කියලා..ඊට පස්සේ සති දෙකක් තුනක් යනකල් එයා මාව එහෙම සැක කලේ නැහැ..මාව ඇවිත් කතාබහ කරලා යනවා..දවසක් මගේ රූම් එකේ හිටපු යාළුවාට අසනීප වෙලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා..බෝයිට කියලා ගියේ..නමුත් විස්තරයක් කිව්වේ නැහැ…ගිහින් ආවට පස්සේ මෙහෙම මෙහෙම වුනා නේද කියලා ඇහුවා..එයා හරියට අපිව දැක්කා වගේ හැමදේම ඇත්ත කිව්වා..මට පුදුම හිතිලා මම ඇහුවා ඔයා කොහොමද දන්නේ කියලා..
එයා මොකුත් කිව්වේ නැහැ.. දවසක් මගේ ගමේ යාලුවා කොළඔ ආවා..ඒකත් එයා කිව්වා..ඒ වගේ සිදුවීම් කිහිපයක් හා මම වෙන අය එක්ක කතා කරපු දේවල් එයා කියන්න ගත්තා..මට හොදටම බය හිතුණා ..මාත් එක්ක රණ්ඩු කරා මම බොරු කරනවා කියලා..එයා දවසක් කිව්වා කාටවත් කියන්න එපා මම මේ කියන්න යන කතාව කියලා, එයා කිව්වේ අපි ගිය දේවාලයෙන් එයාට වරමක් ලැබුනලු ඒ වරමෙන් මම ගැන හැමදේම එයාට දැනගන්න පුළුවන් වුනා කියලා..ඒ කතාව ඇහුවම මම පුදුම වුනේ නැහැ..ඒක බොරුවක් කියලයි හිතුවේ..නමුත් මම කතා කරන දේවල් යන එන තැන් කියද්දී මට එයාව ආශ්‍රය කරන්න බය හිතුණා..ඊට පස්සේ මම එයාට කිව්වා මේ සම්බන්ධය අපි නතරකරමු කියලා..මම සම්බන්ධය නතර කරලා කතාබහ නොකර මම මගේ වැඩ කරගෙන පාඩුවේ හිටියා..එහෙම ඉන්නකොට දවසක් එයාගේ යාලුවෙක් කෝල් කරලා මට කිව්වා මගේ බෝයි වස බිලා හොස්පිටල් එකේ කියලා..මම එයාව බලන්න ගියා..මම නැති නිසා එයා බෙහෙත් වගයක් අරගෙන මැරෙන්න කියලා හිතලා..”
කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඉරේෂාගේ පෙම්වතාට ප්‍රතිකාර කරන අතර තුර ඔහුව මනෝ වෛද්‍ය අංශයට යොමු කරනු ලැබුවේ ඔහු මානසික පීඩනයෙන් සිටින නිසයි. එහිදී මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා වෙත ඔහුව යොමු කර තිබෙනවා.
“ඔය කියන තරුණයා මා වෙත යොමු කලාට පස්සේ ඔහු ගැන සොයා බැලුවා. ඔහු කියන කරුණු එක්ක..එහිදී සනාථ වුනා ඒ තරුණයාට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික මෝහය (delusion of infidelity ) කියන රෝගය තිබ්බා කියලා. ඒ නිසා තමයි හේතුවක් නැතුව විවිධ හේතු මවාගෙන සහකාරිය සැක කරලා තියෙන්නේ. දීර්ඝ කාලීනව සාක්ෂි හොයලා තියෙනවා එයාගේ පෙම්වතියගේ වරදක් හොයාගන්න පුලුවන්ද කියලා. ඒ නිසා තමයි තරහ යෑම, සැක කිරීම, ගැටුම් ඇති කරගැනීම, ඇති වෙන්නේ. මේ තත්ත්වය උග්‍ර වුනු තැන මිනි මරාගැනීම් පවා සිදු වෙනවා.
ඔහුට දේව වරමක් හිමි වුනා කියලා කිව්වාට එහෙම දෙයක් වෙලා නැහැ. මේ තරුණයා එයාගේ පෙම්වතියගේ ෆෝන් එක හැක් කරලා සොෆ්ට්වෙයාර් එකක් දාගෙන හිටපු නිසා පෙම්වතියගේ ෆෝන් එකෙන් වෙන සියලු දේ මේ තරුණයා දන්නවා. දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, ෆොටෝ හුවමාරු කරගැනීම් මේ හැම දේම මේ තරුනායටත් එනවා.. ඒ නිසා තමයි මෙයාට දේව වරමක් හිමි වුනා කියලා කිව්වේ..පෙම්වතිය හැර ගිය නිසා එයාට මානසික පීඩනය ඇතිවෙලා. විශාදය ඇවිත් තමයි සියදිවි හානි කරගන්න උත්සහ කරලා තියෙන්නේ..delusion of infidelity රෝගයට ඖෂධ ප්‍රතිකාර ඔහුට ලබා දුන්නා. විශාදයටත් ප්‍රතිකාර කළා. සහකාරිය ඔහුගෙන් වෙන් වුනා.. නමුත් ප්‍රතිකාර කිරීම සාර්ථක නිසා ඔහුට දැන් එය විදගැනීමට හැකියාවක් තිබ්බා. ස්වාධීනව ජිවත් වෙන්න ඔහුගේ මනස දැන් ශක්තිමත්..සාමාන්‍ය ජිවිතයක් ඔහු දැන් ගත කරනවා..මේ වගේ තත්වයකදී රෝගය හදුනාගෙන ප්‍රතිකාර කිරීම වැදගත්. එය මානසික රෝගයක් කියලා කෙනෙකුට නොහිටෙන්න පුළුවන්. නමුත් නිරන්තරයෙන් අවධානය යොමු කිරීම වැදගත්..”
