Gossip

“ඉතිහාසයක් වළලා දමන එක අපරාධයක්. මේ වගේ කාර් 1000 ක් විතර ලංකාවේ තියෙනවා.” – හදපු සුද්දා ළඟවත් නැති අපේ කාර් – Photos

ප්‍රශ්නය තවම විසඳී නැතත්, ඒ ගැන ඔවුන්ට අහිතක් නැත. උදාව ඇත්තේ, රට වෙනුවෙන් යමක් කළ යුතු මොහොතක් බව ඔවුහු දනිති.
කොවිඩ් වසංගතයට මුහුණ දී සිටින තම රටේ සංචාරක ව්‍යාපාරය යළි පණ නැංවීම උදෙසා Vintage Car Owner’s Club (VCOC) හෙවත්, පැරැණි කාර් හිමියන් ගේ සංගමය ලෙස උපරිම දායකත්වය ලබා දෙන්නට ඔවුන් තීරණය කළේ, ඒ නොවිසඳුණු ප්‍රශ්න සියල්ල මොහොතකට අමතක කර දමමිනි.
ඒ අනුව ඔවුන් මෙවර රැළිය අරඹමින් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා මොරටුවේ සිට ගාලු ගියේ, ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, තව නොබෝ දිනෙකින් ශ්‍රී ලංකාවට සංචාරය කළ හැකි බවත් සංචරණයට රුසි, ලෝකයාට කියන්නට ය.
සිය වසකට ආසන්න ඉතිහාසයක් ඇති, වයසින් වැඩිමහලුන් මෙන් වූ, රැල් බුරුල් හැර වසරකට වතාවක් පමණක් එළියට එන මේ පැරැණි කාර්වලට, කිලෝ මීටර සියයකට ආසන්න ගාලු ගමන, ඉතාමත් වෙහෙසකර එකකි. එහෙත්, ඔවුන් සිය රැළි සඳහා තෝරා ගන්නේ, යාපනය, අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල වැනි දුර ගමන් පමණක් වීම තුළ, පාරේ දුවන නවීන පන්නයේ අලුත් කාර් නාම්බන්ට දෙවැනි වන බවක් ද නොපෙනේ.
කෙසේ වුවද, යුගයක අභිමානය කියා පාන මේ පැරැණි කාර් සමූහය අද මුහුණ පා ඇත්තේ, දැඩි ඛේදවාචකයකට ය. එය රටක් ලෙස, ලැජ්ජාවට පත්විය යුතු කාරණාවක් බවද නොකියා බැරිය.
“ලංකා ඉතිහාසයේ එක් පැතිකඩක් කියාපාන මේ පැරැණි කාර් මෙරට මෝටර් රථ කොමසාරිස්වරයාට අනුව, කිසිදු වැදගැම්මකට නැති යකඩ ගොඩක්. ඒ නිසා, ලියාපදිංචිය නොමැති මේ ඉපැරැණි වාහනවල පොත් සහ ෆයිල් සියල්ල විනාශ කර දමන්නට, ගිය අවුරුද්දේ ඔහු ගත් තීන්දුවේ තවම වෙනසක් වී නැහැ. ඔහුට අනුව, එම ලේඛන තබන්නට එම දෙපාර්තමේන්තුවේ ඉඩකඩ නැහැ. ඔහුගේ විසඳුම ඒවා විනාශ කර දැමීම.
නමුත්, ලංකාවේ ලේඛන ආරක්ෂක ආඥා පනතට අනුව අවුරුදු 50ට වැඩි කිසිදු ලේඛනයක් විනාශය කිරීමට තහනම්. ඒ වගේම, ඒවා ආරක්ෂා කිරීමට මේ අය නීතියෙන් බැඳී හිඳිනවා. එහෙම බැලුවත්, මේක ජාතික උරුමයක්.
අමතර කොටස් මේ රටේ තියා, හදපු රටේවත් මිලදී ගන්න තැනක් නැති වටපිටාවක අපි මේවා නඩත්තු කරන්නේ, කෑලි හදා ගන්නේ, දුවන තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ, දැඩි අසීරුතා රැසක් මැද්දේ.
එහෙම ගැටලුත් තියාගෙන, මේ කාර් ටික මේ තරම් හොඳින් රැක ගත්තූ අපිට දැන් වෙලා තියෙන්නෙ, ඇතැම් නිලධාරීන්ගේ අමනෝඥ ක්‍රියා පිළිවෙත් නිසා උද්ගතව ඇති තවත් ගැටලු එක්ක සටන් කරන්න. දැන් මේ ගැටලුව, දේශපාලනය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන විසඳිය යුතු තැනට තල්ලු වෙලා. ඉඩකඩ මදි නම්, ඒ ප්‍රශ්නයට උදව් කරන්න අපේ සංගමයට පුළුවන්. මේ වගේ සුළු හේතුවකට, ඉතිහාසයක් වළලා දමන එක අපරාධයක්.
ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝක ආර්ථිකය දියුණු වුණෙත් ප්‍රවාහන පද්ධතිය දියුණු වීමෙන්. ඒ නිසා ප්‍රවාහන ඉතිහාසය කියා පාන මේ පරණ වාහන ටික, රටේ උරුමයක්. ඔවුන් විනාශ කර දමන්න හදන්නේ, ඒ ඉතිහාසය කියා පාන සාක්ෂි ගොන්නක්.
අනික, දියුණු කළොත්, රැක ගත්තොත් මේක රටට විදේශ විනිමය ගේන්න පුළුවන් අංශයක්.අපේ සංගමයේ බහුතරය වැඩිහිටි උදවිය. දැන් අපේ දෙවැනි පරම්පරාවත් මේ උරුමය රැක ගැනීමේ කාර්යයට අවතීර්ණ වී සිටිනවා. දැන් අපිට බයක් නැහැ. අ‌ෙපන් පසුව මේ උරුමය ඉදිරියට ගෙන යන පිරිසක් බිහිවෙලා ඉන්න එක ම, අපිට විශාල හයියක්.
ඇත්තටම මේ සංචාරය අවසානයේ, මහපාරේ දීත්, ගාලු කොටුවේදීත්, රිය පෙරහර දුටු අලුත් සාමාජිකයන් කිහිප දෙනෙක්ම සංගමයට බැඳෙන්න කැමැත්ත පළ කළා. පිටරටවලින් පවා අපිට දුරකථන ඇමතුම් ආවා.
තමන්ගේ ගෙදර ගරාජ් එකේ, හැමදාම හැංගිලා තියෙන මේ කාර් එළියට එන්නේ මේ වගේ රැළියකදී විතරයි. පුද්ගලිකව ගෙවල්වල තිබුණට, ඒවා පිට අයට බලන්න බැහැ. මේවා එකතු කරන අය ළඟ බොහෝ විට එක වාහනයකට වඩා තියෙනවා. එහෙම බැලුවොත් එවැනි පැරැණි කාර් දාහකට වඩා අපේ රටේ ඉතුරු වෙලා ඇති.”
පැරැණි කාර් හිමියන්ගේ සංගමයේ උප සභාපති, වෛද්‍ය කාලිංග ගිනිගේ පවසන්නේ, සුන්දරත්වය මෙන්ම ගැටලුකාරී බව සමග දැවැන්ත සටනක යෙදෙන මේ පරණ කාර් කතාවේ යථාර්ථය පිළිබඳව ය.
මුද්දරවලට, තේ මැෂිමට, දුම්රියට මතු නොව, මෙකී නොකී බොහෝ දෑ සඳහා මියුසියම් ඇති අපේ රටේ, මොන තරම් ප්‍රවාහන අමාත්‍යවරු ඇවිත් ගිය ද, යුගයක අභිමානය කියා පාන මේ ඉපැරැණි කාර් සඳහා කිසිවකුත් එවැන්නක් තැනුවේ නැත.
එහෙයින්, ගාමිණී ලොකුගේ හෝ දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍යවරුන්ට කැමැති නම්, ඉතිහාසගත වන සහ ජාතික යුතුකමක් ඉටු කළා වැනි,මේ කටයුත්තට අත ගසන්නට ඉතා හොඳ අවස්ථාවක් උදා ව තිබේ.
කෞතුකාගාරයක් කෙසේ වෙතත්, මේ පැරැණි කාර්වල උරුමය රැක ගන්නට වෙර දරන මිනිසුන්ගේ ප්‍රශ්න ටිකට විසඳුමක් ලබා දෙන්නට හැකි නම්, එයද මේ රටේ උරුමයක් රැක ගන්නට දායක වූවා වේ.
කෙසේ වුවද, පැරැණි කාර්වලට ආසාව උනන්දුව සහ ‘ඇඟේ උණක්’ ඇති මේ රටේ කුඩා මිනිසුන් සමූහයක් ළඟ පමණක් තවමත් සුරැකිව පවතින මේ ඉපැරැණි කාර්, ඇතැම් විට ඒවා එකල ගෙන් වූ එංගලන්තය හෝ ජර්මනියේ වත් අද ඉතිරිව ඇත්දැයි නොදනිමි.
‘උඹලගෙ රටේ මේ කාර්වලට මියුසියම් එකක් තියෙනවද…?’
‘ කොහෙද මේ කාර් මෙච්චර කල් තිබුණේ…?’
‘මේවට අමතර කොටස් හොයාගන්නේ කොහොමද…?’
ගාලු කොටුවේ දී මේ වාහන අතපත ගෑ සුදු ජාතිකයන් නා නා ප්‍රකාර ප්‍රශ්න ඇසුවේ, මෙපමණ ඉතිහාසයක් ඇති පරණ කාර් විස්සක් තිහක් එක පෙළට ලංකාවේ දී දුටු ප්‍රථම වතාව බව පවසමිනි.
ඔස්ටින්,බේබි ඔස්ටින්, බෝට් ටේල්, වූල්ස්ලි, වොක්ස්වෝල්, ස්ටෑන්ඩර්ඩ්, ක්‍රයිස්ට්ලර්, හස්ට්ලර්, ඩේම්ලර්,හම්බර් භෝර්ක් සහ ෆෝර්ඩ් යන එකකට එකක් හැඩයෙන් වර්ණයෙන් මෝස්තරයෙන් වෙනස් කාර් සමූහය පමණක් නොව, බ්‍රිතාන්‍ය යුද හමුදාවට අයත්, මෙරට පරණම මෝටර් සයිකලය ලෙස සැලකෙන 1927 යුගයට අයත්, BSA 250 මෝටර් බයිසිකලය සහ කොල්ලෑව හෙවත් කරත්තය සහිත BSA 21 මෝටර් බයිසිකලයත් මෙම රැළියේ අභිමානය තවත් වැඩි කළ බව කිව යුතුමය.
එමෙන්ම, සංගමයේ සභාපති නීල් ප්‍රනාන්දුගේ 1926 වසරට අයත්,නිල් පැහැ ඔස්ටින් සෙවන් වාහනයේ සිට, 1956 දක්වා අවුරුදු 30ක පරාසයක දිවෙන අති පැරැණි එහෙත් ඉතා හොඳ ධාවන තත්ත්වයෙන් යුතු, කාර් තිහක් පමණ මෙවර රැළිය හැඩ කළේය.
ඇතැම් විට කෙනකු, පින්තූරයකින් පමණක් දැක තිබූ මෙවැනි කාර් එදා මහ පාරේ සිටි බොහෝදෙනා හැබෑවටම දුටු මොහොත එය විය.
බාල මහලු කවුරුත් ඒ පරණ කාර් සමග සෙල්ෆියක් හෝ සමූහ ඡායාරූපයක් ගන්නට පෙලඹුණේ එනිසාම විය යුතුය.
“වාහන තාක්ෂණය හදාරන තරුණයන්ට පවා මේවායින් කොයිතරම් දේ ඉගෙන ගන්න පුළුවන්ද. මේ කාර් බොහොමයක ලයිට් නැහැ. ඉස්සර භූමි තෙල් සහ ගෑස් ලාම්පු තමයි දෙපැත්තෙන් ලයිට් විදියට පාවිච්චි කළේ. ඊට පස්සේ ඩයිනමෝ තාක්ෂණය ආවා. බ්‍රේක් තිබුණේ, කේබල් බ්‍රේක් හැටියට. ඊට පස්සේ, හයිඩ්‍රොලික් බ්‍රේක් දක්වා දියුණු වුණා. ගියර් බොක්ස් වුණත් එහෙමයි.
ඉලෙක්ට්‍රික් කාර්. හයිබ්‍රිඩ් කාර් පදින රටක තවම මේ වගේ සරල තාක්ෂණයෙන් දුවන කාර් ටිකක් ඉතිරිවෙලා තියෙනවා කියන්නේ, රටක් හැටියට මොනතරම් වටිනා දෙයක්ද.
ඉතින් අපි කියන්නේ, මේ පරණ වාහනවල අයිතිය තහවුරු කරගන්නට අවශ්‍ය නීතිමය පසුබිම සකසා දෙන්න, ප්‍රදර්ශනය සඳහා අවස්ථා උදා කර දෙන්න, කියලයි. මොකද, මේකෙන් යැපෙන පිරිසක් දැනටමත් බිහි වී සිටිනවා. මේ වාහනවල තත්ත්වය විශේෂයි. ඒවායේ පේන්ටින්, ටින්කරින්, අපෝස්ටරින් සහ ඉලෙක්ට්‍රික් වැඩ තරමක් වෙනස්. ඒ නිසා, මේවාට අදාළ ගරාජ් වැඩ දන්නා මිනිස්සු තව තව බිහි වෙන්න ඕනේ ”
සංගමයේ සභාපති නීල් ප්‍රනාන්දු පවසන්නේ, කිසිවකුත් නොදන්නා තවත් එක් පැතිකඩක් පිළිබඳව ය.
කෙසේ වුවද, එදා සුද්දා තේ වතුවලට ගියේත්, ඇතැම් විට රට වටා සංචාරය කළේත්, මේ වාහනවලින් බව නොදන්නා පිරිසක් ද මේ රටේ සිටිති.
අද සුද්දා ළඟවත් නැති ඒ වාහන ටික තවත් කාලයක් රැක ගැනීම යුතුකමක් වන්නේ එහෙයිනි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!