මුහුණු පොත මගින් දැන හඳුනාගෙන අක්මීමන රජ්ජම්බුගහ ටැංකිය පාරේ පිහිටි හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි තරුණයන් 26 දෙනකු හා තරුණියන් දෙදෙනකු ඊයේ (30) අළුයම 1.30 ට පමණ අක්මීමන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙකී හෝටලය කඳු මුදුනක පිහිටා ඇති අතර ඉතා සූක්ෂම අයුරින් මෙම සාදය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙකී මත්ද්‍රව්‍ය සාදයට ඇතුල්වීම සඳහා රුපියල් 1500 ක මුදලක් අයකොට ඇති බව අනාවරණය වී ඇත. මෙකී සාදය සංවිධානය කොට ඇත්තේ තලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් තරුණයන් 06 දෙනකු සන්තකයේ තිබී ගංජා පැකට් 06 ක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. පොලිසිය විසින් මෙකී සාදය වටලන අවස්ථාවේ සාදයට සහභාගි වී සිටි අය බමන මතින් සිට ඇති අතර ඇතමුන් මත්කුඩු පානය කොට සිට ඇත.
අත්අඩංගුවට ගත් තරුණයන් 26 දෙනා හා තරුණියන් 02 දෙනා අම්පාර උහන, රත්නපුර ඇහලියගොඩ, බදුල්ල, අනුරාධපුර, මාතලේ, මොරටුව ආදි දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට මෙකී සාදය සඳහා පැමිණ ඇත. මෙම පිරිස වයස අවුරුදු 18 හා 22 යන වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසනවා.
උපන්දින සාදයක් පැවැත්වීම සඳහා මෙකී හෝටලයට පැමිණ ඇති බව පොලිසිය විසින් මොවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මොවුන් ප‍්‍රකාශ කොට ඇත. එහෙත් උපන්දින කාඞ්පත් කිසිවක් හමුනොවූ බවද පොලිසිය පැවසුවා.