ජැක්සන් ඇන්තනී නම් පරිනත විශිෂ්ට රංගවේදියා සිය ප‍්‍රථම ටෙලි රංගන සම්මානය ලබාගන්නේ 1992 වසරේදීය. බොහෝ කලකට පසු ඔහුගේ පුත් සජිත ඇන්තනී, වඩා බාල වයසකදී මේ වසරේ ”සැබෑ’’ ජනප‍්‍රිය නළුවා ලෙස සම්මානනීය වී තිබේ. ඉතින් මේ කාරණාව පිළිබඳව පුතාටත් පියාටත් කියන්නට බොහෝ කාරණා තිබෙනවා..
ඉතින් ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ?
අර කතාවක් තියෙනවනෙ ලංකාව තියෙන්නේ ලෝකයේ නොවෙයි, ලෝකය තියෙන්නේ ලංකාවෙ කියලා. ඒ වගේ මං හිතන්නේ මගේ ගෙදර තියෙන්නෙ ලංකාවෙ නොවෙයි, ලංකාව තියෙන්නේ මගේ ගෙදර කියලා. සමාජයනෙ ප‍්‍රධාන. ඒ වගේ මගේ ගෙදර ඉන්න දරුවන් මගේ දරුවන් වෙනවා වගේම ඔවුන් ඊළඟ පරම්පරාවේ කලාකරුවන්. ඉතින් ඊළඟ පරම්පරාවේ කලාකරුවන් ගැන මගේ ලොකු ආදරයක් හා ගෞරවයක් තියෙනවා. මම ප‍්‍රවීණයෙක් හැටියට කවදාවත් තරුණයාගෙ දෝෂ දකින්නෙ නැති කෙනෙක්. අපිට පසු පරම්පරාවේ කලාකරුවන්ගේ බොහෝ අඩුපාඩුකම් තියෙනවා තමයි. ඔවුන්ගේ අඩුපාඩු මම දකින්නේ සමාජීය අඩුපාඩු හැටියට. ඔවුන්ට බැනලා වැඩක් නැහැ. ඔවුන්ට සුදුසු සමාජය අපි විසින් සකස් කරදිය යුතුයි. අනෙක, සමාජය දියුණු වෙන්න නම් පෙර පරම්පරාවට වඩා පසු පරම්පරාව දියුණු විය යුතුයි. එතකොටනෙ සමාජ ප‍්‍රගමනයක් සිදුවෙන්නේ. මට වඩා මගේ දරුවන් දියුණු වියයුතුයි. මගේ දරුවන් කිව්වෙ මගේ දරුවන් පමණක් නොවෙයි, මගෙන් පසු පරම්පරාවේ සියලූ දරුවන්. මම සජිතගෙන් දකින්නේ ඒක. සජිතගේ වයසේ මම කරපු දේට වඩා සජිත පරිපූර්ණයි. ඒකට හේතුව මගේ ජීවිතේ තිබූ අඩුපාඩු මකාගෙන ගොඩනැගෙන්න මම ඔහුව පුහුණු කරලා තියෙනවා. ඔහු වාද්‍ය ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්. ඔය ප‍්‍රවීණතා මා සතුව තිබුණත් මා ඒවා ප‍්‍රගුණ කරලා නැහැනේ. මම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තේ සිංහල භාෂාව සහ සාහිත්‍යය. සජිත ඉගෙනගත්තෙ නාට්‍ය හා රංග කලාව. මගේ යුගයේ එහෙම විෂයක් තිබුණේ නැහැ. මම ඒක සලකන්නේ මගේ වාසනාවක් හැටියට ඔහු ජනප‍්‍රිය නළුවා සම්මානය ලැබීමට පෙර රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකින් දක්ෂතම නර්තන ශිල්පියා ලෙස සම්මාන ලැබුවා. මගේ වයසට එනකොට ඔහු මට වඩා ඉහළ තලයක හිඳීවි. ඒ මඟ ලකුණු දකින කොට ඊළඟ පරම්පරාවේ දියුණුව අපේක්ෂා කරන වැඩිහිටියකු ලෙසත් සජිතගේ පියා ලෙසත් මම මහා සතුටක් විඳිනවා.
ඔබ පරිනත රංගවේදියකු ලෙස සජිතගේ රංගන පරාසය දකින්නේ කෙසේද?
සජිතගේ රංගනය මම ගණනය කරන්නේ ඔහුගේ සෙල්ලං අවධියේ සිටයි. කුඩා අවධියේ සිටම ඔහු සෙල්ලමක් ලෙස වෙන අයව ඉමිටේට් කළා. ඔහු තමන් දකින සිද්ධි අලූත් විදිහට නිර්මාණාත්මක ලෙස කියන්නට දක්ෂයි. ඒ අතරට මම සජිත හා මගේ දරුවන්ට කුඩා කාලයේ සිට ජන කතා, බණ කතා, ධම්ම පදය, දේව කතා, බයිබල් කතා ආදිය කියලා දෙන පුරුද්දක් තිබුණා. සජිත ඒවායින් ඔහුගේ නිර්මාණ ශක්තිය වඩවා ගත්තා කියලා මම හිතනවා. සූරිය අරණ චිත‍්‍රපටය ගත්තොත් කුඩා අවධියේ සිටම ඔහුගේ තිබුණේ ස්වභාවික රංගන ක‍්‍රමයක්. එම ස්වභාවික රංගය පෝෂණය කරන්න මම ගුරුහරුකම් වලින් මැදිහත් වුණා. අබා චිත‍්‍රපටය ගැන බැලූවොත් ඔහුට තිබෙන්නේ සිනමා රංගයක්. වේදිකා රංගයක් නොවෙයි. සාමාන්‍යයෙන් කුඩා ළමයින්ගේ තිබෙන අර ඇස් ලොකු කරලා අතපය වනලා කරන අධිරංගනය ඔහුගෙන් දකින්නට නැහැ. අර ස්වභාවික රංගනයම තමයි ඔහු දිගටම ඔහු වගා කරමින් සිටින්නේ. අද වෙන කොට ඔහු මේ ස්වභාවික යථාර්ථ රංග රීතිය හොඳින් පසක් කොට තිබෙනවා.
ඊළඟට අපි හමු වුණේ සජිත ඇන්තනී රංගන ශිල්පියාව. ජැක්සන් ඇන්තනීගෙන් ඇසූ පළමු පැනය අපි ඔහුටත් යොමු කළෙමු.
මම අප්පච්චිට වඩා අඩු වයසකදි මේ සම්මානය ගැනීම මම හිතන්නේ අප්පච්චිගේ ක‍්‍රියාන්විතයේ දිගුවක් ලෙසයි. අප්පච්චිගේ කැමැත්ත ඔහු ගියාට වඩා දුරක් මම යන එක. ඒකට එයා වුණු මහන්සිය මගේ මහන්සියට වඩා වැඩියි. ඔහුගේ පවුලේ කලාවට සම්බන්ධ කවුරුත් නැතිව ඔහුගේ තනි මහන්සියෙන් තමයි ජැක්සන් ඇන්තනී කියන චරිතය ගොඩනගන්නේ. අප්පච්චිට වඩා ගොඩක් දේවල් මට ලැබුණා. ඒ වාසනාව නිසා තමයි මට මේ දේවල් ලැබුණේ. අනෙක මගේ මහන්සිය. වාසනාව හා කැපවීම තමයි කියලයි මම හිතන්නෙ.
මම හිතන විදිහට ඔබේ ඊළඟ ඉලක්කය හොඳම නළුවා වීම. කොහොමද ඒ පිළිබඳ සූදානම?
මට කුසලතා සම්මාන ලැබිලා තියෙනවා, නැගී එන නළුවා සම්මාන ලැබිලා තියෙනවා. දැන් ජනප‍්‍රිය නළුවා වෙලා තිබෙනවා. ලැබෙන්න පුළුවන් හොඳම සම්මානයනෙ හොඳම නළුවා. දක්ෂතාවට ලැබෙන එකනෙ. හීන මැව්වට මදි ඒ හීනය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඒකට තමා මේ මහන්සි වෙන්නේ. මේ මහන්සියට අප්පච්චිගෙන් විශාල දෙයක් මම එකතු කරගන්නවා. බොහෝ ක්ෂේත‍්‍ර ගණනාවක පැතිර ගිය ඔහුගේ දැනුමෙන්. මේ දක්වා මම ජීවිතයට එකතු කරගත්ත ජයග‍්‍රහණයන් වලට ඔහුගේ ගුරුහරුකම් බොහෝ බලපෑවා.
ඔබට හිතිලා තිබෙනවාද රඟපෑමේදී ඔබ පියාව අනුකරණය කරනවා කියලා?
මම රඟපෑමේදී කිසිසේත්ම අප්පච්චිව අනුකරණය කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මම කතා කරන විදිහ, මගේ කටහඬ, මම ඇවිදින විදිහ අප්පච්චි වගේ කියලා බොහෝ දෙනා කියනවා. ඒක ජාන වලින් එන දෙයක් විනා බලෙන් කරන දෙයක් නොවෙයි. මම අනුකරණය කරනව නම් මම කැමති බොහෝ නළුවෝ ඉන්නවා ලෝකෙ. හැබැයි මා තුළින් මගේ අප්පච්චිව පේනවා නම් ඒක මට ආඩම්බරයක්.
උපුටාගැනිම – දිවයින