Gossip

බඳින්නද යන්නේ ඇහුවම ඔව් කියලා කියන්න වුණා. සමහරු හිතන්නේ සම්භාව්‍ය කියන්නේ නිරුවත් චරිත කරන එක කියලා.” – රුක්ෂානා දිසානායක

රුක්ෂානා දිසානායක කියන්නේ නව පරපුරේ රසික සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආපු කෙනෙක් කිව්වොත් නිවැරදියි.
ඇයගේ මේ දවස්වල තොරතුරු වගේම අලුත්ම විස්තර ගැන රුක්ෂානා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

රුක්ෂානා මේ දවස්වල නිර්මාණ කිහිපයකම පේන්න ඉන්නවනේ. මුලින්ම ඒ ගැන කතා කරමු?
ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම් කරනවා. නාට්‍ය තුනක වැඩ කළාට ලොකුවට කාර්යබහුල වෙලා නැහැ. මොකද නාට්‍ය තුනක වැඩ කළාට මාසෙකට රූගත කිරීම් තියෙන්නේ දින කිහිපයයි.

පසුගිය කාලේ අන්තර්ජාලයේ පැතිරුණු රුක්ෂානාගෙයි ඉමේෂාන්ගෙයි ප්‍රී ෂූට් එකේ ඇත්ත කතන්දරය මොකක්ද?
සංගීත් සතරසිංහ ඡායාරූපකරණ කටයුතුවලට එකතු වුණානේ. සංගීත් අයියා අපේ හොඳම යාළුවෙක්. ඉතිං එයා මගෙනුයි ඉමේෂාන්ගෙනුයි ඇහුවා මෙහෙම ප්‍රී ෂූට් එකක් කරමුද කියලා. අපිත් හරිම කැමැත්තෙන් ඒකට සම්බන්ධ වුණා. හැබැයි ඒ ඡායාරූප පෙළ මෙච්චර දුරදිග යයි කියලා හිතුවේ නැහැ.

මොකක්ද ඒ ගියපු දුර?
ගොඩක් අයගෙන් දුරකථන ඇමතුම් එන්න ගත්තා අපි බදින්නද යන්නේ කියලා අහලා. වෙඩින් එකට ස්පොන්සර් කරන්නත් සමහරු කතා කළා. ඉමේෂාන්ටත් ගොඩක් අය කතා කරලා තිබුණා. නෑදෑයොත් කලබල වෙලා. කියලා කියලා බැරිම තැන ෆේස්බුක් එකෙන් අපිට සුබ පතපු අයට ස්තූතියි කියලා දාන්න වුණා. බඳින්නද යන්නේ ඇහුවම ඔව් කියලා කියන්න වුණා. ඇත්තටම මගේ උපන්දිනයට සුබපතලා ආපු දුරකථන ඇමතුම්වලටත් වඩා ඉමේෂාන්ටයි මටයි සුබ පතලා දුරකථන ඇමතුම් ආවා.

ඇත්තටම දැන් රුක්ෂානා පෙම්වතියක්ද?
ඒ ගැන පස්සේ කිව්වොත් හොඳයි කියලා හිතනවා.

රුක්ෂානාත් විවාහය ගැන හීන දකින කෙනෙක් වෙන්න ඇතිනේ..?
ඔව්, හැබැයි ආර්ථික පැත්තෙන් ශක්තිමත් වෙලා කලාව පැත්තෙනුත් ස්ථාවරත්වයක් හදාගෙන තමයි විවාහයක් ගැන තීරණය ගන්න වෙන්නේ.

රුක්ෂානාට තාම රංගන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් හදාගන්න බැරි වුණාද?
අද කාලේ රංගන ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟාගන්න අමාරුයි. මොකද අලුත් අය ක්ෂේත්‍රයට එනවා. පරණ සහ අලුත් අය එක්ක තරග කරලා අපේ ස්ථාවරත්වයක් හදාගන්න වෙනවා. තාම මම හැමදේම ඉගෙන ගන්න කෙනෙක්. ලබාගන්න අත්දැකීම් එක්ක ස්ථාවරත්වයක් හදාගන්න තමයි මහන්සි වෙන්නේ. මම තාම සම්භාව්‍ය මට්ටමේ චරිත කරලා නැහැ. මම කැමැතියි එතැනට යන්න.

සම්භාව්‍ය මට්ටමේ ඕනම දෙයකට සීමා නැතුව එකතු වෙන්න රුක්ෂානාට හැකියාව තිබෙනවද?
මෙහෙමයි. පවුල වටපිටාව ගැන හිතන්න සිද්ධ වෙනවා. හැබැයි සමහරු හිතන්නේ සම්භාව්‍ය කියන්නේ නිරුවත් චරිත කරන එක විතරයි කියලනේ. නමුත් ඒක වැරැදියි. නිර්මාණයේ ඇතුළාන්තයේ ප්‍රමිතිය අනුව ඒ නිර්මාණයේ තත්ත්වය තීරණය වෙනවා. මම මේ වෙනකල් ලැබුණු කිසිම චරිතයක් ප්‍රතික්ෂේප කරලා නැහැ. එහෙම ප්‍රතික්ෂේප කළ යුතු දේවල් මට ලැබිලත් නැහැ. මම හිතුවේ නැහැ මට කොමඩි චරිත කරන්න පුළුවන් කියලා. ඒ වගේම අභියෝග භාරගෙන රංගනයේ බොහෝ දේවල් ඉගෙන ගන්න මම කැමැතියි.

මේ වෙනකොට රංගනයේ ලැබුණු අවස්ථා ගැන තෘප්තියක් තියෙනවද?
මම මේ වෙනකල් රඟපාලා තියෙන්නේ එක ප්‍රධාන චරිතයයි. ඒක තාම විකාශනය වුණේ නැහැ. ප්‍රේක්ෂකයෝ මාව හඳුනන්නේ ප්‍රධාන චරිත කරලා නෙවෙයි. උප චරිත තමයි මම කළේ. එක දර්ශනයක් විතරක් තියෙන ටෙලි නාට්‍ය විසිහතක මම රඟපාලා තියෙනවා. ඔක්කොම ටෙලිනාට්‍ය පනස් තුනක තමයි මම මේතාක් රඟපාලා තියෙන්නේ. උප චරිතයක් කළත් එක දර්ශනයක් කළත් මම තෘප්තිමත්. මොකද ආසාව තිබ්බට ලස්සන තිබ්බට, දක්ෂතාව තිබ්බටවත් මේ ක්ෂේත්‍රයට එන්න බෑ. මේ සියල්ල එක්ක වාසනාවත් තියෙන්න ඕන. මම හිතනවා මම වාසනාවන්තයි කියලා.
සමහරු බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන චරිත විතරයි. එක දර්ශනයක්, උප චරිතයක් කරන එක සමහරුන්ට මදිපුංචිකමක්. රුක්ෂානාට එහෙම දැනිලා නැද්ද?මට එහෙම මදිපුංචිකමක් දැනිලා නැහැ. මගේ පරම්පරාවේ කවුරුත් මේ ක්ෂේත්‍රයේ නැහැ. මට මේ ක්ෂේත්‍රයට එන්න තිබ්බ අමාරු බව මම දන්නවා. පුදුම ආසාවක් තිබ්බේ රංගනයට එන්න. එක දර්ශනයක් රඟපාන්න එන්න කිව්වත් මම යන්නේ මට ඒ ලැබෙන අත්දැකීම වටින නිසා.

පුංචි තිරයේ නිතර දකින ඔබට සිනමාවේ අලුත් අවස්ථා ලැබුණද?
සිවදාසන් සර්ගේ චිත්‍රපට දෙකක මම රඟපෑවා. ඒ අතරින් දෙවැනි යුද්ධය චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. ඒක හොඳ පෙරළියක් වෙයි. ඒ වගේම සරත් දික්කුඹුර මහත්මයාගේ “මරුකතර” චිත්‍රපටයෙත් රඟපෑවා. ඒකත් තිරගත වෙන්න තියෙනවා.

රුක්ෂානාගේ ජීවිතේ පළමු තැන රංගනයද?
ඔව්, රංගනය මගේ ජීවිතේ පළමු තැන තියලා තියෙන්නේ.

කැමැත්තෙන් ඉඳලා තාමත් ක්ෂේත්‍රය ඇතුළේ කරන්න මඟහැරුණ දේවල් තියෙනවද?
මට තාම රියැලිටි වැඩසටහනකට ඉදිරිපත් වෙන්න බැරිවුණා. මට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තනයට අදාළ උපාධියකුත් තියෙනවා. නමුත් තාම මට රියැලිටි ෂෝ එකකට සම්බන්ධ වෙන්න ලැබිලා නැහැ. ඒ අත්දැකීම ලබාගන්න කැමැත්තෙන් ඉන්නවා.

මොනවද ඉදිරි සැලසුම්..?
පසුගිය කාලේ මගේ නර්තන කණ්ඩායමේ වැඩ ටිකක් අඩාල වුණා. රටේ තිබ්බ තත්ත්වය ඒකට බලපෑවා. ඉදිරියටත් නර්තන කණ්ඩායමේ වැඩ සහ නර්තන පන්තියේ වැඩකටයුතු ප්‍රමිතියෙන් යුක්තව කරගෙන යන්න මහන්සි වෙනවා වගේම රංගන කටයුතුත් කරගෙන මගේ ගමන යනවා. තවත් අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!