හැකියාව කියන දේ මොන දේ කරලවත් යටපත් කරන්න බෑ..
ඒ හැකියාවට නිසි වටිනාකමක් වගේම නිසි තැනක් ලැබුණොත් හොඳ නිර්මාණයක් බිහිවෙන එක නවත්තන්නත් මොන ජගතෙකුටවත් බෑ.
සරලවම කිව්වොත් මේ කියන්න යන්නෙත් ඒ විදිහට අපූරු හැකියාවක් තියෙන අපූරු චරිතයක් ගැනයි.
ඔහු තමයි කම්මලේ හිමිකරු.
ඉවත දමන දේ නිර්මාණයකට පෙරලන ඔහු, බැරල් එකකින් පුටුවක් හදන වීඩියෝවක් ඔබත් අනිවාර්යෙන්ම දකින්න ඇති.
ඉතිං ඔහුගේ ඒ නිර්මාණ ගැනත් කම්මලේ හිමිකරුගේ ගමන්මග ගැනත් ඔබට කියන්න අපි ඔහුත් සමග කතා කළා.
ඔබ කවුද..?
මම තාවින් හරින්ද…
මොනවද කරන්නේ..?
මම ඇඩ්වර්ටයිසින් කරන්නේ..
අපි දැක්කා පසුගිය දවසක වීඩියෝවක්. ඒ වීඩියෝවේ තිබ්බා බැරල් එකකින් පුටුවක් හදන හැටි..? මොකක්ද ඒ වැඩේ..?
මම මේ වැඩේ පටන් ගත්තේ 2016 දි.. YouTube ගැන වැඩි අයිඩියා එකක් නෑ ඒ දවස්වල.. මේ වගේ වීඩියෝවක් කරලා මම FB දැම්මා.. මම ළඟ මැෂින් එකක්වත් තිබුණේ නෑ.
මම දාපු වීඩියෝ එකට ෆොරිනර් කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා.. මේක සේෆ්ටි නෑ කියලා.. මම ටග් ගාලා අයින් කළා.. ඊට පස්සේ මට ආයෙමත් මේ වැඩේ කරන්න වුණේ නෑ.. මම මේ දේවල් ඉගෙනගන කරන දේවල් නෙවෙයි.. මමම හිතලා තනියම මහන්සිවෙලා කරන දෙයක් මේ.
ටික කාලයක් යද්දි මට YouTube කියන අදහස ආවා. පස්සේ මට හම්බවුණා ඒකට හරියන තැනක්. ඒ තමයි idea hell.
මේක ඇත්තටම කිව්වොත් කම්මලක්නම් නෙවෙයි නවීණ දෙයක්. ඒත් දැම්මා කම්මල කියලා.
කම්මලක තියෙන මයිනහම වගේ දේවල් මේකේ නෑ.. නිතරම අප්ඩේට් වෙන දේවල් තමයි තියෙන්නේ.
මේක ලංකාවට අලුත් දෙයක්. ලංකාවේ යූටියුබ් කලාව තුල වෙනසක් මේක. මේ වගේ වීඩියෝ කලින් දැකලා නෑ.. ඒ නිසා වෙන්න ඇති වැඩිය විව්ස් නැත්තේ.
වෙන වෙන ජෝක්වලට තියෙන විව්ස් මේවට නෑ.. ඒත් මම හදන්නේ සමාජයට දෙයක් දෙන්න. පිටරටක බැලුවොත්නම් මේ වගේ වීඩියෝ එකකට මිලියන පහ හයක විව්ස් තියෙනවා.. ඉවත දාන දේවල් තමයි මම හුඟක් පාවිච්චි කරන්නේ.. බැරල් එකකින්, ෂොකට් ෂෝපර්වලින් නිර්මාණ කළා.
මේ වගේ වැඩක් පටන් ගත්තේ ඇයි..?
මේක පටන් ගත්තේ හොබි එකක් විදිහට.. මගේ වචනෙන්ම කිව්වොත් ආතල් එකට තමයි මේ වැඩේ පටන් ගත්තේ. මම ගෙදර ඉද්දි එක එක දේවල් කරනවා.. පොඩි පොඩි අයිටම් හදනවා.
මේ දේවල් ඔබම ඉගෙන ගත්තු දේවල්ද..?
ඇත්තටම නෑ.. මම NIBM එකේ ඩිප්ලෝමා එකක් කරලා තියෙන්නේ.. මේක වෙනමම ආතල් එකක්… මේක මම තනියම ඉගෙන ගත්තු දෙයක් මිසක් වෙන කෙනෙකුගෙන් ඉගෙන ගත්තු දෙයක් නෙවෙයි.
ඔබේ පවුලේ විස්තර කිව්වොත්..?
මගේ පවුලේ ඉන්නේ මමයි, නංගියි අම්මයි තාත්තයි.
ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ..?
ඉස්සරහට තව අලුත් දේවල් ලංකාවට ගේන්න බලනවා.. ලංකාවේ නැති දේවල් මාකට් කරන්න බලනවා… ලංකාවට දෙයක් දෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව..
ඔබේ මේ හැකියාවෙන් රටටත් ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා ඔබට හිතෙන්නේ නැද්ද..?
ඔව්.. මම අනිවාර්යෙන්ම එහෙම හිතනවා.. ඒත් අත දෙන්න කවුරුත් නෑ.. මොකද ලංකාවේ අවශ්‍ය දේට වැඩිය අනවශ්‍ය දේ වැඩියි.. ඉතිං අවශ්‍ය කෙනාට අත දෙන්න ඕන කෙනාට අත දෙන්න අය නෑ.. ඒකයි දුක..
මතක් කරන්න ඕනේ මට දවසක් මේ වීඩියෝ එකක් බලලා හොඳටම බැනලා තිබුණා.
ඒ මොරටුවේ වඩු වැඩ බාල්දු කරන්න එපා කියලා.. ඇත්තටම කිව්වොත් මේක වඩු වැඩ බාල්දු කිරීමක් නෙවෙයි. මේක වෙනම කලාවක්.. මම මේකෙන් කාටවත් පහර ගහන්නේ නෑ..
