Gossip

“අද වෙනකන් මට තනියක් දැනිලා නැහැ, මටත් පවුල් ජිවිතයක් තියනවා. දැන් හුඟක් අය ජීවිතය විඳවනවනේ. ” – යශෝධා විමලධර්ම

යශෝධා විමලධර්ම කා අතරත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිණනියක්. ඇයව බොහෝ දෙනෙක් හදුන්වන්නේ පුංචි තිරයේ අහිංසකාවිය කියලයි.
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් සිය රංගන හැකියාව පෙනවූ ඇයට හිමි ඒ ජනප්‍රියත්වය අදටත් අඩුවක් නැහැ.
ඇයගේ අලුත්ම තොරතුරුත් ඉදිරි බලාපොරොත්තු ගැනත් යශෝධා මේ විදිහට සතිඅන්ත පුවත්පතකට හෙළි කරලා තිබුණා.

මේ දවස්වල කලා කටයුතු පැත්තෙන් අලුත් යමක් සිද්ධ වෙනවද?
සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන ‘ගුත්තිල’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා.

පහුගිය කාලේ ඔබ, හේමාල්, මහේන්ද්‍ර සම්බන්ධ වුණ ‘විරාග රාගය’ ගීතය බොහෝ ජනප්‍රිය වුණා. එහි දිගුවක් විධියට ඔබ, හේමාල් සහ මහේන්ද්‍ර චිත්‍රපටයකට එන්නත් සූදානම් වෙනවලු නේද?
ඔව්. බන්දුල නානායක්කාරවසම් තිර පිටපත ලියනවා. ඔහුම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නත් ඉන්නේ.
එහි රූගත කිරීම් මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් කාලය ඇතුළත සිද්ධ වෙයි. ඒක අපේ ප්‍රේක්ෂකයන්ට හොඳ ප්‍රවෘත්තියක් වෙයි. මොකද ‘විරාග රාගය’ ගීතයට සහ රූප රචනයට බොහෝදෙනෙක් කැමැති වුණා.
එහි දිගුවක් විධියට චිත්‍රපටය නිර්මාණය වෙනවා. මේ වසරට තියෙන හොඳම ආරංචි අතරේ ඒකත් හොඳම ආරංචියක්.

ඔබ දැන් වැඩි කාලයක් වෙන් කරන්නේ සිනමාවට වගේ..?
ඔව්. දැන් හොඳ සිනමා නිර්මාණ බිහිවෙනවා. සිනමාව පැත්තෙන් එදා සිට අද දක්වා ගතවූ කාලය ඇතුළත කර්මාන්තයක් හැටියට සහ චිත්‍රපට බෙදාහැරීමේ විවිධ අර්බුද තිබුණට සිනමාව පැත්තෙන් හොඳ යහපත් දේවල් සිදුවෙනවා අපිට දකින්න පුළුවන්.
ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙන නිර්මාණ තියෙනවා. අනෙක් පැත්තෙන් හොඳ නිර්මාණ නරඹන්න සිනමාලෝලීන් ඇදෙන ආකාරය දකින්න පුළුවන්.
පහුගිය කාලයේ සමනල සංධ්වනිය, වෛශ්ණාවී, අසන්ධිමිත්තා වගේ චිත්‍රපටවලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. යහපත් ගුණාත්මක අගයකින් යුතු නිර්මාණයක් බිහිකළොත් අනිවාර්යයෙන් ඒ වටා ප්‍රේක්ෂකයෝ රැඳිලා ඉන්නවා.

දැන් සිනමා නිර්මාණ රසවිඳින්න හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා ඔබ හිතනවද?
‘අසන්ධිමිත්තා’ චිත්‍රපටය එක්ක අපි ගමින් ගමට ගියා ප්‍රවර්ධන කටයුතුවලට. ඒ පිළිබඳ කතිකා ඇති කළා.
සිනමා නිර්මාණ සහ ඒ අතර ඇති වන කතිකා හරි වැදගත් වෙනවා. ඉගෙන ගන්න පාසල් ළමයින්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට, සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට පවා මේ කතිකාව හරි වැදගත් වෙනවා. ඒ හරහා තමයි හොඳ නිර්මාණවලට ශක්තියක් ලැබෙන්නේ. ප්‍රේක්ෂකයො හොඳ නිර්මාණ බලන්න පෙලඹෙන්නේ.
ඉස්සර අපිට එහෙම සංස්කෘතියක් තිබුණා. පහුකාලීනව තමයි අපි ඒ දේවල් නොදැක්කේ. නමුත් දැන් දැන් සිනමාශාලා කරා මිනිස්සු ඇදෙමින් ඉන්නවා.
ඔබ පහුගිය කාලේ එකිනෙකට වෙනස් සුවිශේෂී නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණා.

ඔබේ තේරීම් අනුවද වෙනස් නිර්මාණවල පේන්න ඉන්නේ? නැත්නම් එවැනි වෙනස් නිර්මාණ ඔබව සොයාගෙන එනවද?
මම කොහොමත් ලැබෙන හැම තිරපිටපතක්ම තෝරාගන්නේ නැහැ. ඒ පිටපත ඇතුළේ මට යමක් කරන්න තියෙනවා නම්, ලැබෙන චරිතය ඇතුළේ මට යමක් කරන්න තියෙනවා කියලා මට දැනුණොත්, සම්බන්ධ වෙන චරිතයෙන් යමක් ලබාදෙන්න පුළුවන් නම්, ඒ චරිත කිරීමෙන් මගේ කුසලතා වැඩිදියුණු කරගැනීමේ හැකියාව තියෙනවා නම් තමයි මම ඕනම නිර්මාණයක් තෝරාගන්නේ.
චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක් හෝ මම තෝරාගන්නේ මගේ තේරීම මත.
මොකක් හෝ හේතුවකට මල් ගස් වටේ දුවන විනෝදාත්මක සිනමාවට මට කවදාවත් ආරාධනා ලැබිලා නැහැ. විනෝදාත්මක සිනමාව ඇතුළෙත් ඉතාම හොඳ කතා තියෙනවා. 70 දශකයේ මාලනී අක්කා, ගාමිණී ෆොන්සේකා මහත්මයා, විජය කුමාරතුංග මහත්මයා, රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා වගේ අය රඟපාපු චිත්‍රපට අපි ඉතාම ආසාවෙන් නැරඹුවා.
එහෙම නිර්මාණ දැන් දැන් කෙරෙනවා අඩුයි. නමුත් අනෙක් පැත්තෙන් සම්භාව්‍ය චිත්‍රපට ඇතුළේ ඉතාම හොඳ නිර්මාණ බිහිවෙනවා.

ඔබ පුංචි තිරයේ අහිංසකාවිය ලෙස විශාල ආකර්ෂණයක් දිනාගත්තා. මේ වෙනකොටත් ඒ චරිතය අවලංගු වෙලා නෑ නේද?
ඇත්තටම නැහැ. ඒ ගැන සතුටක් තියෙන්නේ. මම හිතනවා මම හරි පින්වන්තයි කියලා.
මම ක්ෂේත්‍රයට ඇවිත් මේ 33 වැනි අවුරුද්දයි ගෙවෙන්නේ. 1986 තමයි මම රඟපාන්න පටන්ගන්නේ.
එදා සිට අද දක්වා ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. අද ඉන්න පුංචිම ළමයි සමහර විට මාව දන්නේ නැහැ.
නමුත් මගේ පරම්පරාවේ සහ මට පෙර සහ පසු පරම්පරාවේ අය දශක තුනකට අධික කාලයක් මාව දැක්කා. මම කරපු චරිත ආදරයෙන් වැලඳගත්තා.
ඒ මතකය හරි වැදගත්. ඒ චරිතත් එක්ක තමයි ඒ ප්‍රේක්ෂකයෝ අදටත් ජීවත් වෙන්නේ. අද හැම අවුරුද්දකම වගේ සිනමාවෙන් ප්‍රේක්ෂකයෝ මාව දකිනවා.

නමුත් පුංචි තිරයෙන් මාව නොදකින වාරයක් වාරයක් පාසා ප්‍රේක්ෂකයෝ මගෙන් අහනවා ‘අනේ ඇයි ඔබව පුංචි තිරයෙන් දකින්න නැත්තේ’ කියලා. මම සම්බන්ධ වුණු නාට්‍යවල දෙබස් පවා සමහරුන්ට මතකයි. ඔවුන්ගේ හිතේ තැන්පත් වුණ එක මට ආශීර්වාදයක් වුණා. තරුවකට වඩා තමන්ගේ කෙනෙක් කියන හැඟීම ඇති කළ චරිත රාශියක් රූපවාහිනිය හරහා මම රඟපෑවා. වැඩිහිටි පරම්පරාව මට ඉතාම ආදරය කරනවා.
සමහර මවුපියෝ මට කියලා තියෙනවා ‘අපේ දරුවෝ ඔයා වගේ හොඳ මාවතක යනවා නම් කැමැතියි’ කියලා. මම තෝරාගත් ගමන් මඟ ගැන කතා කරද්දී මගේ පියාව සිහිපත් කරන්න ඕන.
ඔහු තමයි මේ ගමන් මඟ යන්න මට කියලා දුන්නේ. ඒක මට ආශීර්වාදයක්. ඒ වගේම ප්‍රේක්ෂක සමූහයකගේ ආශීර්වාදය අදටත් එදා වගේම ලැබෙනවා. ඒක හරිම ලොකු සතුටක්.

යශෝධා දශක කිහිපයක්ම රංගන ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඔබේ පරම්පරාවේ අය සහ ඔබට පෙර පසු පරම්පරාවල සිටි අය සමඟත් ඔබ වැඩ කරලා තියෙනවා. පරම්පරා පරතරය ගැන කතා කරන කාලෙක අලුත් පරපුරත් එක්ක වැඩ කරද්දි ඒ පරම්පරා පරතරය ඔබට දැනෙන්නේ කොහොමද?
මට විශාල පරතරයක් දැනෙන්නේ නැහැ. මම ආපු යුගයේ මගේ පළමු චිත්‍රපටය වුණේ ගුරුගෙදර. රවින්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණයන් එක්ක තමයි මට රඟපාන්න ලැබුණේ. රඟපෑමේදී ඒ අයගෙන් ලැබුණු ගුරුහරුකම්, දුන්න සහයෝගය හරිම වැදගත් වුණා.
ගුරුගෙදර චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා සමඟ. ඔහුත් සමඟ රඟපාන්න ලැබුණාමත් මම ඒක විශ්වාස කළෙත් නැහැ. විජය ධර්මශ්‍රී මහත්මයා මට චිත්‍රපටයට ආරාධනා කරද්දී මම හිතුවා මට විහිළු කරනවා කියලා. මොකද ඔහු සිනමාවේ දැවැන්තයෙක්.
නමුත් ඔහු මම නවකයෙක් කියලා හිතන්නේ නැතිව වෘත්තීය මට්ටමේ කෙනෙක් විධියට හිතලා මට ඉතාම හොඳින් ගුරුහරුකම් දුන්නා.
ඒ ලැබිච්ච සහයෝගය පසුකාලීනව අනෙක් ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දීත් ලැබුණා. අද වෙනකොට මම ඊළඟ පරම්පරාව එක්ක හුඟක් වැඩ කරනවා. ඒක හරිම සතුටක්.
අලුත් පරපුරේ දක්ෂයෝ ගොඩක් ඉන්නවා. අද ඉන්න නවකයන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න තියෙන නිර්මාණ අතළොස්සයි ඉතාම හොඳ මට්ටමේ තියෙන්නේ.
නමුත් මම විශ්වාස කරනවා අපි සම්බන්ධ වෙන ඕනම නිර්මාණයකදී තමන්ගේ කාර්යභාරය වෘත්තීය මට්ටමෙන් සහ කැපවීමෙන් කරනවා නම් වරදින්නේ නැහැ. හුඟක් අලුත් අය මාත් එක්ක වැඩ කරන්න කැමැතියි. මොකද මම රංගනයෙදි එයාලගේ මට්ටමට බහිනවා. මම වැඩිහිටියෙක්, ප්‍රවීණයෙක් කියන දේ පෙන්නන්න යන්නේ නැහැ. මට ලැබිච්ච සහයෝගය වගේම මමත් අලුත් අයට ගුරුහරුකම් දෙමින් සහයෝගය දක්වනවා. දක්ෂයන් අතරෙත් සමහරු ඉතා ඉක්මනින් ජනප්‍රිය වීමේ අදහසින් ඉන්නවා.

ආපස්සට හැරිලා බලද්දී ඔබට කරන්න ලැබුණු දේවල් ගැනත් සතුටක් ඇති?
මම චිත්‍රපටයක සහාය චරිතයක් රඟපෑවත් ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා ඒ නිර්මාණය කවද්ද එළිදකින්නේ කියලා. මොකද ප්‍රේක්ෂකයෝ දන්නවා මම හොඳ දෙයකට සම්බන්ධ වෙනවා කියලා. තමන් යන ගමන්මඟ බුද්ධිමත්ව, කැපවීමෙන්, විෂය ඉගෙනගනිමින් යනවා නම් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ඒ චරිත බැහැර කරන්න බැහැ. අපි දිනෙක මේ ලොව හැරගියත් ඒ මතකයන්හි රැඳෙනවා.

රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට හැදෑරීම් කියන දේ කොච්චර වටිනවද?
රූපණය කියන්නේ ඉගෙනගෙන කළ යුතු විෂයක්. මේ විෂය ගැන ඉගෙනගන්න කැමැත්තක් දක්වන පිරිසක් ඉන්නවා. තවත් සමහරු කියනවා එතරම් ඉගෙනගෙන අවරගණයේ නිර්මාණවලද අපි රඟපාන්නේ කියලා. නමුත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ.
අපි ඉගෙනගත්තොත් අවරගණයේ නිර්මාණ හෝ වේවා හොඳ අතට හරවන්න පුළුවන්. තමන් කරන චරිතයෙන් තමන්ගේ දක්ෂතා වුණත් ඉස්මතු කරන්න පුළුවන්. ඒ තුළින් අපේ කුසලතාව දියුණු වෙනවා වගේම කරන වෘත්තීය පිළිබඳ ගෞරවයක්, අපිට හොඳ සංයමයක් ලැබෙනවා.
කලා ශිල්පියෙක් කියන්නේ වටිනා පුද්ගලයෙක්. හැමෝටම රූපණ හැකියාව පිහිටන්නේ නැහැ.
ඒ පිහිටන කෙනා තමයි ඒක දියුණු කරන් ඉස්සරහට යන්න ඕනේ. අපි අරන් එන දේ ඇතුළෙම හිටියොත් අපි එකතැන පල්වෙනවා. අපි දීර්ඝ ගමනක් යන්න නම් සමාජ ගවේෂණයේ යෙදෙමින් හොඳ අවබෝධයකින් යුතුව රූපණය පිළිබඳ ඉගෙනගත යුතුයි. අද තාක්ෂණික දියුණුව එක්ක බොත්තමක් ඔබපු පමණින් ඉගෙනගන්න බලන්න විශාල දේවල් ප්‍රමාණයක් තියෙනවා. විදෙස් චිත්‍රපට බලලා ඒවා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්.
ඉස්සරට වඩා අද රංගනය පිළිබඳ හුවමාරු වැඩසටහන් සිද්ධ වෙනවා. ඒවා ඇතුළට ගිහින් අපිට ඉගෙන ගන්න පුළුවන්. කතිකා ඇති කරගන්න පුළුවන්. අපි රංගන ශිල්පියෙක් වෙනවා නම් අපේ අරමුණ විය යුත්තේ කුසලතාවය ඉදිරියට අරගෙන යෑම.

ඔබ ගැන කියද්දී බොහෝ දෙනෙක් කියන්නේ යශෝධා ඉස්සර වගේමයි කියලා. එදා වගේම ඔබේ රූපය තියාගන්නත් ලැබීම වාසනාවක් නේද?
ඒක කැපවීමෙන් කළ යුතු දෙයක්. රූපණය ඇතුළේ විද්‍යාත්මක කාරණා ටිකක් ශරීරය තුළ සිද්ධ වෙනවා. අපි චරිතයකට ආරූඪ වුණාම අපේ ජීවිතයේ මුහුණදෙන දුක, සතුට, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වගේ සියල්ල චරිත හරහා එළියට දානවා. ඒ තුළ විද්‍යාත්මක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා.
ඒ ක්‍රියාවලිය සිද්ධ වුණාම අපේ සිස්ටම් එක නැවුම් වෙනවා. රූපණය කියන්නේ මුහුණෙන්, දෙබස්වලින් විතරක් කරන දෙයක් නෙවෙයි.
රූපණයේ ප්‍රධාන මෙවලම අපේ මුළු ශරීරයම. අපි හරි ක්‍රමවලට අනුව රූපණයේ යෙදෙන්න දන්නවා නම් අපිට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්. තමන්ට ආදරය කරන්න ඕන.
තමන් කරන වෘත්තියට ආදරය කරන්න ඕන. මට වඩා බාල පරම්පරාවේ සමහර අය ඉතාම ස්ථුල බවට පත්වෙලා.
ශරීරය ගැන හිතන්නේ නැතිව ඉන්නවා අපි දැකලා තියෙනවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් එහෙම විය යුතු නැහැ. තමන් තමන්ව බලාගන්න ඕන. ඕනම කෙනෙක් ජීවිතයේ ලබන ලොකුම භාග්‍ය සෞඛ්‍ය සම්පන්න බව, නිරෝගීකම. මේ නිරෝගීකම මනසෙත් තියෙන්න ඕන. රූපණය භාවනාවක් වගේ කාරණාවක්.
රූපණය හරි විධි ක්‍රම අනුව කරනවා නම් මම හිතනවා ඕන කෙනෙක්ට සුන්දරව නැවුම්ව ඉන්න පුළුවන් කියලා.

ඔබට ආදරය කරන බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි යශෝධා ඇයි තාම තනිකඩ කියලා?
මට තනිකඩකමක් දැනෙන්නේ නැහැ. මට තියෙනවා පවුල් ජීවිතයක්. මගේ අම්මා මට ඉන්නවා. මට තනියක් දැනෙන්නේ නැහැ.
මගෙන් සිද්ධ වෙන්න ඕන කාර්යභාරය මම පවුල වෙනුවෙන් සිද්ධ කරනවා.
ඒකට මම හුරුවෙලා. මම හරි තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ. වැදගත්ම කාරණය තමයි තමන් සතුටින් ඉන්න එක. එක්කෙනෙක් දෙන්නෙක් බවට පත්වෙලා දුකින් ඉන්නවා නම් ඒකේ ඇති වැඩක් නැහැ. තනියම හෝ සහෘදයෙක් සමඟ හෝ අපි සතුටින් ඉන්න එකයි වැදගත්.
මට අද වෙනකල් තනියක් දැනිලා නැහැ. බලන් ඉන්න අයට මගේ තනිකම ප්‍රශ්නයක් ඇති. ඒත් මටවත් අම්මටවත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බැඳීම්වලින් තොර ජීවිතය කලාකරුවෙක්ට හරි නිදහස්. ඒක ගොඩක් දේවල්වලට උදවු වෙන කාරණාවක්.

මගේ ජීවිතේ මම තෘප්තිමත්ව ගෙවන එක තමයි වැදගත්ම දේ. මගේ මවුපියන් වෙනුවෙන් මට විශාල වැඩ කොටසක් ඉටුකරන්න ලැබුණා මම තනියෙන් ඒ දේවල් කරපු නිසා. මට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා. ඇයට මේ වාසනාව ලැබුණේ නැහැ ඇගේ පවුල් ජීවිතය ඇතුළේ ඇයට තිබෙන බැඳීම් සියල්ල එක්ක. අම්මා, තාත්තා ලෙඩ වෙලා ඉද්දි එයාලට සත්කාර කරන්න ළඟට වෙලා ඉන්න ලැබෙන සතුට තරම් සතුටක් සහ පින්වන්ත බවක් ලෝකයේ තවත් නැහැ. මාව මේ ලෝකයට බිහි කළ මවුපියන් රැකබලා ගැනීම තමයි මගේ ලොකුම බැඳීම. ඒ බැඳීමට මම හැමදාමත් ආදරය කරනවා.

ජීවිතයේ සියලු වගකීම් තනිව දරන්න ලොකු ශක්තියක් තියෙන්න ඕන. ඒ ශක්තිය ගොඩනඟාගත්තේ කොහොමද?
ඒකටත් මම මගේ මවුපියන්ට තමයි පින් දෙන්නේ. මම කසාද බඳින්න ඕන, මම දරුවෝ හදන්න ඕන, සාම්ප්‍රදායිකව අනෙක් අය වගේ පවුල් ජීවිත ගෙනියන්න ඕනේ කියන කාරණා අම්මගෙවත් තාත්තාගෙවත් ඔළුවේ තිබ්බේ නැහැ. මම 9 වැනි ශ්‍රේණියේ ඉගෙනගනිද්දී තමයි එයාලා මාව කලාවට යොමු කළේ. මගේ පියා විශ්වාස කළා මම හොඳට ඉගෙන ගනිමින් මේ ගමන් මඟත් හරියට යනවා කියලා. මගේ මවගෙත් පියාගෙත් ලොකු විශ්වාසයක් තිබුණා මම ගෞරවනීය විධියට මඟ එළිපෙහෙළි කරගනිමින් එයාලත් බලාගෙන ඉදිරියට යයි කියලා. ඒ ශක්තිය ලැබුණේ මගේ අම්මාගෙන්, තාත්තාගෙන්.
මගේ තාත්තා නැතිවෙලා අවුරුදු 19ක් වෙනවා. නමුත් මගේ මව අදටත් මාත් එක්ක හොඳින් ජීවත් වෙනවා. ඇය ඉතාම ධෛර්යමත් කාන්තාවක්. ඒ ශක්තිය මට ජානවලිනුත් ලැබිලා තියෙනවා. ජීවිතය දෙස බලන්න ඔවුන් දුන්න ගුරුහරුකම් මට වටිනවා. තමන් හරි ගමනක් අවබෝධයෙන් යුතුව, බුද්ධිය පාවිච්චි කරමින්, නිවැරදි අධ්‍යාපනයක් ලබමින් යනවා නම් ඒක තමයි වැදගත්. මේක විෂම සමාජයක්. කලා ලෝකය ඇතුළේ ගැහැනු දරුවෝ නොමඟ යන අවස්ථා වැඩියි. අපි ඇහැට දැකලා තියෙනවා ඒ වගේ ජීවිත විනාශ කරගත් හැටි.
නමුත් තමන් බුද්ධිය පාවිච්චි කරනවා නම් ශක්තිමත් පවුල් පසුබිමක් තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. අපේ පවුල බෞද්ධ දර්ශනය අනුව ජීවත් වුණ පවුලක්. බෞද්ධ දර්ශනය අනුව සරලව ජීවත් වුණොත් ජීවිතය හරි ලේසියි.
දැන් හුඟක් අය ජීවිතය විඳවනවනේ. අපිට ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය ඇතුළේ වැදගත් දේවල් ටිකක් ලෝකයට කරලා අපි තෘප්තිමත් වෙන්න ඕන. අපි කරන දෙයට ආදරේ නැත්නම් තමයි අපි වධ විඳින්නේ. තනිවම ජීවිතයට මුහුණදෙන්න අම්මා තාත්තා මට කියා දුන්න දේවල් වැදගත් වුණා. දැන් මැදි වයසට එද්දී මම වෙනකාටත් වඩා ජීවිතයේ ශක්තිමත්. ඕනම දෙයකට මුහුණදෙන්න මම සූදානම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!