මෑත කාලයේ තරුණයන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච ‘කුවේණි’ බයික් එකේ හිමිකරුවා ඔහුයි. ආදරේට කියන්නේ ‘ටිං ටිං.’ සැබෑ නම තුසිත ධනුෂ්ක රණවීර.
මම මුල ඉඳන්ම මගේ කතාව කියන්නම්… මම බයික් පිස්සෙක්… පුංචි කාලේ ඉඳන්ම බයික් එකක් දැක්කාම මට පිස්සු හැදෙනවා. පුංචි කාලේ බයික් පාරේ යනකොට පිස්සුවෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. මුලින්ම මම බයික් එකක් පදින්නේ අවුරුදු එකොළහේදී. ඒක CBR එකක්. ඒ බයික් එක දැක්කාම හිතාගත්තා කවදා හරි මේ වගේ බයික් එකක් මමත් ගන්නවා කියලා. අපේ ගෙවල් ළඟ උන්න අයියා කෙනෙක්ට තිබ්බා TZR බයික් එකක්. ඒකටත් මම හරිම කැමතියි. බයික් එකේ සද්දේ ඇහෙනකොට බයික් ගැන තියෙන ආසාව තවත් වැඩිවුණා.
කොහොම හරි බයික් දිහා බලාගෙනම ඉඳලා 2007 අවුරුද්දේ තමයි මට මගේම කියලා මෝටර් බයිසිකලයක් ගන්න අවස්ථාව උදාවුණේ. එතකොට මට ලයිසන් එකවත් තිබුණේ නැහැ. මුලින්ම අරගත්තේ පල්සර් 200 බයික් එකක්. ඒක ඉන්දියන් බයික් එකක්. ඒ බයික් එක මාස දහයක් විතර පැද්දා. ඊට පස්සේ 200cc ෙහාන්ඩා හොනට් එකක් අරගත්තා.
ඒ දවස්වල මම හොනට් එක ගෙනාවේ ලක්ෂ හයකට. ජපානයෙන්ම ඕඩර් කරලා ගෙන්න ගත්තා. නිල් පාට හොනට් එක ලංකාවේ කොල්ලන්ට බයික් ගැන ට්‍රෙන්ඩ් එකක් ඇති කරන්න ලොකු හේතුවක් වුණා.
ඊට පස්සේ අධ්‍යාපන කටයුතු සඳහා මට ඔස්ට්‍රේලියාවට යන්න සිද්ධ වුණා. මම බයික් එකත් විකුණලා අවුරුදු හයක් ඔස්ට්‍රේලියාවේ ඉගෙනීම් කටයුතු කළා. ඔස්ට්‍රේලියාවේදී මට බයික් ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා. ධාරිතාව වැඩි බයික් පදින්න ලැබුණා. ඒ රටවල බයික් ෆෑන් ක්ලබ් තියෙනවා. තරුණ තරුණියෝ තමන්ගේ ජීවිතය වගේ බයික්වලට ආදරය කරන හැටි දැක්කා. බොහෝ දේවල් හිතේ තියාගෙන තමයි ආපහු අවුරුදු හයකට පස්සේ ලංකාවට ආවේ.
ලංකාවට ආපු ගමන් මම මුලින්ම කළේ බයික් එකක් මිලදී ගන්න එක. CBR 600cc හොන්ඩා රතු පාට බයික් එකක් තමයි මුලින්ම අරගත්තේ. ලක්ෂ හතක් විතර වියදම් වුණා. මම ඒකට නමක් තිබ්බා ‘රතු හැට්ටකාරී’ කියලා. ටික කාලයක් ‘රතු හැට්ටකාරි’ පදිනකොට මට තවත් බයික් එකකට කැමැත්තක් ආවා. ඊට පස්සේ මම අරගත්තේ නිල් පාට යමහා R-600cc වර්ගයේ බයික් එකක්. ඒකට මම නමක් තිබ්බා ‘නිල් දෙවඟන’ කියලා. මේ බයික් එකට පස්සේ තමයි මගේ කැමතිම බයික් එක මිලදී ගත්තේ.
ඒක යමහා R-1000cc බයික් එකක්. ඒ නිල් පාට බයික් එකට මම ‘කුවේණි’ කියන නම තිබ්බා. කුවේණි බයික් එක මිලදී ගත්තේ ලක්ෂ 15ක් වියදම් කරලා.
මගේ හැම බයික් එකකටම නමක් තියෙනවා. ඒ නමින් තමා මම කතා කරන්නේ. ලංකාවට මේක අලුත් දෙයක් වුණාට බටහිර ලෝකයට මෙය අලුත් නැහැ. ඔවුන් බයික් එක ඔවුන්ගේ සහෝදරයෙක් හැටියට සලකන්නේ.
මේ වෙනකොට බයික් පදින බොහෝ පිරිසක් අතරේ ‘කුවේණි’ හරිම ජනප්‍රියයි. බයික් එකේ ඉස්සරහා ලයිට් දෙක හරියටම යක්ෂණියගේ ඇස් දෙකක් වගේ බිහිසුණුයි. කුවේණි කියන්නෙත් යක්ෂ ගෝත්‍රයේ කෙනෙක්. මේ බයික් එකට ඒ නම හොඳට ගැළපෙනවා. කුවේණි කියන්නේ දැන් මගේ කෙල්ල… මගේ ආදරය… මගේ ජීවිතය.’’
‘‘ලංකාවේ කුවේණි බයික් එක ගැන නොදන්න කෙනෙක් නැහැ. මම කොහේ ගියත් බොහෝ දෙනෙක් කුවේණිව අඳුන ගන්නවා. සමහරු නැගලා ඡායාරූප ගන්න එනවා. සමහරු කුවේණිගේ නැගලා රවුමක් යන්න කැමතියි. හැම කෙනෙක්ගේම කැමැත්තට ඉඩ ලබාදෙන්න හැම වෙලාවෙම මම උත්සාහ කරනවා.
ලංකාවේ බයික්වලට කැමති හැම කෙනෙක්ම හඳුනන්නේ LANKAN BOY කියන යූටියුබ් චැනල් එක නිසා. ලංකාවේ බයික්වලට ආදරය කරන තරුණයන් වෙනුවෙන්මයි මම මේ යූටියුබ් චැනල් එක ආරම්භ කරන්නේ. මෝටර් බයික් දැනුම මගෙත් එක්ක බෙදාගන්න බොහෝ පිරිසක් LANKAN BOY යූටියුබ් චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්නවා.
ලංකාවේ කිසිම කෙනෙක් නොකරපු දෙයක් යූටියුබ් හරහා කරන්නයි මට ඕන. ලංකාවේ අද කොච්චර යූටියුබ් චැනල් තියෙනවද? නමුත් ඔක්කොම කරන්නේ අනුන්ගේ කුණු හොයන එක. මේ අය ඒ කුණු අවුස්සලා ලක්ෂ ගාණක් මුදල් හොයනවා. නමුත් මට ඕන හොඳ, හරවත් දෙයක් තරුණ පරපුරට දීලා වැඩදායී යමක් කරන්න. ලෝකේ යූටියුබ් චැනල්වලින් කරන්නේ ඒ කාර්යභාරය තමයි. නමුත් ලංකාවේ යූටියුබ් චැනල් එතැනදි හොඳටම අසමත්. මගේ LANKAN BOY යූටියුබ් චැනල් එකේ සබ්ක්‍රයිබ්ස්ලා 70000කට වඩා ඉන්නවා. මිලියන ගාණක් මම බයික් ගැන දාන වීඩියෝ බලනවා.
මේ තැනට මාව අරගෙන එන්නේ හරිම අහඹු සිදුවීමක්. මම කුවේණි බයික් එක ගෙනැත් ඒකේ ෆොටෝ වගයක් ෆේස්බුක් එකේ දැම්මා. සමිත් කියලා මල්ලි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා ‘අයියේ ඔය බයික් එකේ ඉඳන් ෆොටෝ එකක් ගත්තත් ඇති’ කියලා. මම ඒ මල්ලිට උත්තරයක් දැම්මා ‘මල්ලි, ෆොටෝ ගන්න නෙවේ, ඔයා කිරිබත්ගොඩට එන්න. ඇවිත් මේ බයික් එක පදින්න කියලා. ඔය කතාව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරුණා. මගේ යූටියුබ් චැනල් එකට ලක්ෂ ගාණකට ආසන්න සබ්ක්‍රයිබ්ස්ලා එකතු වුණා. මිලියන ගාණක කමෙන්ට් ආවා. බොහෝ තරුණයන් බයික් එක පදින්න කිරිබත්ගොඩට ආවා. මම ඔවුන්ට අවස්ථාව ලබාදුන්නා. තවත් දහස් ගාණක් බයික් එක බලන්න එන්න ඉන්නවා. ඒ හැමෝටම මම අවස්ථාව ලබාදෙනවා.
මේ හැම දෙයක්ම මට ලැබෙන්නේ සමිත් මල්ලි නිසා. නමුත් සමිත් මල්ලිව මට මගහැරුණා. ඔහු ආවෙත් නැහැ. ඔහුගේ දුරකථනය වැඩ කළෙත් නැහැ. ෆේස්බුක් එකෙනුත් ඔහු අයින් වෙලා උන්නා. කොහොම හරි මම සමිත් මල්ලිගේ යාළුවෙක් මාර්ගයෙන් ඔහු ඉන්න තැන හොයාගත්තා. මොකද මට ඔහුට කුවේණි බයික් එක පදින්න දෙන්න ඕන. ඔහු නිසයි මගේ යූටියුබ් චැනල් එක ජනතාව අතරට ගියේ. කුවේණි බයික් එකට අසීමිත ප්‍රතිචාර ලැබුණේ. මම කිරිබත්ගොඩ ඉඳන් බයික් එක ලොරියට පටවාගෙන කළුතර ඉන්න චමීර මල්ලිගේ ගෙදර ගියා. ඔහුට බයික් එක පදින්න අවස්ථාව ලබාදුන්නා.
සමිත් මල්ලි පුදුම වුණා. මට ඕන අන්න ඒ වගේ කොල්ලන්ගේ හීනවලට අත්තටු ලබාදෙන්න. හැම කොල්ලෙක්ටම හීන තියෙන්න ඕන. එතකොට තමා ඒවා ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. මටත් එහෙම හීන තිබ්බා. කවුරුත් මට බයික් එකක් පදින්න දුන්නේ නැහැ. නමුත් මම අද ලංකාවේ තියෙන මිල අධිකම බයික් පදිනවා. බයික් රසිකයෝ මිලියන ගාණකට දැනුම බෙදා දෙනවා. මම එදා මවපු හීන තමයි අද සැබෑවෙලා තියෙන්නේ…
‘‘අනාගතයේදී ‘කුවේණි’ බයික් එකෙනුත් ඔබට මෙතෙක් නොදුටු ත්‍රාසජනක අත්දැකීමක් දැකගන්න ලැබෙයි. මගෙත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම ඒ ආරංචිය ළඟදිම කියන්නම්. අවසාන වශයෙන් මගෙත් එක්ක ඉන්න මිලියන ගාණක බයික් පිස්සන්ට මම කියන්නේ හීන මවන්න, ලංකාවේ හොඳම බයික් එක ගන්නවා කියන හීනයේ ඉන්න. ඒ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න. අනිවාර්යයෙන්ම දවසක ඔබ ඒ හීනය සැබෑ කරගන්නවාමයි.’’
තව නොබෝ දිනකින් අලුත් කිරිල්ලියක් අරගෙන එන්න මම සියල්ල සූදානම් කරලා තියෙන්නේ. ඒක BMW S1000 RR බයික් එකක්. ඒකේ මිල ලක්ෂ 25ක් වෙනවා. මගේ අලුත්ම ආදරවන්තිය එනකම් මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ…’’
