කොරෝනා වෛරසය පැතිරීම නිසා ස්වයං නීරෝධායනයට ලක්ව සිටින හා සමාජ දුරස්ථභාවය රැකීමට සිදු වන ජනතාව වෙනුවෙන් වෛරසය පැතිරීම වැළක්වීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් සඳහන් කරමින් “නීරෝධායන කේක්” (කොරන්ටයින් කේක් ) නමින් විශේෂිත කේක් වර්ගයක් නිපදවා ජනතාව අතර බෙදා හරින බේකරියක් පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයෙන් වාර්තා වේ.
“බටර් ඇන්ඩ් එස්” බේකරිය මගින් මෙසේ ඉකුත් මාර්තු මස ආරම්භ කරන ලද මෙම නීරෝධායන කේක් නිපදවා බෙදා හැරීමේ ව්‍යාපෘතිය අතිශයින් ජනප්‍රිය වී ඇති අතර එම බේකරිය විසින් නිපදවූ මෙම විශේෂිත බටර් ක්‍රීම් කේක් ගෙඩිවල මතුපිට අයිසිං යොදාගෙන “දැත් සෝදා ගන්න “, “ඔබගේ මුහුණ නොඅල්ලන්න “,”පිරිසිදු වන්න – විෂබීජනාශනය කරන්න ,”ඔබ නිහඬ පුද්ගලයෙකු බව පෙන්වන්න , වැනි උපදෙස් ඇඳ ඒවා ජනතාවගේ නිවෙස්වලටම බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි .
ඇමරිකානු ඩොලර් 50කට මිල කර ඇති මෙම බටර් ක්‍රීම් කේක් ගෙඩි හේසල්නට් හා චොක්ලට් ,”පිස්ටචියෝ ඇන්ඩ් රෝස් “හා “සෝල්ටඩ් කැරමල් හා චොක්ලට් “යන රසයන්ගෙන් නිපදවා තිබේ. මෙම නීරෝධායන කේක් නිපදවන බේකරියේ අයිතිකාරිය වන අමන්ඩා නිගුයෙන් ට අනුව මෙම විශේෂිත කේක් නිෂ්පාදනය කර බෙදා හැරීමට ඇයට අදහසක් පහළ වී ඇත්තේ කොරෝනා වෛරසයේ පැතිරීමත් සමගම උපන්දින ,මංගල උත්සව වැනි උත්සව කල් දැමීම නිසා සිය බේකරියට ලැබෙන කේක් ඇනවුම් හදිසියේ නතර වීම නිසාය.
සාමාන්‍ය කේක් ගෙඩියකට වඩා කුඩා මෙම විශේෂිත නීරෝධායන කේක් ගෙඩියක් තනා ඇත්තේ පුද්ගලයින් 2-4 අතර පිරිසකට ප්‍රමාණවත් ලෙස වන අතර මෙම අලුත් නිෂ්පාදනයට ගැනුම්කරුවන්ගෙන් හොඳ ඉල්ලුමක් පවතින බව අමන්ඩා පවසන්නීය. ඇයට අනුව ලොව පුරා පවතින බේකරිද මහජනතාවට සේවයක් සිදු කිරීමට මෙන්ම මේ වන විට වැටී තිබෙන බේකරිවලට ආදායමක්ද උපයා ගත හැකි මෙම නව කේක් වර්ගය නිපදවීම ආරම්භ කළ යුතුව ඇත.
ඒමන්ති මාරඹේ
