Gossip

“මම සාමාන්‍යයෙන් නව හා පැරණි පරම්පරා සංසන්දනය කරන්න යන්නෙ නෑ.” – තුමිඳු දොඩන්තැන්න

වේදිකාවෙන් රංගනයට පන්නරය ලැබූ තුමිඳු දොඩන්තැන්න රූපවාහිනී හා සිනමා යන දෙඅංශයේම රංගන ප්‍රතිභාව ප්‍රකට කළ සම්මානනීය රංගන ශිල්පියෙක්.
ඒ වගේම ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. මේ නිසාම තරුණ පිරිස් සමඟ ගැවසීම සුලබ කාරණයක්. ඉතිං ‘අද තාරුණ්‍යය’ ගැන තුමිඳුට තියෙන්නෙ මේ වගේ අදහසක්.

තරුණකම කියන්නෙ කොයි වගේ දෙයක්ද?
තරුණකම අපිට ජීවිතය තුළ හම්බවෙලා තියෙන අවධිවලින් එකක්. ශබ්දකෝෂාර්ථයෙන් ගත්තම අවු. 18 සිට අවු 35 වෙනකල් තරුණයාව හඳුනාගන්න පුළුවන්.
ඒ ගැන විවිධ අය විවිධ මත දක්වනවා. මේ අවධිය කියන්නෙ ශරීර ශක්තියෙන් බොහොම ජවසම්පන්න අවධියක් වගේම සැහැල්ලුයි.
වගකීම්වලින් පිරිච්ච මනසක් නෙවේ. එහෙම බැලුවම බලවත් capacity එකක් තියෙන අවධියක්.

නූතන තාරුණ්‍යය ගැන ඔබේ අදහස?
අද තරුණයා කිව්වම එදා තරුණයා එක්ක සසඳන්න වෙනවා. ඒ සංසන්දනය කිරීම කොතරම් දුරට සාධාරණද කියන්න මං දන්නෙ නෑ.
මං සාමාන්‍යයෙන් නව හා පැරණි පරම්පරා සංසන්දනය කරන්න යන්නෙ නෑ. හැබැයි අද තරුණයා කියන්නෙ එක්තරා විදියට තාක්ෂණික ජීවියෙක්. Virtual ලෝකයක් ඇතුළෙ ඒ කියන්නෙ අපට ස්පර්ශ කළ නොහැකි ලෝකයක් ඇතුළෙ තම හැකියාවන්, හැඟීම් හා ආශාවන් හුවමාරු කරගන්නා මනුස්සයෙක් විදියට තමයි තරුණයා අපට වැඩිපුර හමුවෙන්නෙ.
ඉස්සර තරුණයට තිබුණෙ භෞතික ලෝකයක්. අපි ගනුදෙනු කළේ එහෙම ලෝකයක. ඉතිං මේ වෙනස අද තරුණයා අත්විඳිමින් ඉන්නවා.
හැබැයි ඔහු ඒක ඔහුගේ ලෝකය තුළ ගුණාත්මක හා සුබවාදී විදියට කරනවා.
පැරණි ලෝකය නොතිබීම සම්බන්ධයෙන් ඔහුට දුකක් නෑ. ඒක වරදක් විදියට මම දකින්නෙ නෑ.
ඔහුට මේකට හැඩගැහෙන්න සිද්ධ වෙලා. භාෂාව, සාහිත්‍ය කලාව ඇසුරු කරන විදිය වෙනස් වෙලා. දේශපාලනික, ආර්ථික වශයෙන් ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙලා. ඒ වගේ පරිවර්තනය වෙච්ච මනුස්සයෙක් තමයි එදාට සාපේක්ෂව අද තරුණයා හම්බවෙන්නෙ.

දේශපාලනික වශයෙන් අද තාරුණ්‍යයේ ජවය හීන වෙලාද?
නෑ මං හිතන්නෙ නෑ එහෙමයි කියලා. දේශපාලනික වශයෙන් වෙන මැදිහත්වීම වෙනස් වෙලා.
අද වෙද්දි තරුණයට බලවත් ශක්‍යතාවක් ලැබිලා තියෙනවා කියලයි මං හිතන්නෙ.
සමාජ ජාලා මාධ්‍ය ඇතුළෙ එවැනි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ පරිසරය තුළ ඔහු ඔහුගේ ප්‍රකාශනය දේශපාලනික වශයෙන් කරනවා.
අපි දකිනවා ලංකාවේ මේ වෙලාවේ රාජ්‍ය නායකයගෙ ඉඳන් ඊළඟ රාජ්‍ය නායකයා සඳහා තරග කරන අපේක්ෂකයො පවා සමාජ මාධ්‍ය රටේ පාලනයට බලවත් හිසරදයක් කියල කියමින් ඉන්නවා. ඒකට හේතුව රටේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නන්ගේ බහුතර තරුණ ප්‍රජාව දේශපාලනික අර්ථ දැක්වීම්වලින් කරන මැදිහත් වීම. ඒ අර්ථයෙන් ගත්තම දේශපාලනික වශයෙන් තරුණයාගේ මැදිහත්වීම හීන වෙලා කියන්න මම කැමති නෑ. ඊට වඩා ඒක බලවත්.

‘විද්‍යාර්ථින්’ මේ වෙලාවෙ දේශපාලනික වශයෙන් කරන මැදිහත් වීම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වශයෙන් ඔබ දකින්නේ කොහොමද?
මං හිතනවා මේ වෙලාවෙ ශිෂ්‍ය දේශපාලනය ඇතුළෙ ක්‍රියාකරන විදිය පෙරට වඩා හොඳයි කියලා.
මං එහෙම කියන්නෙ පෙර තිබුණු තත්ත්වය යටතේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙලා ඉන්න කාලෙ පවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විවිධ දේශපාලන පක්ෂ යටතේ අනුගාමිකයන් සහ සාමාජිකයන් බවට පත්වෙමින් තිබුණේ. අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා.
ඒ විදියට පක්ෂවල සාමාජිකයො බවට පත් නොවී තමන්ගෙ මතය විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් ඉන්නවා.
හැබැයි අද තත්ත්වය ඒ තරම්ම බලවත් නැති වුණාට යම් මට්ටමක් තියෙනවා. අද වෙනකොට ඒ පක්ෂවලට විශ්වවිද්‍යාල ඇතුළෙ හසුරවන්නට තියෙන බලය අඩු වෙලා තියෙනවා. ඒ නිසාම ශිෂ්‍යයා තමන්ගේ මත දැක්වීම සඳහා විවිධ මතවාදී විදියට පෙනී සිටිනවා. මේක දියුණු තත්ත්වයක් බවට පත් කරගත හැකි තත්ත්වයක් විදියට තමා මම දකින්නෙ. මගෙ අත්දැකීමට අනුව ශිෂ්‍යයො ඒ කාලෙ ස්ට්‍රයික් කළේ ඔවුන්ගේ උවමනාවට නෙවේ පක්ෂවල උවමනාවට.
අද ශිෂ්‍යයො පාරට බහින්නෙ ඊට වඩා ශිෂ්‍ය අවශ්‍යතා වෙනුවෙන්. යම් යම් දේශපාලන කණ්ඩායම් එතැනත් ඉන්න පුළුවන්. හැබැයි යම් වෙනසක් තියෙනවා.

සමාජ මාධ්‍ය භාවිතය තුළ තරුණයාගේ හැසිරීම?
ඒක හොඳද නරකද කියන්න බෑ. ඔවුන්ට හොඳ space එකක් හම්බවෙලා තියෙනවා. බලවත් අවියක් විදියට හම්බවෙලා තියෙනවා.
අනෙක් මාධ්‍යවලට වඩා ඒක හොඳ තත්ත්වයක්. ඒක වෙනස් කරන්න යම්කිසි පාලකයෙක් උත්සාහ කරනවා නම් ඒ බය නිසා ඇති වෙන තත්ත්වයක්. මේ මාධ්‍ය නරක විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරපු අවස්ථා අපේ රටේ අපි දැකලා තියෙනවා.
හැබැයි ප්‍රජාව අධ්‍යාපනික වශයෙන් දියුණු තත්ත්වයකට පත් කරන්න පුළුවන් ඉතා හොඳ මෙවලමක් සමාජ මාධ්‍ය කියන්නෙ.
තරුණයන්ට මාධ්‍ය භාවිතය දැනුවත්භාවයකින් හා අවබෝධයකින් හසුරුවන්න පුළුවන් වපසරියක් නිර්මාණය කිරීමට රජය මැදිහත් වෙන්න ඕනෙ.

තරුණ ප්‍රජාව වෙනුවෙන් ඔබට දිය හැකි පණිවිඩය?
ඔවුන් වෙනුවෙන් පණිවිඩයක් දීමට වඩා මං කැමති යෝජනාවක් කරන්න. තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න කලින් තමන්ගේ දැනුම් ලෝකය පුළුල් කර ගන්න.
ඊට පස්සෙ ඔබේ අදහස් ප්‍රකාශ කරන්න කියන එක තමා මගේ යෝජනාව. කියැවීම මේ සමාජයෙන් විශාල වශයෙන් දුරස් වෙලා. කියැවීම වෙනුවට නැරඹීම, ඇස පිනවීම සඳහා මේ සමාජය පරිවර්තනය වෙලා. රූපවලින් අදහස් දැක්වීම බලවත් තමයි. හැබැයි වචන ඊට වඩා බලවත්.
ඒ නිසා මං යෝජනා කරන්නෙ පුළුවන් තරම් කියවන්න කියලයි.

සසංකා විතානගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!