අම්මා නැති කල අප්පා කවර කල’ යැයි පැරණි කියමනක් තිබෙනවා. තම කුසින් බිහිකළ දරුවන් අතැර දමන අම්මා කම්සැප සොයා වෙනත් පුරුෂයෙකු සමඟ ගිය කල, තනිවන පියා සිය අවශ්‍යතා සපුරා ගැනීම මූලික කොටගෙන ගැහැනියක් රැගෙන ආ කල ‘කුඩම්මා’ නම් වන ඇයගෙන් දරුවන්ට ලැබෙන සැලකිල්ල ගැන කවර කතාද?
ඌරුබොක්ක පොලිස් වසමේ ගින්නලිය, ගල්පොත්තහේන ලිපිනයේ පදිංචිව සිටි 13 හැවිරිදි වියේ පසුවූ ලසිත් මාලිංග’ නම් වූ පුංචි පුතාට වයස අවුරුදු 13දී අතිභයංකර පීඩාකාරි මරණයකට මුහුණ දීමට සිදුවූයේ මේ ක්‍රියාදාමයට මුහුණ දුන් පවුලක දරුවකු වීම නිසා බව දැන් තහවුරු වී තිබෙනවා.
ඒ ගිනි තබා මාලිංග ඝාතනයට සැකපිට පියාත්, පියාගේ දෙවන බිරිය එනම් මාලිංගගේ කුඩාම්මාත් ඌරුබොක්ක පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගත් නිසයි.
මාලිංගට ගිනි තබන්නේ පසුගිය මැයි මාසයේ නම වැනිදා අලුයමයි. ඒ පිළිබඳ ඌරුබොක්ක පොලීසියට දැනගන්නට ලැබෙන්නේ එදින අලුයම දෙකයි විස්සට පමණ හදිසි ඇමතුම් අංශයෙනුයි. එම ඇමතුමෙන් කියවුණේ වින්නලිය, ඊරියගහදෙණිය, තැල්ලහේන නිවෙසේ පදිංචි ආරියරත්න යන අයගේ පුතාට යම් අයෙකු ගිනි තබා ඇති බවයි.
එම පණිවිඩයෙන් තවදුරටත් කියවුණේ යුද හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු නිවෙසට ඇතුළු වී දරුවාට ගිනි තබා ජනේලයකින් පලා ගොස් ඇති බවයි.
තොරතුර අනුව පොලිස් කණ්ඩායමක් එම නිවසට පිටත් වූ අතර ඔවුන් යනවිට පිළිස්සුණු දරුවා රෝහල්ගත කර තිබුණා.
විමර්ශන ආරම්භ කළ පොලීසිය දරුවා පිළිස්සුණ ස්ථානයත්, මුළු නිවෙසමත්, වටපිටාවත්, සියුම් ලෙස සෝදිසියට ලක් කළා.
ඒ සඳහා මාතර පොලීසියේ අපරාධ අංශයේ සහායද ලබා ගත්තා.
දරුවා රාත්‍රී නින්දට ගොස් තිබුණේ සාලයේ ටයිල් පොළව මතයි. ඒ පවතින උෂ්ණත්වය දරාගැනීමට අපහසු වූ නිසයි.
ටයිල් පොළව මත කොට්ටයක් දමාගෙන ඇඳ ඇතිරිල්ලක් සිරුර වසාගෙන දරුවා නිදාගෙන තිබුණා. දරුවා මරා දැමීමට සැලසුම් කළ අය දරුවා පොරවාගෙන සිටි ඇතිරිල්ලට භුමිතෙල් දමා ගිනි තබා තිබුණා.
එකවරම දැණුනු අධික රස්නය හේතුවෙන් නින්දෙන් පිබිදුන දරුවා ගින්නෙන් බේරීම සඳහා දඟලද්දි ගිනිගෙන දැවෙන ඇතිරිල්ල තව තවත් දරුවාගේ සිරුර වටා එතෙන්නට ඇත.
මේ ශබ්දය මුලින්ම ඇසෙන්නේ කාමරයේ නිදා සිටි කුඩම්මාටයි. පියා ඒ වන විට සාලය අසළ වූ කාමරයේ නිදා සිටියද ඔහුට දරුවාගේ කෑ ගැසිල්ල ඇසී තිබුණේ නැහැ.
දෙවන බිරිය පැමිණ ඔහු ඇහැරවා ගන්නා අතර ගින්න නිවා දමන්නේ ඉන් අනතුරුවයි.
ආරියරත්නගේ නිවස දෙසින් ඇසුණ ශබ්දය හේතුවෙන් අසල්වාසීන් පැමිණෙන අතර දරුවා රෝහලට රැගෙන යන්නේ ඔවුන් විසිනුයි.
ස්ථානීය පරීක්ෂාවේදී දරුවා ගිනිගත් ස්ථානය අසළ භූමිතෙලින් පොඟවන ලද රෙදි පහන් තිරයක්ද හමුවුණා. ඒ අනුව පොලීසියට යම් අදහස් දැනගැනීමට අවස්ථාව සැලසුණා. එම අදහස වූයේ දරුවාට ගිනි තබන්නට පැමිණි පුද්ගලයා භූමිතෙල් පොඟවන ලද පහන්තිරවලින් මෙම ගිනි තැබීම සිදු කළ බවයි.
ලසිත්ගේ අවසන් මොහොත දැක තිබූ සුබසිංහ ගමගේ සුනේත්‍රා කුමාරි එනම් මාලිංගගේ සුළු මව පවසන්නේ නිවසට පැමිණ දරුවාට ගිනි තැබූ අය ජනේලයෙන් පැන යනවා තමන් දුටු බවයි.
යම් පුද්ගලයෙකු යුද හමුදාවට සමාන ඇඳුමකින් සැරසුණා නම් ඔහු බූට් සපත්තු පැළඳිය යුතුයි. ඔහු ජනේලයෙන් පැන්නා නම් බූට් අඩිය පොළවේ අනිවාර්යෙන්ම සටහන් විය යුතුයි.
සපත්තු නොමැතිව ආවත් ජනේලයෙන් පනිද්දි පා සටහනවත් ජනේලය අසළ පොළවේ තිබිය යුතුයි. තණකොල, වල්ගස් වැවී ඇත්නම් ඒවාද පොඩි විය යුතුයි.
විමර්ශන කණ්ඩායමේ අදහස වූයේ මාලිංග දරුවාට ගිනි තිබ්බේ පිටතින් ආ අයෙකු නොව නිවසේ ඇතුළේ සිටි අයකුම බවයි.මාලිංග මියගොස් මාස එකහමාරක් පමණ ගතවනතුරු රහසිගත මෙහෙයුමක නිරතවූ විමර්ශන කණ්ඩායමට මීට සම්බන්ධ කවුදැයි තහවුරු කරගැනීමට හැකිවුවත් සාක්ෂි කිසිවක් නොතිබී නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.
මේ අතර පසුගිය දිනෙක පොලීසියට එන දරුවාගේ පියා එනම් ආරියරත්න පවසා සිටියේ දරුවා මරා දැමීම ගැන තමාගේ බිරිය ලෙස නිවසේ කල් ගෙවන සුනේත්‍රා කුමාරිව සැක කරන බවයි.
ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ ද ඇය පවසන්නේ මාලිංග මරා දැම්මේ කවුදැයි තමා නොදන්නවා බවත්, ඊට තමන්ගේ සම්බන්ධයක් හෝ නොමැති බවයි.
දෙවන බිරිය සැක බව කී ආරියරත්නගේ සැකය තහවුරු කිරීමට හැකි තොරතුරු හෙළි කරගැනීමට පොලීසිය උත්සහ කළා.
එහෙත් පැමිණිල්ල කළද පසුව සෘජු උත්තර ලබා දීමට ඔහුට හැකි වූයේ නැහැ. වැල්වටාරම් කියවමින් යමක් සැඟවීමට ඔහු උත්සහ කරන බවක් විමර්ශන කණ්ඩායමට වැටහුණා. එබැවින් මේ දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.
මාලිංගගේ පියා එනම් ආරියරත්නගේ වයස අවුරුදු 40ක්. ඔහුගේ දෙවය බිරිය වන සුනේත්‍රාට අවුරුදු 30ක්. මාලිංගගේ මව මීට වසර කිහිපයකට පෙර ආරියරත්නත්, මාලිංගත් නිවසේ තනිකොට වෙනත් පුරුෂයෙකු සමඟ පලා ගොස් තිබුණා.
එදිනෙදා කුලී වැඩ කරමින් ජිවත් වන්නට මුදල් සොයා ගන්නා ආරියරත්නට මාලිංගගේ වැඩ කටයුතු කිරීම අපහසු වූ නිසාම ඔහු සුනේත්‍රා නිවසට කැන්දාගෙන ආවා.
ඇය මේ නිවසට ආවේ හිස් අතින් නොව මාලිංගට තනියට කෙනෙකු ද රැගෙනයි. ඒ ඇයගේ පළමු විවාහයේ දරුවායි. ඔහු මාලිංගගේ වයසේම පසුවන පිරිමි දරුවෙක්. ඇය ආ පසු මාලිංගට ලැබුණු සැලකිලි කෙසේ දැයි දන්නේ මාලිංගත්, කුඩම්මාත්, පියාත් පමණයි. එය වඩාත් හොඳින් දන්නේ මාලිංගයි.
අනෙක් කෙනා කුඩම්මායි. අද මාලිංග නැත. තමා මාලිංගට දරුවෙකු ලෙස සැලකුවා යැයි මාලිංගගේ කුඩම්මා පවසනවා ඇති.
මාලිංගට ගිනි තැබූ දිනයේ ඔහු නිදාගත්තේ තමාත් එම පුතාත් සමඟ කාමරයේ බවත්, නිදාගැනීමට ගොස් ටික වෙලාවක් ගතවෙද්දි දහඩිය දමන බව කියා දරුවා සාලයේ නිදන්නට ගිය බවත් ඇය පවසා තිබුණා. ඇයගේ එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඇය තමාගේ දරුවාට සේම මාලිංගට ද සැලකූ බවයි.
කෙසේ වෙතත් භූමිතෙල් දමා ගිනි තැබීම සිදුකර ඇත්තේ කාටත් හොර රහසේ තනිවම විය යුතුයි. ඒ තවත් අයකු දැනගතහොත් සාක්ෂියක් වන බව දැන සිටියා විය හැකියි.
එබැවින් තවමත් තමා කළ අපරාධය සිතෙන් සඟවාගෙන නිර්දෝෂි බව පෙන්වීමට ඔහු හෝ ඇය දැඩි උත්සහයක නිරතව සිටිනවා.
එහෙත් කොපමණ සැලසුම් සහගතව කළත් අපරාධයක් සදාකල් වසන් කිරීමට නොහැකියි. එය ලොව පවතින ධර්මතාවයයි.
ඌරුබොක්ක පොලීසියේ ස්ථානාධිපති ගිහාන් රාජපක්ෂ ප්රමුඛ කණ්ඩායමක් විමර්ශන සඳහා එක්වී සිටියා.
උපුටා ගැනීමකි