මීට සති කිහිපයකට පමණ පෙර අම්පාර ප්‍රදේශයේ ගොවි ගම්මානයකට කඩා වැදුණු බව කියන කුරු මිනිසුන් කිහිප දෙනෙකු පිළිබඳව සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනා. ඉන් පසුව තවත් එවැනිම සිදුවීමක් මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකින්ම වාර්තා වුනා.
කුරු මිනිසුන් පිළිබඳ ආසන්නතම සිදුවීම වාර්තා වුණේ කුලියාපිටිය – එලතලව හා මූණමල්දෙණිය යන ප්‍රදේශයන්ගෙන්.
කුරු මිනිසුන් දෙදෙනකු මහවිලච්චිය පොලිස් වසමේ ස්ථාන කිහිපයකට 20 දා සවස් කාලයේ පැමිණ තිබෙන බවත්, එම කුරු මිනිසකු එල්ල කළ ප්‍රහාරයකින් විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ තරුණ කාන්තාවන් දෙදෙනකු සිරීම් තුවාල ලබා තිබෙන බවත් පවසමින් මිනිසුන් මහවිලච්චිය පොලිස් ස්ථානයට දුරකථනය මගින් දැනුම් කර තිබුණා.
පසුගිය 19දා මෙම කුරු මිනිසෙකුගේ ප්‍රහාරයට ලක් වූ සාමා චාන්දනී මහත්මිය කියා සිටියේ මෙවැන්නක්.
“මා ගේ පිටුපසට යන විට ඒ අසල ඇති සියඹලා ගස ළඟ අඩි 2 ක පමණ උස ලොම් සහිත කළු මිනිසෙකු සිටිනවා දැක්කා. කොණ්ඩය පොකුටු වූ රතු පාට දීප්තිමත් ඇස් දෙකක් තියෙන කෙනෙක්. කරේ පොඩි පොලු කැබැල්ලකුත් තිබුණා. මා “අක්කේ” කියා කෑ ගසන විට මගේ අත සූරා දමා කැලයට දිව ගියා. මාගේ කෑගැසිල්ලට ගමේ අය බොහෝ දෙනෙක් කැති පොරෝ අරන් ආවා. ඒ අය කැලේ පීරා බැලුවත් කිසිම කෙනෙකු සොයා ගන්න බැරි වුණා”
මෙම සිදුවීමට මුහුණපෑ ඇත්දත්කල්ල ගම්මානයේම පදිංචි අශෝකා රණසිංහ මහත්මිය.
“චාන්දනී අක්කා මෙවැනි සිදුවීමකට මුහුණපා තිබෙන බව ආරංචි වුණා. අපේ නිවස පිටුපස තිබෙන අඹ ගස යට වෙනදා දැක නැති කුරු බල්ලෙක් සිටියා. මම අඹ ගස දෙසට යන විට ඒ බල්ලා මගේ දෙසට බුරාගෙන ඇවිත් ඇඟට පැන සූරා දැමුවා. මගේ අත තුවාල වුණා. මම දඟලලා නිවසට දිව යන්න හදනකොට ඒ බල්ලාගේ පිටුපසින් අර සාමා අක්කා කිව්වා වගේ අඩි 2 ක් පමණ උස විකෘති මුහුණකින් යුත් පුද්ගලයකු කැලයට දිව ගියා.
මේ අතර ඔයාමඩුව හැළඹවැව යන ප්රදේශල කැලෑබද කුඹුරු හා හේන් හරහාද මෙම කුරු මිනිසුන් ගමන් කරන ආකාරය ගොවියන් පිරිසක් දැක තිබෙන බවත් එම සිද්ධීන් දුටු කීප දෙනකු සිහිසුන් වී ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුනද එවැනි කිසිදු පුද්ගලයකු හමුවී නැහැ.
මේ අතර මෙම කුරු මිනිසුන් පිළිබදව වාර්තා පළ වීමත් සමඟ පරීක්ෂණ පැවැත්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශය සදහන් කළේ, දුටු බව කියන කුරු මිනිසුන් අතීතයේ විසූ නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැතිබවයි.